පියා සමග කළ දීර්ඝ නීතිමය අරගලයකින් පසු ස්පාඤ්ඤ කාන්තාවක් අනායාස මරණයකට අවසර ගෙන මිය යයි

Noelia Castillo

ඡායාරූප මූලාශ්‍රය, Y Ahora Sonsoles (Atresmedia Television)

ඡායාරූප ශීර්ෂ වැකිය, 25 හැවිරිදි නොයෙලියා කස්ටීලෝ 2022 දී සියදිවි නසා ගැනීමට උත්සහ කළ අවස්ථාවක ඇති වූ තුවාල හේතුවෙන් ඇගේ දෙපා අප්‍රාණික විය
    • Author, ලෝරා ගෝසි
  • කියවීමේ කාලය: මිනිත්තු 3

අවවාදයයි: මෙම කතාවේ ලිංගික අතවර සහ සියදිවි නසාගැනීම් පිළිබඳ තොරතුරු අඩංගු වේ.

තම ජීවිතය අවසන් කර ගැනීමේ අයිතිය වෙනුවෙන් තම පියා සමග දීර්ඝ නීතිමය අරගලයක නිරතව සිටි ස්පාඤ්ඤ කාන්තාවක් බ්‍රහස්පතින්දා [මර්තු 26] අනායාස මරණයක් (euthanasia) මගින් මිය ගියා ය.

බාර්සිලෝනාහි ජීවත්වූ 25 හැවිරිදි නොයෙලියා කස්ටීලෝ 2022 වසරේදී සියදිවි නසා ගැනීමට උත්සහ කළ අවස්ථාවක ඇති වූ තුවාල හේතුවෙන් ඇගේ දෙපා අප්‍රාණික විය.

2024 ගිම්හානයේදී කැටලෝනියා රජය ඇයට අනායාස මිය යාම සඳහා අවසර ලබා දුන් නමුත්, ඇගේ පියා ගතානුගතික කණ්ඩායමක් වන ක්‍රිස්තියානි නීතිඥයින්ගේ (Abogados Cristianos) සහය ඇතිව නීතිමය විරෝධතා මතු කිරීමෙන් පසු අවසාන මොහොතේ එම ක්‍රියාවලිය නතර කරන ලදී.

ඔහු තර්ක කළේ, තම දියණිය පෞරුෂ ආබාධයකින් පෙළෙන බවත් එම තත්ත්වය ඇගේ තීරණයට බලපෑ බවත් ය.

"මානසික සෞඛ්‍ය ගැටලු ඇති තරුණියක වැනි අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම රාජ්‍යයේ යුතුකමක් බව," ද ඔහු පැවසීය.

එම අභියාචනය මාස 18ක නීතිමය සටනක් ආරම්භ කිරීමට හේතු වූ අතර එය අවසන් වූයේ යුරෝපීය මානව හිමිකම් අධිකරණය (ECHR) නොයෙලියා කස්ටීලෝට පක්ෂව තීන්දුවක් ලබා දීමෙනි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බ්‍රහස්පතින්දා සවස [මාර්තු 26], Abogados Cristianos සමූහට Xහි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, කස්ටීලෝ අනායාස මරණයෙන් මිය ගිය බව ය. ඇයගේ නඩුව ස්පාඤ්ඤයේ අනායාස මරණ නීතියේ "බරපතළ දුර්වලතා ඉස්මතු කරන" බව එම කණ්ඩායම පැවසීය.

මේ සතිය මුලදී Spanish TV නාලිකාවට අදහස් දක්වමින් කස්ටීලෝ පැවසුවේ, ඇගේ පියා ඇය ගෞරවාන්විතව මිය යාමට ගත් තීරණය නීතියට අනුව අවහිර කිරීමට උත්සහ කළ බව ය. "ඔහු මගේ තීරණයට ගරු කළේ නෑ. කවදාවත් එහෙම වෙන එකකුත් නෑ," ඇය පැවසුවා ය.

ඇය සිය දුෂ්කර ළමා කාලයෙන් වැඩි කොටසක් රැකවරණ නිවාසවල ගත කළ බව ද විස්තර කළා ය.

නිදා ගැනීමට පහසු වීම සඳහා නිදි පෙති ගත් පසු වසර හතරක් තිස්සේ ඇගේ හිටපු පෙම්වතා ඇයට ලිංගික අතවර කළ බව ඇය පැවසූ අතර, තවත් අවස්ථාවක රාත්‍රී සමාජ ශාලාවකදී පිරිමින් කිහිප දෙනෙකු තමාට පහර දුන් බව ද ඇය පැවසුවා ය.

25 හැවිරිදි ඇය පැවසුවේ, තමාට සැමවිට ම "තනිකමක් දැනුණු" බවත්, අනායාස මරණයකින් මිය යාමේ තීරණය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය බවට කිසි විටෙකත් සැකයක් නොතිබූ බවත් ය.

"මගේ පවුලේ කවුරුත් මගේ පැත්තට නැහැ," ඇය පැවසුවාය. "මම යනවා, ඔයා මෙතන ඉන්නේ හැම වේදනාවක් ම දරාගෙන, නමුත් මම අවුරුදු ගණනාවක් තිස්සේ විඳ දරාගත් සියලු දුක් වේදනා ගැන මොකක් ද කියන්න පුළුවන්? වේදනාව නතර කර ගන්න මට ඕනෙ සමාදානයෙන් සමුගන්න විතර යි."

"පියෙකුගේ, මවකගේ හෝ සහෝදරියකගේ සතුට දියණියකගේ සතුටට වඩා ඉදිරියෙන් තියෙන්න විදිහක් නැහැ."

පවුලේ සාමාජිකයින්ට පැමිණ තමන්ට සමුදිය හැකි බව නොයෙලියා පැවසූ නමුත් මාරාන්තික එන්නත දෙන අවස්ථාවේ තම වෛද්‍යවරයා පමණක් තමන් සමග සිටින්නේ නම් තමන් කැමති බව ඇය පැවසුවා ය.

ඇගේ මව වන යොලන්ඩා පැවසුවේ, ඇය සිය දියණියගේ තීරණයට එකඟ නොවන නමුත් එයට "ගරු කරන" බව ය.

ස්පාඤ්ඤයේ අනායාස මරණ නීතිය 2021දී බලාත්මක විය. දැනට රජයේ දත්ත ලබා ගත හැකි අවසාන වසර වන 2024 වසර තුළ අනායාස මරණයට පත්වීම සඳහා වන ඉල්ලීම් 426ක් ලැබී ඇත.

අනායාස මරණ ඉල්ලීමකට විනිසුරුවරයෙකුගේ තීරණය ලබා ගැනීම සඳහා නඩුවක් ලෙස අධිකරණය හමුවට ගිය පළමු අවස්ථාව මෙය විය.