'නොහික්මුණු රියැදුරන්ට' දඬුවම් කරන්න පොලිසිය අලුතින් ම පාවිච්චි කරන 'හාඩ් ලෝ' එක කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් විනය ගරුක නොවන ආකාරයෙන් රිය පදවන රියැදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවට ශ්‍රී ලංකා පොලිසිය අනතුරු අඟවා තිබේ.
සෑම දිනක ම රිය අනතුරු එකක් හෝ කිහිපයක් වාර්තා වන අතර ඇතැම් මාරක රිය අනතුරුවල CCTV දර්ශන නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ, එම අනතුරු සිදුවීමට බොහෝවිට අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම හේතු වන බව ය.
එවැනි වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් දැක ගැනීමට ලැබේ.
'හාඩ් ලෝ' යනු කුමක් ද?
"හාඩ් ලෝ කියන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ වැරදි ලෙස ගන්න දේවල්," යැයි පොලිස් රථ වාහන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර බීබීසී සිංහල වෙත පැවසීය.
ඒ අනුව, රථ වාහන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ ද විනය ගරුක නොවන රියැදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.
'හාඩ් ලෝ එක යටතේ රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා'
බීමතින්, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර හෝ අපරික්ෂාකාරී ලෙස රිය පදවන රියැදුරන්ට එරෙහිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය හෝ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම වැනි චෝදනා යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව පොලිස් රථ වාහන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පැවසීය.
"නොහික්මුණ ලෙස හා අවිනීත ලෙස රිය පදවා මාර්ග අනතුරු හා රිය අනතුරු සිදුකිරීමට උත්සහ කරන ලද" යතුරු පැදිකරුවෙකු හා ත්‍රී රෝද රථ රියැදුරෙකු සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝ අනුව විමර්ශනය කර අත්අඩංගුවට ගෙන චෝදනා ඉදිරිපත් කර මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
"අදාළ විමර්ශන කරලා, අදාළ ස්ථානාධිපතිවරු දැනුවත් කරලා අපි අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම සහ අන්තරාදායක බරපතළ වගේ හාඩ් ලෝ එක යටතේ ඉදිරිපත් කරලා දැන් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා.
"විශේෂයෙන් ම කියන්න ඕන දෙයක් තමයි අපේ තරුණයෝ හිතන් ඉන්නේ පාරේ වාහන එයාලට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා. එයලා හිතන් ඉන්නවා පොලිස් නිලධාරීන් ඉදිරියේ වරදක් කළොත් තමයි මේ වරදට පොලිසිය අත්අඩංගුවට ගන්නේ හෝ නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා. මහජනතාව දැනුවත් වෙලා අපිට සෝෂල් මීඩියා හරහා මේවා වීඩියෝ කරලා, ඩෑෂ් කැම් එක හරහා වීඩියෝ කරලා අපිට එවීම තුළින් අපි මේවාට ක්‍රියාමාර්ග ගන්නවා," යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.
'ඒවා වැළැක්වීමට උත්සහ ගත්ත අයට ත්‍යාග පිරිනමනවා'
අවිනීත රියැදුරන් සම්බන්ධව වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල පළ කළ පුද්ගලයින්ට ස්තූතිවන්ත වන බව කී පොලිස් රථ වාහන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කළ පුද්ගලයන්ට ත්‍යාග පිරිනමන බව ද කියා සිටියේය.
"සාර්ථක තොරතුරු අපිට දීලා මාර්ග රිය අනතුරු, ඒ වගේ නොහික්මුණු රියැදුරන්, විශේෂයෙන් තරුණයන් අත්අඩංගුවට ගැනීමට සඳහා පොලිස් නිලධාරීන්ට නොහැකි වුණත් ඒ අවස්ථාවේදී ඒ තොරතුරු දෙන අයට ත්‍යාග ලබා දෙනවා. මොකද ඒ පුද්ගලයෙක් නිසා තව ඉදිරියට වෙන්න තියෙන ඒවා වැළැක්වීමට ගත්ත උත්සහයට ඒ අයට ත්‍යාග ලබා දීමට පොලිස්පතිතුමා දැනුවත් කරලා තියෙනවා."
'නිර්මාණය කරපු ඒවා නෙමෙයි, අපිට හරි තොරතුරු එවන්න'
බරපතළ ලෙස මාර්ග නීති කඩ කරමින්, රිය අනතුරුවලට පාදක වන ලෙස රිය පදවන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස පොලිස් රථ වාහන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
"බස් රථ වෙන්න පුළුවන්, අධික වේගයෙන් එලවනවා නම්, තරගයට එලවනවා නම්, විශේෂයෙන් යතුරු පැදි වෙන් පුළුවන්, ත්‍රී රෝද රථ වෙන්න පුළුවන්, කාර් රථ වෙන්න පුළුවන්, අපිට ඒවා වීඩියෝ කරලා එවන්න. හැබැයි අපිට හරි තොරතුරු එවන්න, නිර්මාණය කරපු ඒවා නෙමෙයි, අපිට හරි තොරතුරු එවන්න, අපි ඒවට කඩිනමින් ප්‍රතිචාර දක්වනවා.
"මතක තියාගන්න ඕන මේ තරුණයෝ මේක පොලිසිය නෑ කියලා නෙමෙයි, කවුරු හරි වීඩියෝ කරලා එව්වොත් අපි අනිවර්යෙන්ම හාඩ් ලෝ එක යටතේ දැඩි නීති ක්‍රියාත්මක කරනවා," යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේ ය.
මහ පාරේ රේස් ගැන දැනුම් දෙන්නැයි ඉල්ලීමක්
එසේ ම මහාමාර්ගවල පවත්වන යතුරු පැදි හා ත්‍රී රෝද තරග පිළිබඳව ද පොලිසිය වෙත තොරතුරු ලබා දෙන ලෙස ද රථ වාහන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලීමක් කළේ ය.
මාර්ග අනතුරු හේතුවෙන් මරණයට පත්වන 34% දෙනෙකු පදිකයන් වන අතර යතුරු පැදිකරුවන් 35%ක් සහ පසු පැදිකරුවන් 7%ක් මරණයට පත්වන බව ද ඔහු පැවසීය.
"අවිනීත රියැදුරන්, යතුරු පැදිකරුවන් මේ තරුණයන් මතක තියාගන්න ඕන, නීතිය ඒ වෙලාවේ නැති වුණත් පසුව හරි, අපිට තොරතුරු ලද විගස අපි ක්‍රියාත්මක වෙලා, නීතිමය ප්‍රතිපදාන යටතේ ඒ අයට විරුද්ධව දැඩි නීති ක්‍රියාත්මක කරනවා," යැයි නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර වැඩිදුරටත් අවධාරණය කළේ ය.


































