ටෝපිඩෝ ප්‍රහාරයකට ලක්වූ IRIS Dena ඇතුළු ඉරාන නෞකා තුනකට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා ලැබී තිබුණු බව ඉරාන තානාපති කියයි

ඡායාරූප මූලාශ්‍රය, Screen-grab
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ඇමෙරිකාවේ ටෝපිඩෝ ප්‍රහාරයකට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව ඇතුළු ඉරාන නෞකා තුනකට ඉන්දියාවේ නාවික අභ්‍යාසයට සහභාගීව සිටි අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස මෙරට නාවික හමුදාවෙන් ආරාධනා ලැබී තිබුණු බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, සඳුඳා (මාර්තු 23) කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.
එම මාධ්‍ය හමුවේදී ඉරාන තානාපතිවරයා පළ අදහස් අතරින් සුවිශේෂී කරුණු 6ක් මෙම ලිපියේ අඩංගු වේ.
1. IRIS Dena නෞකාවට ශ්‍රී ලංකාවෙන් 'ඇරයුමක්'
IRIS Dena නෞකාව ඇතුළු ඉරාන නෞකා තුනකට ඉන්දියාවේ නාවික අභ්‍යාසයට සහභාගීව සිටි අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස මෙරට "නාවික හමුදාපතිවරයාගෙන් ඉරාන නාවික හමුදාපතිවරයා වෙත ආරාධනා" ලැබී තිබුණු බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් පැවසීය.
එහිදී ඔහු පැවසුවේ, IRIS Dena නෞකාව එහි පැමිණ සිටියේ ගැටුමට සම්බන්ධ වීමට නොවන බව ය.
"අපිට තියෙන තොරතුරුවලට අනුව, Dena (නෞකාව) යුද්ධයකට සූදානම් වෙලා හිටියේ නැහැ. ඒ නැව මෙහෙට ඇවිල්ල තිබුණේ ගැටුමට සම්බන්ධ වෙන්න නෙවෙයි, ඉන්දියාවේ තිබුණු සාමකාමී අභ්‍යාසයකට සහභාගී වෙන්න.
"ඉන්දියාවේ සිටින අතරතුර මේ නෞකාවට සහ තවත් යාත්‍රා දෙකකට ආරාධනා ලැබුණා, මම නැවතත් කියනවා, ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන්, මෙහෙට එන්න කියලා. ඔවුන්ගේ ආරාධනය මත ඔවුන් මෙහි පැමිණියා. මෙහි සිටින අතරතුර ඔවුන්ට එක්සත් ජනපදයෙන් කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් ලැබුණේ නැහැ. ඔවුන් පහර දුන්නේ කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව," ඔහු සඳහන් කළේ ය.
තානාපතිවරයා පවසන්නේ, ප්‍රහාරයට ලක් වූ IRIS Dena නෞකාවේ සිට මිය ගිය බොහෝ දෙනෙකු හමුදා සාමාජිකයින් නොවන බව ය.
"මේකෙන් වැඩිපුර ම මැරුණේ හමුදාවේ අය නෙවෙයි. ඒ සංගීත කණ්ඩායමක්. ඔවුන්ට ආයුධ විදිහට තිබුණේ සැක්සෆෝන් සහ වියෝලා," ඔහු පැවසීය.
"ඉන්දියාවේ පැවති අභ්‍යාසයේදී ඔබගේ නාවික හමුදාපතිවරයා ඉරාන නාවික හමුදාපතිවරයාට ආරාධනා කළා මෙම යාත්‍රාවලට ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ මිත්‍රශීලී සංචාරයක් සඳහා පැමිණෙන ලෙස. ඉන් තුනක්. එකක් ඉන්දියානු වෙරළට ගියා, දෙකක් මෙහි පැමිණියා. Dena ප්‍රහාරයට ලක් වුණා. බුෂර් මෙහි සිටිනවා," තානාපතිවරයා තවදුරටත් පැහැදිලි කළේ ය.
මෙම ප්‍රහාරයෙන් නෞකාවේ සිටි 104 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ද ඔහු පැවසීය.
2. හෝමූස් සමුද්‍ර සන්ධිය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
හෝමූස් සමුද්‍ර සන්ධියේ වත්මන් තත්ත්වය පිළිබඳව ද මෙම මාධ්‍ය හමුවේදී ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් කරුණු දැක්වීය.
ඔහු පැවසුවේ, දැනට ඉරාන මුහුදු සීමාවේ පවතින හෝමූස් සමුද්‍ර සන්ධිය "යුද්ධ කලාපයක්" ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ය.
"මෙයින් අදහස් කරන්නේ මෙම සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දමා ඇති බවක් නොවෙයි. එය වසා ඇත්තේ සතුරු රටවල නැව් සඳහා පමණයි," තානාපතිවරයා පැහැදිලි කළේ ය.
"ඉරානය සාමයට ලැදි රටක්. ඉතිහාසය ඊට සාක්ෂි දරනවා. ඒ වගේ ම, අපේ භූමිය ආරක්ෂා කිරීම සඳහා ඕනෑ ම ආක්‍රමණිකයෙකුට අපි තීරණාත්මකව ප්‍රතිචාර දක්වනවා," ඔහු පැවසීය.
එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායල් පාලන තන්ත්‍රයේ "අපරාධවලට හවුල් නොවන" ලෙස තානාපතිවරයා එහිදී සෙසු රටවලට අවධාරණාත්මක ස්වරයකින් අනතුරු ඇඟවීය.
ඔහු පැවසුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීම සඳහා ඉරානය සියලු ම විදේශීය යාත්‍රාවලට සියලු ආරක්ෂක පහසුකම් සපයනු ඇති බවත් ඔවුන්ගෙන් කිසිදු ගාස්තුවක් ඒ සඳහා අය නොකරන බව ත් ය.
"හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව ගැන අපි වසර 100 කට වැඩි කාලයක් තිස්සේ වගවෙනවා... හෝමූස් සමුද්‍ර සන්ධියේ අස්ථාවරත්වයක් ඇති කිරීමේ ප්‍රශ්නය ඉතා පැහැදිලියි, ඒ ඇමෙරිකා එක්සත් ජනපදයයි. හෝමූස් සමුද්‍ර සන්ධියෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉවත් වුවහොත් අපට මෙම සමුද්‍ර සන්ධියේ කිසිදු ගැටලුවක් ඇති වෙන එකක් නැහැ," තානාපතිවරයා තවදුරටත් පැවසීය.
3. 'ශ්‍රී ලංකාව අපේ මිත්‍ර රටක්...'
ශ්‍රී ලංකාව ඉරානයේ මිත්‍ර රටක් බවත් හොමූස් සමුද්‍ර සන්ධිය සිය මිත්‍ර රටවල නෞකා සඳහා වසා දමා නොමැති බවත් ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
"ඒ නිසා, ශ්‍රී ලංකාව වැනි මිත්‍ර රටවලට අවශ්‍ය සියලු දේ සැපයීමට ඉරානය සැමවිට ම සූදානම්. ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑ ම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉල්ලා සිටිනවා නම්, ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබා දෙනවා," ඔහු සඳහන් කළේ ය.
"ශ්‍රී ලංකාව කරදරේ වැටිලා ඉන්නවා දකින්න අපි කැමති නැහැ. ශ්‍රී ලංකාව ජනතාව ඉරානයේ ගෞරවයට පාත්‍ර වෙන රටක්," ඔහු තවදුරටත් පැවසීය.
4. ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්...
ඉරානයේ සිටින සියලු ම විදේශ ජාතිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් තම රට සතු බව ඉරාන තානාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ය.
මේ දක්වා ඔවුන් සම්බන්ධ ගැටලු වාර්තා වී නොමැති බව ද ඔහු එහිදී පැවසීය.
"අපි ඔවුන් රැක බලා ගන්නවා. ඔවුන්ට නැවත ඔවුන්ගේ රටට යාමට අවශ්‍ය නම්, තුර්කිය සහ ආර්මේනියාව වැනි අසල්වැසි රටවල් හරහා ඔවුන්ගේ රටට යාමට අපය පහසුකම් සැලසිය හැකියි," ඔහු පැහැදිලි කළේ ය.
5. සිද්ධියෙන් පසු ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය පිළිබඳ අදහස...
IRIS Dena නෞකාව ප්‍රහාරයට ලක් වීමෙන් පසු මෙන් ම IRIS Bushehr නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳව ද මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් අදහස් දැක්වීය.
"ඉතා හොඳ ආගන්තුක සත්කාරයක් ලබා දීම ගැන අපි ශ්‍රී ලංකා රජයට ස්තූතිවන්ත වෙනවා, Dena නෞකාවේ මිය ගිය නාවිකයින්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් වගේ ම අනෙක් නෞකාවේ හිටපු පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ගැන. අනෙක් නැවේ හිටිය වැඩි දෙනෙක් කැඩෙට් නිලධාරීන්. ඔවුන් දැන් මෙහි සිටිනවා. ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරයට ඉතා ලැදි රටක් වගේ ම අපට කිසිඳු ගැටලුවක් නැහැ," ඔහු පැවසීය.
තානාපතිවරයා තවදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාවේ සිටින මෙම නෞකා ද්විත්වයේ සිටි ඉරාන ජාතිකයින් නැවත ඉරානය වෙත හැකි ඉක්මනින් යැවීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ය.
6. 'අපිට සටන් විරාමයක් අවශ්‍ය නැහැ'
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව එල්ල කළ ප්‍රහාරවලින් පසු උග්‍ර තත්ත්වය පත්ව ඇති ඇමෙරිකා, ඊශ්‍රායල - ඉරාන ගැටුම සඳහා සටන් විරාමයක් අවශ්‍ය නොවන බව ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් සඳහන් කළේ ය.
"අපිට සටන් විරාමයක් අවශ්‍ය නැහැ. සටන් විරාමය තාවකාලික කාරණයක්. ටික කාලෙකට පස්සේ එයාලා ආයෙත් පහර දෙයි," ඔහු පැහැදිලි කළේ ය.
"අපට අවශ්‍ය වන්නේ අපේ පූර්ව කොන්දේසි එක්ක සාමය සඳහා සාකච්ඡා කිරීම. අපට පූර්ව කොන්දේසි කිහිපයක් තියෙනවා. ඒ පූර්ව කොන්දේසි සැපිරෙනවා නම් ඔව්, අපට සාකච්ඡාවලට යා හැකියි," තානාපතිවරයා පැවසීය.
කෙසේ වෙතත්, "දැන් අපට අපගේ ආක්‍රමණිකයන් සමග කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය නැත," යනුවෙන් ඔහු අවධාරණය කළේ ය.
තනාපතිපතිවරයා පැවසුවේ "ආක්‍රමණිකයින්" කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව තම කලාපයෙන් ඉවත් විය යුතු බව ත් "ඔවුන් සියලු ප්‍රහාරවලට වන්දි ගෙවිය යුතු" බවත් ය.



































