ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා ට්‍රම්ප්ගේ කරුණු 15කින් යුත් සැලැස්ම කුමක්ද? ටෙහෙරානය එය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, පවුලින් කෝලා
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඉරානය, යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කරුණු 15කින් යුත් සැලැස්ම ප්‍රතික්ෂේප කර ඇති බව ඉරාන රාජ්‍ය ප්‍රෙස් ටීවී වාර්තා කරයි.
ගැටුම අවසන් කිරීම සඳහා ටෙහෙරානයෙන් කොන්දේසි පහක් ගෙනහැර දැක්වූ බවට නම් නොකළ "ජ්‍යෙෂ්ඨ දේශපාලන ආරක්ෂක නිලධාරියෙකු" එහි උපුටා දක්වා තිබූ අතර, හානිය සඳහා වන්දි ගෙවීම ද ඊට ඇතුළත් විය.
ඒවා, ඇමරිකානු නිලධාරීන් තහවුරු කිරීමෙන් පසු ඊශ්‍රායලයේ චැනල් 12 විසින් ප්‍රකාශයට පත් කරන ලද ට්‍රම්ප්ගේ යෝජනාවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය. න්‍යෂ්ටික අවි තැනීම නොකිරීමට සහ උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ඉරානය එකඟ වීම ද ඊට ඇතුළත් ය.
පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සමග යුද්ධය ආරම්භ වූ අතර, පසුව ඉරානය ගල්ෆ් කලාපයේ ඇමරිකානු හිතවාදීන් ඉලක්ක කර ගනිමින් පහරදීම් පුළුල් කළේ ය.
අඟහරුවාදා [මාර්තු 24] ට්‍රම්ප් පැවසුවේ ඉරානය සාකච්ඡා සඳහා "දැඩි උවමනාවකින්" සිටින බවත් ඉරාන සාකච්ඡාකරුවන් එක්සත් ජනපදයට "ඉතා වැදගත් ත්‍යාගයක්" ලබා දී ඇති බවත් ය.
"ත්‍යාගය" තෙල්, ගෑස් හා හෝමූස් සමුද්‍ර සන්ධියට සම්බන්ධ බව ඇමරිකානු ජනාධිපතිවරයා වැඩි විස්තර ලබා නොදී පැවසීය.
නමුත් ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා සාකච්ඡා සඳහා වන කිසිදු යෝජනාවක් සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කර තිබේ.
"ඇමරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු එකඟතාවක් නෑ, මූල්‍ය හා තෙල් වෙලඳපොළවල් හැසිරවීමට සහ ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සිරවී සිටින මඩ ගොහොරුවෙන් බේරීමට ව්‍යාජ ප්‍රවෘත්ති පළ කරනවා," මොහම්මද් බගර් ගාලිබාෆ් X සටහනක ලියා ඇත.
ට්‍රම්ප්ගේ සැලැස්මේ අඩංගු වන්නේ කුමක්ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඊශ්‍රායලයේ චැනල් 12 නාලිකාවට අනුව, යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය ඉල්ලීම් ගණනාවක් ඉටු කළ යුතු ය.
ඔවුන් බොහෝ දුරට අවධානය යොමු කරන්නේ යුද්ධය ආරම්භ කිරීමට එක්සත් ජනපද නිලධාරීන් ලබා දී ඇති ප්‍රධාන හේතුව කෙරෙහි ය: ඒ ඉරානය සැමවිටම ප්‍රතික්ෂේප කර ඇති න්‍යෂ්ටික අවි තැනීම නැවැත්වීම සහ එහි මිසයිල වැඩසටහනේ තර්ජනය තුරන් කිරීම ය.
යෝජනා මගින් ඉල්ලා සිටින්නේ ඉරානය "කිසි විටෙකත් න්‍යෂ්ටික අවි පසුපස නොයාමට බැඳී සිටීමත්," න්‍යෂ්ටික පහසුකම් විසුරුවා හැරීමට එකඟ වන ලෙසත්, එහි බලගැන්වූ යුරේනියම් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට (IAEA) භාර දෙන ලෙසත්, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂක වන එම ආයතනය ඉදිරියේදී මෙම ගැටලුව නිරීක්ෂණය කරනු ඇති බවත් ය.
යෝජනාවලට අනුව, ඉරානය තම මිසයිල වැඩසටහන පරාසයෙන් සහ ප්‍රමාණයෙන් සීමා කිරීමට එකඟ වනු ඇත.
ඊට අමතරව, ලෙබනනයේ හිස්බුල්ලා, ගාසා තීරයේ හමාස් සහ යේමනයේ හූති ඇතුළු එහි කලාපීය ප්‍රොක්සින්ට අරමුදල් සැපයීම ඉරානය නවතා දමනු ඇත.
"නිදහස් සමුද්‍රීය කොරිඩෝවක්" ලෙස ක්‍රියා කළ හැකි වන පරිදි හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ඉරානයට සිදුවනු ඇත. ලෝකයේ තෙල් හා ගෑස් සැපයුම්වලින් පහෙන් එකක් ගමන් කරන සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ගෝලීය ආර්ථික අවපාතයක් පිළිබඳ බියක් ඇති වී තිබේ.
ඉරානයට එරෙහි සියලු ම ජාත්‍යන්තර සම්බාධක ඉවත් කරන බව සැලැස්මේ සඳහන් වේ.
ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ හමුදා කඳවුරු කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, ඉරානය තම න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඉඩ ලබා දීම අත්හිටවූ අතර, පසුගිය නොවැම්බර් මාසයේදී සම්පූර්ණ සම්බාධක නැවත ඔවුන් වෙත පනවන ලදී.
ඉරානයේ යෝජනා මොනවාද?
ප්‍රෙස් ටීවී නාලිකාවට අනුව, යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය කොන්දේසි පහක් ලැයිස්තුගත කර ඇත.
ඒවාට "සතුරාගේ ආක්‍රමණ සහ ඝාතන" සම්පූර්ණයෙන් ම නැවැත්වීම ඇතුළත් වේ.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ නිලධාරීන් බොහෝ විට පවසා ඇත්තේ "බූවල්ලාගේ හිස කපා දැමීම" ඔවුන්ගේ අරමුණ බව යි. යුද්ධයේ පළමු දිනයේ සිට ඉරානයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු මිය ගොස් ඇති අතර, ඊශ්‍රායලයෙන් ටෙහෙරානයට එල්ල වූ ප්‍රධාන ගුවන් ප්‍රහාරයකින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මිය ගියේ ය.
අනෙකුත් ඉරාන කොන්දේසි අතරට "ඉස්ලාමීය ජනරජය මත නැවත යුද්ධය පටවා නොගන්නා බව සහතික කිරීම සඳහා පැහැදිලි පියවර" ඇතුළත් වේ. නමුත් කුමන සහතික ලබා දිය හැකි ද සහ කුමන රටවල් සම්බන්ධ වේ ද හෝ ඒවා අධීක්ෂණය කරන්නේ ද යන්න පැහැදිලි නැත.
ආර්ථික වශයෙන්, ඉරානය යුද හානි සහ වන්දි ගෙවීම මෙන් ම හෝමූස් සමුද්‍ර සන්ධියේ තනි භාරකාරීත්වයේ අයිතිය ද ඉල්ලා සිටී.
ටෙහෙරානයට තීරණාත්මක ලෙස අවශ්‍ය වන්නේ ඊශ්‍රායලය කලාපයේ ඉරානයට සහය දක්වන පාර්ශවවලට එරෙහි ප්‍රහාර අවසන් කිරීම යි.
ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට එරෙහි සිය මෙහෙයුම තීව්‍ර කර ඇති අතර, අඟහරුවාදා [මාර්තු 24] නිවේදනය කළේ උතුරු ඊශ්‍රායලයට එල්ල වන ප්‍රහාර නතර වන තුරු තම හමුදාව රට තුළ පුළුල් කරන ලද ආරක්ෂක කලාපයක රැඳී සිටින බව යි.
ප්‍රෙස් ටීවී විසින් උපුටා දක්වන ලද නම් නොකළ නිලධාරියෙකු පැවසුවේ, යුද්ධය ආරම්භ වීමට ටික කලකට පෙර පෙබරවාරි මාසයේ ජිනීවාහි පැවති සාකච්ඡා අතරතුර ටෙහෙරානය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට අමතරව මෙම කොන්දේසි ඇති බව යි.
යුද්ධයේ අවසානයක් පෙනෙන්නට තිබේ ද?
ඕනෑ ම අවසාන සාකච්ඡාවක් ට්‍රම්ප්ගේ සාම නියෝජිතයන් වන ස්ටීව් විට්කොෆ් සහ ජනාධිපතිවරයාගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් විසින් මෙහෙයවනු ඇතැයි අපේක්ෂා කරයි.
වාර්තා වන එක්සත් ජනපද සාම යෝජනා, ගාසා තීරයේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වසර දෙකකට වැඩි කාලයක් පවතින සටන් අවසන් කිරීමට තානාපතිවරුන් භාවිතා කළ ප්‍රවේශයට සමාන බව පෙනෙයි.
එම ක්‍රියාවලිය ම අනුගමනය කරන්නේ නම්, ඇමරිකා එක්සත් ජනපදයට යෝජිත කෙටුම්පතේ විස්තර සියුම් ලෙස සකස් කර ගත හැකි වන පරිදි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට සිදුවනු ඇත.
ඊශ්‍රායලයේ චැනල් 12 නාලිකාව පැවසුවේ, ගාසා සාකච්ඡා අතරතුර සටන් විරාමයක් පිළිබඳව නෙතන්යාහුට ද එවැනි ම කනස්සල්ලක් තිබූ බැවින්, මෙම අවස්ථාවේදී ඉරානයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට රටේ නායකයින් අකමැති විය හැකි බව යි.
ට්‍රම්ප්ගේ කොන්දේසිවලට ඉරානය එකඟ වනු ඇතැයි සිතිය නොහැකි බව ඊශ්‍රායල ආර්ථික අමාත්‍ය නිර් බර්කට් බීබීසීයට පැවසීය.
"මෙම වටය අවසානයේදී, එකඟතාවයක් ඇතුව හෝ නැතිව අපි ඉලක්ක සපුරා ගනීවි කියලා මම විශ්වාස කරනවා," බාර්කට් පැවසීය.
ඉරාන පාර්ශවයෙන් කවුරුන් සම්බන්ධ වේ ද යන්න පැහැදිලි නැත.
ට්‍රම්ප් ඇමරිකානුවන් සමඟ කතා කරන්නේ කවුරුන්ද යන්න නිශ්චිතව දක්වා නැති අතර, "අපි නිවැරදි පුද්ගලයින් සමග කටයුතු කරන බව," පමණක් පවසයි.
ඉරානයේ නව උත්තරීතර නායකයා වන මොජ්තාබා කමේනි, තම පියාගෙන් පසු බලයට පත් වූ දා සිට ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණි.
පෙබරවාරි 28 වන දින තම පියා ඝාතනය කළ එම ප්‍රහාරයෙන් ම තුවාල ලැබූ දා සිට දක්නට නොලැබුණු ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ද ඔවුන් අතරට ඇතුළත් නොවන බව විශ්වාස කෙරෙයි.
නවතම ප්‍රහාර ආරම්භ වූ දා සිට එරට විදේශ අමාත්‍යවරයා නැවත නැවතත් අවධාරණය කර ඇති පරිදි, වත්මන් ඉරාන නායකත්වය එක්සත් ජනපදය සමග ඕනෑ ම සාකච්ඡාවක නිරත වීම සම්බන්ධයෙන් ඉතාමත් ප්‍රවේශම් සහගත ය.
සියල්ලට පසු, මෙය සිදු වූයේ දෙපාර්ශ්වයම නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටියදී වන අතර, යම් ප්‍රගතියක් දැනටමත් වාර්තා වී තිබේ.
සාම යෝජනා පැමිණෙන්නේ ද ඉරානය දෙසට දහස් ගණනක් ඇමරිකානු හමුදා යොදවා ඇති අතරතුර ය.
ඔවුන්ගේ මෙහෙයුම කුමක්ද යන්න පැහැදිලි නැත. නමුත් වාර්තාවලින් පෙනී යන්නේ ඒවා හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට හෝ ඉරානයේ යම් භූමි ප්‍රදේශයක් අල්ලා ගැනීමට භාවිතා කළ හැකි බව යි.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත