'මම හිතුවා මම හැමදා ම නර්තනයේ යෙදෙයි කියලා, ඒත් මෝටර් රථ අනතුර හැමදේම වෙනස් කළා'

Marc Brew being lifted in 'Jabula', choreographed by Natalie Weir, 1997. The photo is in black and white and shows two men on stage, wearing flowy trousers and no shirts. The one on the left is lifting Marc Brew (on the right) up.

ඡායාරූප මූලාශ්‍රය, Jim McFarlane

ඡායාරූප ශීර්ෂ වැකිය, ගමේ නැටුම් කළ එක ම පිරිමි ළමයා බෲ වූ අතර ඒ හේතුවෙන් ඔහු හිරිහැරයට ලක් විය
කියවීමේ කාලය: මිනිත්තු 7

ඔස්ට්‍රේලියාවේ කුඩා ගොවි නගරයක් වන ජෙරිල්ඩරීහි හැදී වැඩුණු මාර්ක් බෲ සිය කුඩා කල සිය පවුලේ ලියුම් පෙට්ටි තබා තිබූ ගඩොල් පාදම මත නටමින් සිටින අයුරු දක්නට ලැබිණි. ඔහු තම කොට කලිසමේ වෝක්මන් එකක් රඳවාගෙන, දීප්තිමත් තැඹිලි පැහැති හෙඩ්ෆෝන් යුගළක් පැළඳ ඔහු තමන් සඳහා ම නිර්මාණය කරගත් ක්‍රීඩාවකට අනුව, මෝටර් රියක් තමා පසු කර යන සෑම අවස්ථාවක ම පිළිමයක් මෙන් නිසොල්මන්ව සිටියේ ය.

"නටද්දී දැනුන ඒ හැඟීමට මම ආදරය කළා. ඒක මට විශ්වාසයක් සහ සතුටක් ගෙන දුන්නා."

එය ඔහුට වෙනස් අනන්‍යතාවක් ලබා දුන් ආශාවක් ද විය. තම ගමේ නර්ථනයේ යෙදුනු එකම පිරිමි දරුවා බෲ වූ අතර ඒ හේතුවෙන් ඔහු හිරිහැරවලට ද ලක් විය.

"කියන්න පුළුවන් හැම ජරා නමකින් ම මට කතා කරලා තියෙනවා. ගොඩක් ළමයින්ට ඒ වගේ දේවල් ඇහෙන්නේ එයාලගේ මව්පියන් ගෙදරදී කියන දේවල්වලින්. තනි වුණ එක සහ පිට කෙනෙක් වගේ හැඟෙන එක ගොඩක් දුෂ්කර වුණා," ඔහු තම මතකය අවදි කරමින් පවසයි.

එක් අවස්ථාවකදී ඔහු නර්තනය නවතා දැමූ නමුත් ඔහුගේ නර්තන කණ්ඩායමේ සිටි ගැහැනු දරුවන්ගේ දිරිමත් කිරීම මත ඔහු නැවතත් නර්තනයට පිවිසිණි.

එතැන් සිට ඔහුගේ දක්ෂතාව වේගයෙන් වර්ධනය වන්නට විය. වයස අවුරුදු 11 වන විට මෙල්බර්න් සහ සිඩ්නිහි ප්‍රසාංගික කලා පාසල්වල යෝග්‍යතා පරීක්ෂණ සඳහා ඔහු ඉදිරිපත් කරන ලෙස ගුරුවරු ඔහුගේ මවගෙන් ඉල්ලා සිටියහ. ඔහු එම පාසලකට තේරී පත් වූ අතර මෙල්බර්න්හි ශිෂ්‍යත්වයකට ද හිමිකම් කීවේ ය. නිවසින් ඈත්වීම "භයානක" අත්දැකීමක් වූ බව ඔහු පවසන නමුත් පාසල ඔහුට මින් පෙර කිසි දා නොලැබුණු දෙයක් ලබා දුන්නේ ය: තමන් එහි කොටසක් බවට වූ හැඟීමක් එහිදී ඔහුට දැනෙන්නට විය.

A young Marc Brew is kneeling down on a stage with his Jerilderie Juniour Dance Group 1988. He is in the middle of the photo, the only boy in thr dance group, surrounded by girls. They are all wearing stage constumes consisting of colorfoul, reflective fabrics and black. They are all staring down the camera barrel with a smile, with their left arms raised.

ඡායාරූප මූලාශ්‍රය, Marc Brew

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔහුගේ පාද ස්වභාවයෙන් බැලේ නර්තනය සඳහා සැකසී නොතිබුණ ද බෲ සම්භාව්‍ය බැලේ නර්තන කලාව වැළඳ ගත්තේ ය.

ඔහුගේ පාද ස්වභාවයෙන් බැලේ නර්තනය සඳහා සැකසී නොතිබුණ ද බෲ සම්භාව්‍ය බැලේ නර්තන කලාව වැළඳ ගත්තේ ය. "මම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා," ඔහු පවසයි. අවසානයේ ඔහු රටේ ප්‍රමුඛතම කලායතනය වන මෙල්බර්න්හි පිහිටා ඇති ඔස්ට්‍රේලියානු බැලේ පාසලට ඇතුළත් විය.

නමුත් පරිපූර්ණත්වය හඹා යාම ඔහුට අහිතකර බලපෑමක් එල්ල කළේ ය. ඔහු සිය ශරීරය උපරිම ලෙස ඒ සඳහා වෙහෙස වූ අතර ඇතැම් විටා දෙපාවල නම්‍යශීලීභාවය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට තම පන්තියේ මිතුරන් පවා ඔහුගේ දෙපා මත හිඳුවා ගත්තේ ය. බෲ තම සිරුර මත යෙදවූ මෙම දැඩි පීඩනය වළලුකර දෙකෙහි ම සැත්කම් කිරීමට හේතුවූ නමුත් ඔහු සුවය ලැබූ අතර නොනැවතී ඉදිරියට ම ගියේය.

වයස අවුරුදු 17 වන විට ඔහු වෘත්තීයමය වශයෙන් නර්තනයේ යෙදෙමින් සිටි අතර වයස අවුරුදු19දී එනම් ඔහු තම අවසන් වසර සම්පූර්ණ කිරීමටත් පෙර දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි බැලේ සමාගමක් සමග ගිවිසුමකට එළඹ තිබිණි. එය ඔහු කිසිදිනෙක අපේක්ෂා කර නොතිබූ ආකාරයෙන් ඔහුගේ ජීවිතය වෙනස් කළ සිදුවීමක් විය.

Marc Brew (third from left) in Jabula, choreographed by Natalie Weir, 1997.

ඡායාරූප මූලාශ්‍රය, Jim McFarlane

ඡායාරූප ශීර්ෂ වැකිය, බෲට තම මිතුරන් තිදෙනා ම මෝටර් රථ අනතුරකින් අහිමි වූ අතර ඔහු අංශභාග තත්ත්වයට පත් විය
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

දකුණු අප්‍රිකාවට පැමිණ මාස නවයකට පසුව සාමාන්‍ය පරිදි ගෙවුණු සති අන්තයකදී, බෲ, සයිමන්, ටෝබි, ජොආන් නමැති ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමග වනෝද්‍යානයක අත්දැකීම් ලැබීම සඳහා රක්ෂිතයක් වෙත මෝටර් රථයකින් පිටත් වූහ.

"මට මතක එතනදී අපි ගොඩක් විනෝද වුණා, ගොඩක් හිනාවෙලා හරි ම උද්‍යෝගයෙන් හිටියා කියලා විතරයි," ඔහු පවසයි. "ඊට පස්සේ එකපාරට ම සුදුපාට එළියක් දකිනවා මට මතකයි."

තවත් මෝටර් රියක් ඔවුන් ගමන් කරමින් සිටි මෝටර් රිය සමග මුහුණට මුහුණ ගැටී තිබිණි.

බෲ සිදුවීම් කිහිපයක් පිළිබඳ මතකය අවදි කරයි: සෑම දෙයක් ම ඉතා සෙමින් සිදුවන බවක් දැනිණි. ඔහුගේ මිතුරන් සිටියේ සිහිසුන්ව ය. කන්වලට ඇසුණු හඬ සහ අනතුරුව මෝටර් රථයේ සුන්බුන් තිබූ බොරළු පොළව මත සිට අවදි වී තමාට සිදුව තිබූ තුවාලවල බරපතළකම පිළිබඳ අවබෝධයක් නොමැති, ඔහු තම මිතුරන් කෙරෙහි අවධානය යොමු කරන ලෙස සහන සේවකයන්ට පැවසුවේ ය.

ඔහු ගුවන් මගින් රෝහලකට ගෙන ගිය අතර එහිදී වෛද්‍යවරු ඔහුගේ දිවි බේරා ගැනීම සඳහා සැත්කමකට භාජනය කළහ. ඔහුගේ සිරුර අභ්‍යන්තරයේ රුධිරය වහනය වන බවත්, ඔහුගේ අවයවවලට දැඩි ලෙස හානි සිදුවී පෙනහලු අකර්මණ්‍ය වී ඇති බවත් ඔවුහු සොයා ගත්හ.

"මම අවදි වෙනකොට සති දෙකක් ගතවෙලා තිබුණා," ඔහු පවසයි. "මම හිටියේ වෙන්ටිලේටරයලට සම්බන්ධ කරලා, හෙලවෙන්නවත් බැහැ. මගේ අම්මා එතන ශක්තිමත්ව සිටීමට උත්සහ කළත් මාව ඒ විදිහට දකින්න ලැබුණ එකෙන් ඇය දැඩි ලෙස කඩාවැටුණ එක ගැන සැකයක් නැහැ."

ජොආන්, සයිමන් සහ ටෝබි යන සියලු දෙනා අනතුරේ ප්‍රතිඵලයක් ලෙස මිය ගොස් තිබිණි. බෲ දිවි ගලවා ගත් එක ම පුද්ගලයා විය.

Marc Brew bending over backwards in his wheelchair, arms raised high while he performs 'Remember When' on stage. He is wearing a white vest and white trousers and has a tattoo around his arm.

ඡායාරූප මූලාශ්‍රය, Andrea Testoni

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඔවුන් මාව දැනගෙන හිටියේ නැහැ, ඔවුන් මගේ ශරීරය ගැන දැනගෙන හිටියේ නැහැ. මම නර්තන ශිල්පියෙක්"

වෛද්‍යවරු මේ ආරංචිය ඔහු වෙත පැවසූහ: සුෂුම්නාවට සිදු වූ තුවාලයක් හේතුවෙන් ඔහුට නැවත ඇවිදීමට නොහැකි වී ඇත. නමුත් ඔහු එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළේ ය.

"ඔවුන් මාව දැනගෙන හිටියේ නැහැ," ඔහු පවසයි. "ඔවුන් මගේ ශරීරය ගැන දැනගෙන හිටියේ නැහැ. මම නර්තන ශිල්පියෙක්. මට කරන්න තියෙන දේ කරලා මම ආපහු ඇවිදියි කියලා මම හිතුවා. නර්තන ශිල්පීන් කියන්නේ දැඩි ඔරොත්තු දීමේ හැකියාව තියෙන පුද්ගලයින් පිරිසක්."

නමුත් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් අනතුරුව මෙල්බර්න්හි පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී ඔහුට යථාර්ථයට මුහුණ දීමට සිදු විය. ඔහුගේ දෑත් සෙලවිය හැකි වූ නමුත් දෙපා එලෙස නොවිණි. "ආයෙත් ඒ දේවල් ලැබුණේ නැහැ," ඔහු පවසයි. "ඒක හරි ම ඛේදනීය දෙයක් වුණා."

මෙය නොතකා නැවත නර්තන පුහුණුවීම් ශාලාව වෙත යාමට මිතුරන් ඔහු දිරිමත් කළහ. පළමුව, එය සිදු කරන්නේ කෙසේ ද යන්න ඔහු දැන නොසිටියේය. අනතුරුව වෙනස සිදු විය. නිව් යෝර්ක්හි සිටි බෲගේ මිතුරන් දෙදෙනෙක් රෝද පුටුවක් භාවිත කරන නර්තන නිර්මාණ ශිල්පී කිටී ලන් හමු වූ අතර ඔහුට ඇය හඳුන්වා දුන්හ.

ඇගේ ඉන්ෆිනිටි ඩාන්ස් තියටර් සමාගම සමග පුහුණුවීමට ඇය බෲට ආරාධනා කළා ය. රෝද පුටු භාවිත කරන්නන් විසින් ඉදිරිපත් කරනු ලබන වෘත්තීය මට්ටමේ නර්තනයන් ජීවිතයේ පළමු වරට ඔහු දුටුවේ ය. "ඒක කරන්න පුළුවන් දෙයක් කියලා මම තේරුම් ගත්තා. නර්තන ශිල්පියෙකු මොන වගේ වෙන්න ඕනෙ ද කියන එක ගැන මං තුළ ම තිබුණ අවබෝධය වෙනස් කරගන්න මට සිද්ධ වුණා."

අනතුරින් වසර දෙකකට පසුව එනම් 1999දී බෲ නිව් යෝර්ක් වෙත පැමිණියේය. ඔහු ඔහුගේ උඩුකය සහ රෝද පුටුව භාවිත කරමින් බැලේ නර්තන ශිල්පය සම්බන්ධ තාක්ෂණික ක්‍රම නැවත හැදෑරීම ආරම්භ කළේ ය. "කාලයාගේ ඇවෑමෙන් මම ඉන් පිටවන විට මම විශ්වාසයෙන් ඉහළට ගිහිං හිටියා," ඔහු පවසයි.

Marc Brew sitting in his wheelchair during a live performance of 'Remember When' on stage. He is wearing a white vest and white trousers, white ballet shoes and has a tattoo around his arm. He has his eyes closed and head topped up towards the sky.

ඡායාරූප මූලාශ්‍රය, Andrea Testoni

ඡායාරූප ශීර්ෂ වැකිය, අනතුරින් වසර දෙකකට පසු, බෲ ඔහුගේ උඩුකය සහ රෝද පුටුව භාවිත කරමින් බැලේ නර්තන ශිල්පීය ක්‍රම නැවත ඉගෙන ගැනීමට පටන් ගත්තේ ය

බෲ විවිධ ශරීර හැඩතල හරහා චලනයන් ගවේෂණය කිරීම සම්බන්ධයෙන් ගෞරවනීය නර්තන ශිල්පියෙකු සහ කලා අධ්‍යක්ෂවරයෙකු බවට පත්විය. 2024 වසරේදී ඔහු නර්තන නිර්මාණ ශිල්පී සිඩි ලාර්බි ෂර්කවී සමග එක්ව රිය අනතුර දෙස නැවත හැරී බැලීමක් ලෙස සහ ඔහුගේ මිතුරන්ට ගෞරවයක් ලෙස 'An Accident/A Life' නිර්මාණය කළේ ය.

"ඒක ජොආන්, සයිමන් සහ ටෝබිට ගෞරව දක්වන්න පුළුවන් විදිහක්," ඔහු පවසයි. "ඒ වගේ ම ඒක නැවතත් ජීවිතය සොයා යාමක්."

ඔහුගේ මීළඟ නිර්මාණය වන Boys Don't Dance, ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය චින්තනයක් වන'පිරිමි ළමයි නර්තනය නොකළ යුතුයි,' යනුවෙන් ඔහුට ඇසුනු ප්‍රකාශ පාදක කර ගත් එකකි. "මම එදා ඒ දේවල්වලට ඇහුම්කන් දුන්නා නම්, අද මම මෙතැන නැහැ," ඔහු පවසයි. "වෙනස් කෙනෙක් විදිහට ඉන්න එක හොඳ දෙයක් විතරක් ම නෙමෙයි, ඒක ලස්සන දෙයක්."

බෲට දැන් ජෙඩේඩයා නමැති කුඩා පුතෙකු සිටින අතර ඔහු දැනටමත් නර්තනයට ආශා කරන්නෙකු බවට පත්ව තිබේ. බෲ කුඩා කල ජෙරිල්ඩරීහිදී කුඩා පිරිමි දරුවෙකුව සිටියදී සිදු කළ අයුරින්, ඔවුහු නිවසේදී එකට එක්ව නටති.

"ඔහු මට මාව ම මතක් කරනවා," ඔහු පවසයි. "නර්තනයට අවශ්‍ය යම් දෙයක් ඔහු තුළ තිබෙනවා."

බීබීසී ලෝක සේවයේ Outlook කථාංගයක් මත පදනම්ව ලියැවිණි.