බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගයක් කතානායකට භාර දෙයි: ප්‍රධාන චෝදනා මොනවා ද?

- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයා වෙත භාර දී තිබේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා බීබීසී සිංහල සේවයට ඒ බව තහවුරු කළේ ය.
මන්ත්‍රීවරයා පැවසූ පරිදි විශ්වාසභංගයට චෝදනා දෙකක් මූලික වී තිබේ.
ප්‍රධාන චෝදනා මොනවා ද?
කුමාර ජයකොඩි මීට වසර ගණනකට පෙර සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා චෝදනාව සහ ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව විශ්වාසභංගයේ ප්‍රධාන කරුණු වේ.
මන්ත්‍රී අජිත් පී. පෙරේරා සඳහන් කළේ, ඉහත චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකු රටේ වගකිවයුතු අමාත්‍ය ධූරයක් දැරීම නුසුදුසු බව සිය පක්ෂයේ ස්ථාවරය බව ය.
වසර 10කට පෙර රජයට රුපියල් ලක්‍ෂ 88.5ක අලාභයක් කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබ තිබේ.
ඇමතිට එරෙහි නඩුව
රජයට රුපියල් ලක්‍ෂ 88.5ක අලාභයක් කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබ ඇති නඩුවට අදාළ අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට ලබන මාර්තු 23 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවල මාර්තු 16 වන දා සිතාසි නිකුත් කළේ ය.
පෞද්ගලික සමාගමකට වාසි සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා පනතේ 70 වන වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන 'දූෂණය' නමැති වරද කිරීම සම්බන්ධයෙන් එම නඩුව ගොනු කර තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් සේවය කරමින් සිටියදී, පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් රජයට රුපියල් 8,859,708/-ක පාඩුවක් කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.
එමගින් අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන 'දූෂණය' නමැති වරද කළ බවට ද විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා තිබේ.
කෙසේ වෙතත්, කුමාර ජයකොඩි මීට පෙර මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.
ඔහු පවසන පරිදි, ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක පැවති දෝෂයක් එම චෝදනාවට හේතු වී තිබේ.
"ඕන ම මැනේජර් කෙනෙකුට වගකීමක් තියෙනව නෙ. වැඩ කරනකොට අතපසුවීම් හරි මිස්ටේක්ස් හරි වෙන්න. මට දුන්න මේකෙ මම කොක්කක් ගහල යවපු එක විතර යි තියෙන්නෙ. සබ්ජෙක්ට් එක කරන කෙනා ඒක බලපු නැති එක හරි උවමනාවෙන් හරි එතන මේව වුණා. ඒකෙ මට වගකීමක් නැහැ කියන්නෙ නෑ," අමාත්‍ය කුමාර ජයකොඩි රූපවාහිනී වැඩසටහනකදී පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Kumara Jayakody
බාල ගල් අඟුරු චෝදනාව
වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ගෙන්වන ලද ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බව මෙන් ම ඒ හරහා වංචාවක් සිදුව ඇති බැවින් ඊට වගකිව යුතු සියලු දෙනා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේ ය.
නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව විගණකාධිපති නිර්දේශ මත පාර්ලිමේන්තුවේ, රජයේ මුදල් කාරක සභාව විසින් ප්‍රතිපත්තිමය උපදෙස් සපයා තිබියදී රජයේ මාර්ගෝපදේශ ඇතුළු මූලික අවශ්‍යතා උල්ලංඝනය කර කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව නොමග යවමින් ගල් අඟුරු මිල දී ගෙන ඇති බවත්, ඊට සම්බන්ධ වගකිව යුතු සියලු දෙනාට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවට යෝජනා කළේ ය.
මෙරටට ගෙන්වන ලද ගල් අඟුරු නැව්ගත කිරීම් කිහිපයක ප්‍රමිතියේ පවතින ගැටලු සහ ප්‍රසම්පාදනයේ පවතින ගැටලු සම්බන්ධව මරික්කාර් මන්ත්‍රීවරයා දීර්ඝ වශයෙන් පෙබරවාරි 20 වන දා පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.
කෙසේ වෙතත්, මෙම චෝදනා ද බලශක්ති අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේ ය.
ඔහු පැවසුවේ, ගල් අඟුරු සැපයුම්කරුවන් තෝරා ගන්නා ලද්දේ විගණකාධිපති නිර්දේශ අනුව අනුව බව ය.
"මේක ප්‍රසම්පාදනයේවත් කිසි ම විදිහකින් සැපයුම්කරුවෝ වෙනස් කිරීමේ ක්‍රමවේදයක් හෝ ඒගොල්ලන්ට ෆේවර් කරලා අපි කරලා නැහැ. අපි ඕන වෙලාවක ඩිෆෝල්ට් කරන්න පුළුවන් නම් අපි ඒ වෙලාවට ඩිෆෝල්ඩ් කරනවා. එහෙම ඇරෙන්න අනීතිකව කිසි ම දෙයක් අපිට කරන්න බැහැ, නීත්‍යනුකූලව අපි වැඩ කරන්නේ," යැයි කුමාර ජයකොඩි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
මේ අතර, ඇතැම් නැව්වල තිබූ ගල් අඟුරුවල ප්‍රමිතියෙහි අඩුවක් තිබූ හෙයින් දඩ මුදලක් ලබා ගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පෙබරවාරි 24 වන දා පැවසීය.
කුමාර ජයකොඩි ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකාරවරයා ලෙස පත් කරන ලද්දේ, 2005 වසරේදී ය.
කුමාර ජයකොඩි පවසන්නේ, 2005 වසරේදී අනුර කුමාර දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඔහුගේ ඉල්ලීමක් මත එම තනතුර භාර ගත් බව ය.
එතැන් සිට 2015 වසර දක්වා ඔහු එම ධූරයේ සේවය කළේ ය.
මේ අතර, එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශන අවසන් වන තුරු අමාත්‍ය ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඔහු ඉවත් විය යුතු බවට සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබේ.
අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව විමසීම සඳහා ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද, එම කිසිවෙකු මෙතෙක් අපගේ ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා නැත.
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නජිත් ඉන්දික අප දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ අය අතර වූහ.


































