'හිටපු අටමස්ථානාධිපති හිමි තෑගි කළ' බව කියන රු. කෝටි 10ක් වටිනා ඉඩමක අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකුගේ බිරියක් නඩු පවරයි

පල්ලේගම සිරිනිවාස හිමි

ඡායාරූප මූලාශ්‍රය, Facebook

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වීමට දින පහකට පෙර තමන්ට තෑගි කළ රුපියල් කෝටි 10ක් වටිනා ඉඩමකට අදාළ තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් එම තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙසට රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකුගේ බිරියක නඩු පවරා තිබේ.

ඒ අනුව, එම නඩුවට අදාළව විත්තියේ සාක්ෂි ලබා දීමට ජූනි 4 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර දිසා විනිසුරු සම්පත් හේවාවසම් රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට නියෝග කළේ ය.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සහ අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා නම් කර ඇත.

සිද්ධිය කුමක් ද?

පෙත්සම්කාර කාන්තාව නීතිඥ අලෝක බණ්ඩාර ප්‍රේමරත්න මගින් ස්වකීය පෙත්සමෙන් අධිකරණයට පවසා ඇත්තේ, තමා ත්‍යාගලාභියා වෙමින් ද හිටපු අටමස්ථානධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් ත්‍යාග දීමනාකරු වෙමින් ද අනුරාධපුරයේ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු විසින් ලියා සහතික කරන ලද 2022.10.13 දින දරන අංක 5493 තෑගි ඔප්පුව (අනුරාධපුර මහ නගර සභා සීමාව තුළ පිහිටි අනුරාධපුර නව නගරයේ පළමු පියවරෙහි ඇළබොඩ කැළේ නමින් හඳුන්වන ඉඩම) නිසි පරිදි සහතික කර උතුරු මැද පළාත් සභාවට සහ රජයට ගෙවිය යුතු ගාස්තු ගෙවා ලියාපදිංචිය සඳහා දෙවන වගඋත්තරකාර අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාරවරයා වෙත ඉදිරිපත් කළ බව ය.

එම ලේඛන ලියාපදිංචි කිරීම සඳහා දින පොත් අංක ඩී/බී 4787 සහ 2022.12.18 වන (අටමස්ථානාධිපති හිමියන් අපවත් වූ දින) දිනැතිව භාර ගත් බව ද පවසන පෙත්සම්කාරිය එසේ ලියා පදිංචිය සඳහා භාර ගත් අංක 5493 ප්‍රසිද්ධ නොතාරිස් විසින් සහතික කරන ලද තෑගි ඔප්පුව දෙවන වගඋත්තරකාර අනුරාධපුර දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා ඔහුගේ අංක අනු/ඊ රෙ/2/රපො/06/2021/42/2022 හා 2022.10.20 යන දින දාතමින් යුක්තව ඉඩම ලියාපදිංචිය ප්‍රතික්ෂේප කරමින් ප්‍රසිද්ධ නොතාරිස් වෙත ආපසු එවා ඇති බව ද සඳහන් කර ඇත.

දෙවන වගඋත්තරකාර අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා ඉහත සඳහන් කරන ලද තෑගි ඔප්පුව ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීමට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ, ඔප්පුවේ පාර්ශවකරුවන් සහ සාකෂිකරුවන් කොළඹදී (සිරිනිවාස හිමියන් ප්‍රතිකාර ලබිමන් සිටි කොළඹ පෞද්ගලික රෝහලේදී) අත්සන් කළ බව නොතාරිස් සහතිකයේ සඳහන් වන නමුත් නොතාරිස්වරයාගේ අධිකරණ කලාපය අනුරාධපුර අධිකරණය කලාපය වීම යනුවෙන් බව ද පෙත්සම්කාරිය ප්‍රකාශ කර තිබේ.

පසුව මෙම තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට වගඋත්තරකරුවන් ගෙන ඇති තීරණය පිළිනොගන්නා බවත්, තෑගි ඔප්පුව පාර්ශවකරුවන් සහ සාකෂිකරුවන් නිසි ලෙස අත්සන් කර නිසි අධිකරණ කලාපය තුළදී සහතික කර ඇති නිසා එය ලියාපදිංචි කර දෙන ලෙසට ඉල්ලමින් ප්‍රසිද්ධ නොතාරිස්වරයා මගින් වගඋත්තරකරුවන්ට නැවත අභියාචනයක් ඉදිරිපත් කළ බවත් පෙත්සම්කාරිය පවසා ඇත.

කෙසේ වෙතත්, එම අභියාචනයට අනුව ද වගඋත්තරකරුවන් 5493 අංක දරන තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව ඇය තවදුරටත් සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන්, තමා දැඩි ලෙස අගතියට පත්ව සිටින බව සඳහන් කරන පෙත්සම්කාරිය වගඋත්තරකරුවන් මුල් අවස්ථාවේදී ම මෙන් ම අභියාචනයේදී ද තම නමින් ඇති ඔප්පුව ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැහි බව ද කියා ඇත.

පෙත්සම්කාරියගේ ඉල්ලීම

ඒ අනුව, නොතාරිස්වරයා විසින් ලියා සහතික කරන ලද 5493 දරන තෑගි ඔප්පුව නොතාරිස් ආඥා පනතේ විධි විධානයන්ට අනුකූලව සහතික කර ඇති ඔප්පුවක් බවට තීන්දු කරන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් අයැද ඇත.

තෑගි ඔප්පුව ලියාපදිංචි කිරීම වගඋත්තරකරුවන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ද ඉල්ලා ඇති පෙත්සම්කාරිය 5493 අංක දරන තෑගි ඔප්පුව ලියාපදිංචි කරන ලෙසට වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයි ද ඉල්ලා තිබේ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ ආලෝක බණ්ඩාර ප්‍රේමරත්න පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ මාලනී රණේපුර පෙනී සිටියා ය.