වසර 13ක් කෝමා තත්ත්වයේ සිටි තරුණයෙක් අධිකරණ නියෝගයකින් පසු ජීවිත ආධාරකය ඉවත් කිරීමෙන් මිය යයි

A young man wearing a blue T-shirt strikes a pose and smiles while looking at the camera in a college classroom

ඡායාරූප මූලාශ්‍රය, Rana family

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරට පෙර හරිෂ් රනා. එවකට ඉංජිනේරු ශිෂ්‍යයෙකු වූ රනා 2013 දී, සිව් වන මහලේ බැල්කනියකින් වැටී හිසට බරපතළ තුවාල ලැබී ය
    • Author, චෙරිලන් මෝලන්
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තම දෙමව්පියන් කළ ඉල්ලීම පිළිගැනීමෙන් පසු ජීවිත ආධාරකය ඉවත් කරන ලද ඉන්දීය තරුණයෙකු මිය ගොස් තිබේ.

හරිෂ් රනාගේ නඩුව ඉන්දියාවේ අධිකරණයක් විසින් ජීවිතාරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර නැවැත්වීම හෝ නොදීම යන අර්ථය ඇති අක්‍රීය අනායාස මරණයකට අවසර දුන් පළමු උදාහරණය යි.

ජීවිත ආධාරකය ඉවත් කිරීමෙන් පසු, ප්‍රතිකාර ලබමින් සිටි දිල්ලියේ AIIMS රෝහලේදී 31 හැවිරිදි රනා අඟහරුවාදා [මාර්තු 24] මිය ගියේ ය.

හතර වන මහලේ බැල්කනියකින් වැටීමෙන් හිසට බරපතළ තුවාල සිදු වීමෙන් පසු රනා, 2013 වසරේ සිට කෝමා තත්ත්වයේ පසුවිය. අනතුරට ලක් වන විට ඔහු ඉංජිනේරු ශිෂ්‍යයෙකි.

තීරණ ගැනීමේ හැකියාව නැති වුවහොත් ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා වන උපදෙස් නිශ්චිතව දක්වා ඇති කැමති පත්‍රයක් රනා අනතුරට ලක්වීමට සකස් කර නොතිබිණි.

"ජීවත් වීමට ඇති කැමති පත්‍රය" ලෙස ද හැඳින්වෙන එම නීතිමය ලේඛනය, වයස අවුරුදු 18ට වැඩි ඕනෑ ම කෙනෙකුට සුවය ලැබීමට අවස්ථාවක් නොමැති බරපතළ රෝගයක් තිබේ නම්, ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මොනවා දැයි තීරණය කිරීමට ඉඩ සලසයි.

2018 දී, ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මිනිසුන්ට ජීවත් වීමේ කැමැත්තක් නිර්මාණය කිරීමට ඉඩ සලසමින් අක්‍රීය අනායාස මරණය නීත්‍යානුකූල කළේ ය. පුද්ගලයෙකුට තම ජීවිතය අවසන් කර ගැනීමට හිතාමතා ම උදව් කිරීම ඉන්දියාව තුළ නීති විරෝධී වේ.

නමුත් රනාට ජීවත් වීමේ කැමැති පත්‍රයක් නොතිබූ නිසාත්, ඔහු කෝමා තත්ත්වයේ පසුවූ නිසාත් කැමැත්ත ලබා දිය නොහැකි වූ නිසාත්, ඔහුගේ ජීවිත ආධාරක ප්‍රතිකාර නතර කිරීමට අවසර ලබා ගැනීම සඳහා ඔහුගේ දෙමව්පියෝ අධිකරණයට ගියහ.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔවුන් මීට පෙර මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලදී පවසා තිබුණේ, තම පුතා රැකබලා ගැනීම සඳහා ඔවුන්ගේ සියලු ඉතුරුම් වියදම් කළ බවත්, ඔවුන් මිය ගිය පසු ඔහුට කුමක් සිදුවේ ද? යන්න ගැන කනස්සල්ලෙන් සිටින බවත් ය.

රනාගේ දෙමව්පියන් පළමුව 2024 දී දිල්ලි මහාධිකරණයට ගොස් තම පුත්‍රයා වෙනුවෙන් අක්‍රීය අනායාස මරණය ඉල්ලා සිටිය ද, අධිකරණය ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ, රනා ඒ වන විට "ජීවිත ආධාරක යන්ත්‍රවල නොසිටි බවත්, බාහිර සහය නොමැතිව ජීවත් විය හැකි බවත්," පවසමිනි.

ඉන්පසු ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අතර, එහිදී ද ඔවුන්ගේ අභියාචනය ප්‍රතික්ෂේප විය.

2025 දී ඔවුහු නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස්, තම පුත්‍රයාගේ තත්ත්වය නරක අතට හැරී ඇති බවත්, ජීවිත ආධාරක යන්ත්‍ර මගින් "කෘත්‍රිමව" ඔහු ජීවතුන් අතර තබාගෙන සිටින බවත් දැනුම් දුන්හ.

වෛද්‍ය මණ්ඩල දෙකක් විසින් රනාගේ තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ නඩුව සලකා බැලීමට එකඟ විය.

ඉන්දියාවේ ජීවත් වීමේ කැමැත්ත පාලනය කරන නීතියට අනුව, රෝගියෙකු තම ජීවිත ආධාරක ඉවත් කර ගැනීම සඳහා වන නිර්ණායක සපුරාලන බවට වෛද්‍ය මණ්ඩල දෙකක් සහතික කළ යුතු ය.

වෛද්‍ය මණ්ඩල දෙක ම පැවසුවේ, රනාට සුවය ලැබීමට හෝ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත්, පෝෂණය සඳහා මෙන් ම මුත්‍රාශයේ සහ බඩවැල් ක්‍රියාකාරීත්වය සඳහා ඔහුට බාහිර සහය අවශ්‍ය බවත් ය. ඔහුගේ මොළයට ස්ථිර හානි සිදුවී තිබූ අතර, දිගු වේලාවක් එක ඉරියව්වකින් වැතිර සිටීමෙන් ඔහුගේ සිරුරේ විශාල, බරපතළ තුවාල ඇති වී තිබූ බවට ඔවුන් නිරීක්ෂණය කර තිබිණි.

මාර්තු 11 වන දින, රනා ප්‍රතිකාර සඳහා ප්‍රතිචාර නොදක්වන බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළ අතර, මෙම කාරණය සම්බන්ධයෙන් "[ඔවුන්ගේ] සායනික විනිශ්චය ක්‍රියාත්මක කරන ලෙස" වෛද්‍ය මණ්ඩලවලින් ඉල්ලා සිටියේ ය.

පසුව ඔහුව ඔහුගේ නිවසේ සිට AIIMS රෝහලේ සහන සත්කාර ඒකකයට ගෙන යන ලද අතර, එහිදී ඔහු මිය ගියේ ය.

රනාගේ මරණයෙන් පසු, පවුලේ නීතිඥවරයා ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට පැවසුවේ, මෙම නඩුව ඉන්දියාව තුළ පූර්වාදර්ශයක් වනු ඇති බව ය.

"රට පුරා එවැනි රෝගීන් බොහෝ දෙනෙක් සිටිනවා," ඔහු පැවසීය.