රාජ්‍ය ආයතනවලට අමතර නිවාඩු දිනයක්: අර්බුදයට මුහුණ දෙන්න රජය ගත් තීරණ මොනවා ද?

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

පවතින ඉන්ධන අර්බුදය හමුවේ රජයේ කාර්යාල, පාසල් හා විශ්වවිද්‍යාල සඳහා බලපාන ලෙස සෑම සතියක ම අමතර නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව, සතියේ සෑම බදාදා දිනක් ම විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇමතිවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් සහ අනෙකුත් බලධාරීන් වත්මන් තත්ත්වය පිළිබඳව අද පැවති සාකච්ඡාවේදී තීන්දු කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති අද (මාර්තු 16) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

අනෙකුත් දිනවල රජයේ කාර්යාලවලට කැඳවන සේවකයන් සංඛ්‍යාව හා සේවකයන් රාජකාරී සඳහා ගෙන්වන ආකාරය සම්බන්ධව අදාළ අමාත්‍යංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතු බව ද ඔහු පැවසීය.

වීඩියෝ ශීර්ෂ වැකිය, රජය ගනු ලැබූ තීන්දු ගැන අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් පැහැදිලි කරයි

තවත් තීරණ

කෙසේ වෙතත්, අදාළ බදාදා නිවාඩු දිනය සෞඛ්‍ය, වරාය, ජලය හා රේගුව වැනි අත්‍යවශ්‍යයෙන් ම ක්‍රියාත්මක විය යුතු ආයතනවලට අමතර නිවාඩු දිනය අදාළ නොවන බව ද අතවශ්‍ය කොමසාරිස්වරයා පැවසීය.

එමෙන් ම, රජය විසින් සංවිධානය කරනු ලබන සියලු උත්සව නතර කිරීමට ද තීරණය කර තිබේ.

සංචාරක, කර්මාන්ත, සෞඛ්‍ය හා වැවිලි ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ගණනය කර, එසේ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිකුත් කිරීමට ද අද පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇත.

රාජ්‍ය සේවා පවත්වාගෙන යාමට අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්, බලශක්ති කමිටුව, විජිත් හේරත් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙන් ම බිමල් රත්නායක ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අධීක්ෂණය කිරීමට කමිටුවක් සහ විවිධ සමාජ ශුභසාධන සඳහා උපාලි පන්නිල ඇමතිවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කළ බව අත්‍යවශය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසීය.

අමාත්‍යංශ ලේකම්වරුන් සහ අත්‍යවශ්‍ය නිලධාරීන් එම කමිටුවල සෙසු සමාජිකයින් වන අතර, එම කමිටු විසින් රටේ පවතින තත්ත්වය අධ්‍යයනය කර ඉදිරි කටයුතු කරගෙන යනු ලබන බවත් ඔහු සඳහන් කළේ ය.

"කොපමණ ඉන්ධන සංචිත තිබුණත් ඉදිරියේදී මුහුණ දිය හැකි ගැටලු සම්බන්ධයෙන් අපි පුරෝකථනය කරලා ඒ අනුව ඒකට මුහුණ දීම සඳහා තමයි, අද දින මෙවැනි තීන්දු තීරණ ගනු ලැබුවේ."

අත්‍යවශ කරුණක් හැරුණකොට රජය විසින් පවත්වනු ලබන සියලු උත්සව, සම්මන්ත්‍රණ වැනි කටයුතු සීමා කිරීමට හෝ අත්හිටුවීමට තීරණ කළ බව මෙම මාධ්‍ය හමුවට එක්වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් අලෝක බණ්ඩාර පැවසීය.

අමතර නිවාඩු දිනයක් නම් කළේ ඇයි?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බදාදා දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හේතුව ද ලේකම්වරයා පැහැදිලි කළේ ය.

"මේකේ මූලික අරමුණ වෙන්නේ ඉන්ධන පරිභෝජනය අඩු කිරීම කියන කාරණය වගේ ම, රටේ කාර්යාලවල කටයුතු පවත්වාගෙන යාම කියන කාරණයත් විශේෂයෙන් සැලකිල්ලට ගත්තා. සිකුරාදා දිනයක් දුන්නොත් රටේ කාර්යාල කටයුතු දවස් තුනකින් වහලා තියෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒක නිසා තමයි බදාදා දිනය, සතියේ මැද දිනයක් මේ නිවාඩු දිනය විදියට ප්‍රකාශයට පත් කළේ."

එමෙන් ම තොරතුරු තාක්ෂණය භාවිත කළ හැකි සේවාවන් පිළිබඳව අවධානය යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු කියා සිටියේ ය.

බදාදා දිනයේ විශ්වවිද්‍යාල සඳහා නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබුව ද, අනෙකුත් දිනවල දූරස්ථව අධ්‍යයන කටයුතු කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අධ්‍යාපන ලේකම්වරයාට බලය පැවරූ බව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අත්‍යාවශ්‍ය කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසීය.

පවතින තත්ත්වය හමුවේ පාසල් හා විශ්වවිද්‍යාලවල විභාග දින වෙනස් විය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

ඛනිජ තෙල් සංස්ථාව පවසන ආකාරයට දැනට මාසයකට ආසන්න දින ගණනකට අවශ්‍ය ඉන්ධන තොග මෙන් ම ඉන්ධන නැව් 4ක් පැමිණීම තහවුරු කර ඇති බව ද අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.