ඉන්ධන QR ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු මෙන්න

- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 8
මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය තත්ත්වය හමුවේ මාර්තු 15 වන දින සිට QR කේතය යටතේ කෝටා ක්‍රමයකට අනුව ඉන්ධන ලබා දීමට රජය කටයුතු කළේ, ඉදිරියේදී ඉන්ධන සැපයුම අඩුවීමක් සිදුවුවහොත් ඒ සඳහා පිළියමක් වශයෙනි.
මෙහිදී ඉන්ධන පරිභෝජනය කිරීම අවම කිරීම එහි අරමුණ වූ අතර, ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටි සමයේ ඉන්ධන නිකුත් කළ ආකාරයට ම QR කේතයක් මගින් ඉන්ධන ලබා දීම මෙහිදී සිදුවේ.
නමුත් බොහෝ දෙනෙකුට මෙම QR කේතය ලබා ගැනීමට නොහැකි වී තිබූ අතර, විශේෂයෙන් ම අදාළ වෙබ් අඩවියට ඇතුළු වී සිය දත්ත ඇතුළත් කළ නමුත් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට බොහෝ දෙනෙකුට සිදුව තිබිණි.
බීබීසී සිංහල විසින් ද මාර්තු 17 වන දින නාවල, නුගේගොඩ හරහා මහරගම සිට පැලවත්ත දෙසට නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල සිටි ඇතැම් අයට QR කේතය ලබා ගැනීමට නොහැකි වූ බව බීබීසී සිංහල වෙත පැවසූහ.
තව ද එය ස්කෑන් කිරීමේදී ද ගැටලුකාරී තත්ත්වයන් ඇති වී තිබූ බව ද අසන්නට ලැබිණි.
මෙලෙස ජනතාව පොදුවේ QR කේතයක් ලබා ගැනීමේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන සුමුදු රත්නායකගෙන් විමසීමක් කරන ලදී.
එහිදී, බොහෝ දෙකෙනෙකුට QR සාදා ගැනීමට නොහැකි වූ හේතු සහ ඒවාට මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔහු පැහැදිලි කිරීමක් කළේ ය.
01. QR කේතයක් ලබා ගැනීමට අත්‍යවශ්‍ය ම දේවල් මොනවා ද?
ඉන්ධන QR කේතය ලබා ගැනීම සඳහා ඔබ විසින් https://fuelpass.gov.lk හරහා ලියාපදිංචි විය යුතු ය.
එහිදී එක් ජාතික හැඳුනුම්පත් අංකයක්, එක් දුරකතන අංකයක් යටතේ ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දෙන්නේ එක් වාහනයකට පමණක් බවට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක පැවසුවේ ය.
"එක ජංගම දුරකතන අංකයකින් සහ එක ජාතික හැඳුනුම්පත් අංකයකින්, එක වාහනය යි ලියාපදිංචි කරන්න පුළුවන්."
"එතකොට කෙනෙක් අලුතෙන් ම මේකට ලියාපදිංචි වෙනවා නම් එයාගේ ජංගම දුරකතන අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය මීට කලින් කිසි ම විදිහකට මේ පද්ධතියේ ලියාපදිංචි වෙලා තියෙන්න බෑ. කලින් ලියාපදිංචි නොවුණ අංක දෙකක් නම් තියෙන්නේ එයාට කිසි ම බාධාවකින් තොරව ලියාපදිංචි වෙන්න පුළුවන්," උපදේශකවරයා පවසයි.
02. කලින් පැවති QR කේතය පාවිච්චි කරන්න පුළුවන් ද?
පසුගිය ඉරිදා උදෑසන එනම් මාර්තු 15 වන දින සිට QR කේත සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවට රජය නිවේදනය කිරීමෙන් පසුව විවෘත කළ දත්ත පද්ධතිය, මීට පෙර 2023 වසරේ අගෝස්තු දක්වා වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳහා යොදාගත් QR කේත ලබා දුන් දත්ත පද්ධතිය ම බව උපදේශකවරයා පැවසුවේ ය.
"අපි එදා QR හරහා ඉන්ධන දීම නිවේදනය කරලා කියපු දේ තමයි අපට QR හරහා ඉන්ධන ලබා දෙන්න පුළුවන් වෙන්නේ 2023 අගෝස්තුවලින් පස්සේ ජංගම දුරකතන අංකය සහ වාහනය කියන දෙක ම වෙනස් නොකළ කෙනෙක්ට කියන එක."
"2023 අගෝස්තු තමයි අපි අන්තිමට QR එකට ඉන්ධන දෙන එක නවත්තලා තියෙන්නේ. 2023 අගෝස්තුවලින් පස්සේ ඔයාගේ දුරකතන අංකය හරි වාහනය හරි වෙනස් වෙලා නැත්නම් ඔයාට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔයාගේ QR එක ඔයා ළඟ තියෙනවා නම් ඒක ම පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් සිස්ටම් එකට ලොග් වෙලා ආපහු QR එක ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න පුළුවන්," අමාත්‍යංශ උපදේශක සුමුදු රත්නායක පැවසුවේ ය.
03. දුරකතන අංක වෙනස් කළ අය QR කේතය ලබා ගන්නේ කොහොම ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෙසේ වෙතත්, 2023 වසරෙන් පසුව එක ම වාහනය භාවිතය කළ ද ඒ වන විට භාවිතයේ තිබූ දුරකතන අංකය මේ වන විට තමන් සතුව නොමැති විශාල පිරිසක් ද සිටින බව නිරීක්ෂණය වී ඇතැයි උපදේශකවරයා පැවසුවේ ය.
"ඒ අය අලුත් දුරකතන අංකයෙන් ලියාපදිංචි වෙන්න හැදුවට වැඩක් නෑ, ජාතික හැඳුනුම්පත් අංකය දාපු ගමන් එනවා ඒක පද්ධතියේ තියෙන එකක් කියලා. මොක ද එයාගේ තොරතුරු ඒ වෙනකොටත් පද්ධතියේ තියෙනවා," ඔහු පැවසුවේ ය.
එලෙස දුරකතන අංක වෙනස් කර ඇති පිරිස මිලියන 2කට ආසන්න බව ද ඔහු කියා සිටියේ ය.
"ඊට පස්සේ අපි කරපු දේ තමයි කලින් ලියාපදිංචි වෙලා තියෙන සියලු ම ජංගම දුරකතන අංක අපි ඩයලොග්, හච් සහ මොබිටෙල් කියන සමාගම්වලට යැව්වා. ඒ සමාගම්වලින් අපි වාර්තාවක් ඉල්ලුවා ඒ අංකවලින් මේ වෙද්දී භාවිතයේ නැති අංක මොනව ද, ඉවත් කරලා තියෙන අංක මොනවා ද, හිමිකාරීත්වය වෙනස් කරලා තියෙන අංක මොනවා ද කියලා," ඔහු පැවසුවේ ය.
"පෙරේදා වෙනකන් ඒ අයට ප්‍රශ්න ටික තිබුණා. අපට වාර්තාව ආපු ගමන් අපි ඒ දුරකතන අංකවලින් තියෙන ගිණුම් ඔක්කොම පද්ධතියෙන් ඉවත් කළා. ඒ අනුව, ඒ අයට දැන් පුළුවන් අලුතෙන් ම ලියාපදිංචි වෙන කෙනෙක් විදිහට පද්ධතියේ ලියාපදිංචි වෙන්න. එක ම වාහනේ තිබිලා දුරකතන අංකය මාරු වුණ අයට මේක තමයි අපි දීලා තියෙන විසඳුම," උපදේශකවරයා විස්තර කළේ ය.
04. අලුත් වාහනයක් මිල දී ගත් අය QR කේතය ලබා ගන්නේ කොහොම ද?
2023 වසරෙන් පසුව නව වාහනයක් මිල දී ගත් පුද්ගලයින්ට ද ඇතැම් විට පද්ධතියේ ලියපදිංචි වීම සිදු කිරීමට නොහැකිව තිබූ අවස්ථා වාර්තා වී තිබිණි.
"අලුත් වාහනයක් අරගෙන තමන්ගේ නමට ලියාපදිංචි කරගෙන තිබුණත්, ඒ අය කලින් වහනයක් සඳහා මේ පද්ධතියේ ලියාපදිංචි වෙලා හිටියා නම්, එයාලගේ තොරතුරු පද්ධතියේ දැනටමත් තියෙන නිසා ඒ අයටත් අලුත් වාහනය ලියපදිංචි කර ගන්න බැරි වුණා," සුමුදු රත්නායක විස්තර කළේ ය.
එමෙන් ම වෙනත් අයෙකු භාවිත කළ වාහනයක් මිල දී ගත් අයට ද මෙම ගැටලුවට මුහුණ දීමට සිදුව තිබූ බව ඔහු පැවසුවේ ය.
"මේ නිසා අපි 2023 අගෝස්තුවලින් පස්සේ හිමිකාරීත්වය මාරු වුණ සියලු වාහනවල විස්තර අපි ලබා ගත්තා. ඊට පස්සේ අපි ඒ ගිණුම් ටිකත් පද්ධතියෙන් ඉවත් කළා," ඔහු පැවසුවේ ය.
"ඉරිදා ඉඳලා ලොකු ම ප්‍රශ්න තිබුණ කොටස් දෙකක් හිටියා. ඒ, අලුත් ම වාහනයක් අරගෙන ලියාපදිංචි කර ගන්න බැරි වුණ අය සහ හිමිකාරීත්වය මාරු වුණ නිසා ලියාපදිංචි කර ගන්න බැරි වුණ වාහන හිමි අය."
"පෙරේදා හවස් වෙනකන් මේ අයගේ තොරතුරු අපි පද්ධතියෙන් ඉවත් කරලා තිබුණේ නැති නිසා දවස් දෙකකට ආසන්න කාලයක් තිස්සේ සාර්ථකව QR සඳහා ලියාපදිංචි වෙලා තිබුණේ 50,000කට ආසන්න සංඛ්‍යාවක් විතර යි," ඔහු පැවසුවේ ය.
නමුත් ඉහත සඳහන් අනවශ්‍ය දත්ත පද්ධතියෙන් ඉවත් කිරීමෙන් පසුව පෙරේදා සවස 4 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ 350,000කට අසන්න සංඛ්‍යාවක් සාර්ථකව ලියාපදිංචි වී ඇති අතර, මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ උදෑසන 6 දක්වා 90,000ක් පමණ ලියාපදිංචි වී ඇති බව ද උපදේශක සුමුදු රත්නායක පවසයි.
කෙසේ වෙතත්, එක් වරකට විශාල වශයෙන් ලියාපදිංචි වීමේ ඉල්ලීම් ලැබෙන නිසා ඇතැම් ඉල්ලීම් ඇණ හිටින බව ද ඔහු පැවසුවේ ය.
05. QR කේතය ලබා ගත් දුරකතන අංකය ඔබ නොදන්නේ නම් කළ යුත්තේ කුමක් ද?
විශේෂයෙන් ම යම් ආයතනයකට අයත් වාහනයක් සඳහා මීට පෙර වෙනත් අයෙකුගේ දුරකතන අංකයකින් QR කේතයක් ලබාගෙන තිබිය හැකි අතර, මේ වන විට එම ආයතනය සතුව වාහනය පැවතිය ද දුරකතන අංකය හිමි පුද්ගලයා කවුරුන් ද යන්න ඔබ දැන නොසිටිය හැකි අතර, ඇතැම්විට එම පුද්ගලයා මේ වන විට එම ආයතනයේ සේවය නොකරනවා විය හැකි ය.
මෙහිදී වාහනයේ හිමිකාරීත්වය ද වෙනස් වී නොමැති අතර, QR කේතය ලබා ගත් පුද්ගලයාගේ ජංගම දුරකතනය ද ක්‍රියාත්මකව පැවතීම නිසා එම දත්ත පද්ධතියෙන් ඉවත් කර නොතිබිය හැකි ය.
එවැනි අවස්ථාවක නැවත අලුතෙන් QR කේතයක් ලබා ගන්නා ආකාරය ද අමාත්‍යංශ උපදේශකවරයා විස්තර කළේ ය.
"උදාහරණයක් විදිහට, කලින් ආණ්ඩුවේ යම්කිසි අමාත්‍යංශයක අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය භාවිත කරපු වාහනයක් මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය භාවිත කරනවා වෙන්න පුළුවන්. නමුත් දැන් වාහනය භාවිත කරන කෙනා දන්නේ නෑ කලින් මේක භාවිත කරපු කෙනා කවුද කියලා. නමුත් මේ වාහනේ ආපහු ලියාපදිංචි කරන්න දෙන්නෙත් නෑ, මොක ද ඒක දැනටමත් ලියාපදිංචි කරලා කියලා පෙන්වන නිසා," ඔහු විස්තර කරයි.
"ඒ වගේ අවස්ථාවකදී ඒ අයට පුළුවන් 1919 අමතලා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ සහය ලබා ගන්න. ඒ අංකයට කතා කරලා දැනුම් දුන්නට පස්සේ එයාලා තොරතුරු තහවුරු කරලා ඒ දත්ත ටිකත් පද්ධතියෙන් ඉවත් කරන්න කටයුතු කරනවා. එතකොට ඒ අයට අලුතෙන් ලියාපදිංචි වෙන්න පුළුවන්."
එමෙන් ම, 1919 අංකය සම්බන්ධ කර ගැනීමට නොහැකි අය වෙනුවෙන් වට්ස්ඇප් අංකයක් ද ඉදිරියේදී හඳුන්වා දෙන බව ද උපදේශකවරයා පැවසුවේ ය.
06. ඔබේ ව්‍යාපාරය සතුව ඇති වාහන කිහිපයක් ලියාපදිංචි කර ගන්න පුළුවන් ද?
මෙම ලියාපදිංචි වීමේ ක්‍රමවේදය යටතේ සාමාන්‍යයෙන් ලියාපදිංචි කිරීමට හැකි වන්නේ එක් වාහනයක් පමණි.
නමුත් ඔබගේ ව්‍යාපාරයට අයත් වාහන කිහිපයක් තිබේ නම් ලියාපදිංචි වීමේ ක්‍රමවේදයේදී ඔබේ ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසු ඔබගේ ව්‍යාපාරයේ වාහන එක් ගිණුමක් යටතේ ලියාපදිංචි කිරීමේ හැකියාව පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක පැවසුවේ ය.
"මේ විදිහට පද්ධතියේ කලින් ලියාපදිංචි වෙලා තිබුණ ගිණුම් ටිකත් අපි ඉවත් කළා. මොක ද අපි දන්නේ නෑ දැන් ඒ ව්‍යාපාර තියෙනවා ද කියන එක සහ ඒ වාහන දැන් ඒ ව්‍යාපාරය සතුව තියෙනවා ද කියලා. ඒ නිසා දැන් ආපහු පුළුවන් ව්‍යාපාර ලියාපදිංචි වීමේ සහතිකය ඇතුළත් කරලා අලුතෙන් ලියාපදිංචි වෙන්න," ඔහු පැවසුවේ ය.
07. ලියාපදිංචි නොකළ වාහන/ ගොවිතැන් සඳහා යොදාගන්නා වාහන/ ජෙනරේටර් සඳහා ඉන්ධන ලබා ගන්නේ කොහොම ද?
මේ වන විට QR කේත ලබා දීම සිදු කරන්නේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද වාහන සඳහා පමණක් බව උපදේශකවරයා අවධාරණය කළේ ය.
නමුත්, ලියාපදිංචි නොකළ වාහන, විශේෂයෙන් ම ගොවිතැන් කටයුතු සඳහා යොදාගන්නා වාහන සහ උපකරණ, ධීවර බෝට්ටු මෙන් ම ජෙනරේටර් සඳහා ඉන්ධන ලබා දීමට ජාතික ඛණිජ තෙල් සංස්ථාව විසින් අයදුම්පතක් හඳුන්වා දෙන බව ඔහු පැවසුවේ ය.
එම අයදුම්පතේ අදාළ විස්තර සටහන් කර එය ග්‍රාමනිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් විසින් අනුමත කර තිබීම අනිවාර්ය විය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.
08. ඉන්ධන කෝටාව අලුත් වෙන්නේ කවදා ද?
මීට පෙර පැවති ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීම සඳහා අලුත් සතියක් ඇරඹුණේ බදාදා දිනයේ ය.
නමුත් දැන් එය අලුත් වීම සිදුවන්නේ සෑම සෙනසුරාදා දිනයකදී ම ය.
09. ඔබේ QR එකේ ඉන්ධන කෝටාව අඩු වෙලා ද?
QR කේතයක් පැවති අයගේ කෝටා අඩුවී තිබූ බවට ඇතැම් අය වාර්තා කර තිබූ අතර එසේ වූයේ පැරණි පද්ධතියේ දත්ත ම මේ අවස්ථාවේදී යොදාගත් නිසා බව උපදේශකවරයා පැවසුවේ ය.
"පරණ QR එකේ ඉතිරි වෙලා තිබුණ ප්‍රමාණය තමයි බැලන්ස් එක විදිහට පෙන්වන්නේ. නමුත් අපි අද රෑ පද්ධතිය යාවත්කාලීන කිරීමක් සිදු කරනවා. එතකොට ඒ ප්‍රශ්නය විසඳෙයි," ඔහු පැවසුවේ ය.
10. පෞද්ගලික වාහන එකකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි කරන්න පුළුවන් ද?
පෞද්ගලික පරිහරණය සඳහා වාහන කිහිපයක් ඇති අයට එම වාහන සියල්ල එක් ගිණුමක් යටතේ ලියාපදිංචි කිරීමේ අවස්ථාව මෙම ක්‍රමවේදය යටතේ ලබා දී නොමැත.
"මේ ක්‍රමවේදයේ අරමුණ ම ඉන්ධන භාවිතය අඩු කරන එක නේ. ඒ නිසා එක හැඳුනුම්පත් අංකයක් සහ එක දුරකතන අංකයකට ලියාපදිංචි කරන්න පුළුවන් එක වහනයක් විතර යි."
කෙසේ වෙතත් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශකවරයා පැවසුවේ, අවශ්‍ය නම් පවුලේ වෙනත් අයෙකුගේ දත්තවලින් එම ලියාපදිංචි කිරීම සිදු කිරීමට හැකි බව ය.
11. වෙනත් ජංගම දුරකතන අංකයක් සඳහා කලින් ලියාපදිංචි කළ වාහන ඉන්ධන QR කේත ලබා ගන්නේ කොහොම ද?
මීට පෙර (2026 මාර්තු 14ට පෙර) වාහන ඉන්ධන QR කේත සදහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවතත් ලබාගැනීමේ දී, එම ලියාපදිංචිය සිදු කළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැති වීම හෝ වෙනත් අයෙකු සතුවීම හේතුවෙන් මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා මාර්තු 19 සිට නව විශේෂාංගයක් එම පද්ධතියට එක් කර ඇත.
මෙම නව ක්‍රමවේදය හරහා එම බාධාවන් ඉවත් කර වඩාත් පහසුවෙන් ඉන්ධන QR කේතය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
ඒ අනුව,
- ඔබගේ වාහනයේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වාහන අංකය සහ චැසි අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් පමණක් මෙම නව පහසුකම භාවිත කළ හැක.
- වාහනය දැනටමත් වෙනත් අංකයක් යටතේ වාහන ඉන්ධන QR කේත සදහා ලියාපදිංචි වී තිබුණ ද (ලියාපදිංචිය 2026 මාර්තු 14ට පෙර විය යුතුය), ඔබ සතු නිවැරදි තොරතුරු ඇතුළත් කර පවතින ලියාපදිංචිය අවලංගු කර ඔබගේ නව දුරකථන අංකය යටතේ ලියාපදිංචි විය හැක.
- ඔබ 'Override' විකල්පය තෝරාගත් විට, එම වාහනයට සම්බන්ධ පැරණි ගිණුම දත්ත පද්ධතියෙන් ඉවත් කර ඔබගේ තොරතුරු සහිත නව ගිණුමක් වහාම ක්‍රියාත්මක වේ.
මෙම ක්‍රියාවලියේ දී පවතින වාහන ඉන්ධන QR කේත සදහා ලියාපදිංචිය අවලංගු වන බැවින්, පෙර පරිශීලකයාට එම වාහනය වෙනුවෙන් ලැබුණු වරප්‍රසාද සහ ප්‍රවේශය අහිමි වන අතර මෙම පහසුකම මඟින් මෙතෙක් කාලයක් වෙනත් පාර්ශ්වයන් සතුව හෝ භාවිතයේ නොමැති දුරකථන අංක යටතේ ලියාපදිංචි වී තිබූ වාහන සඳහා නිවැරදි හිමිකරුට තම QR කේතය බාධාවකින් තොරව ලබා ගැනීමට හැකියාව ලැබේ.
මෙහිදී තමාට නීත්‍යනුකුල අයිතියක් නැතිව අන් පුද්ගලයෙක් වාහන ඉන්ධන QR කේත සදහා ලියාපදිංචි කල වාහනයක දත්ත ඉවත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව රජය පවසයි.
12. නිවැරදි වෙබ් අඩවියෙන් ලියාපදිංචි වෙන්න
ඉන්ධන QR කේතය ලබා ගැනීම සඳහා https://fuelpass.gov.lk යන වෙබ් අඩවියෙන් පමණක් ලියාපදිංචි වන ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක බ්‍රහස්පතින්දා (මාර්තු 19) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මෙම වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් ද මේ වන විට ඉන්ටර්නෙට්හි පවතින බැවින් ඉහත සඳහන් කළ රජයේ නිල වෙබ් අඩවියේ පමණක් ලියාපදිංචි වන ලෙස ඔහු පැවසුවේ ය.


































