අන්තරයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ PTA යටතේ රඳවා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීමේ උද්ඝෝෂණවල ප්‍රමුඛ භූමිකාවක් ඉටු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නායක වසන්ත මුදලිගේ , 2023 ජනවාරි 31 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රැගෙන යමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

2022 වසරේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පැවති සමයේ එවකට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලිසිය ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේ ය.

එවකට රැදවුම් භාරයේ සිටි වසන්ත මුදලිගේ වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මෙම තීන්දුව ලබා දුන්නේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා විසින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අතර, සමානාත්මතාවයේ අයිතිය සහ නීති විරෝධීව අත්අඩංගුවට පත් නොවී සිටීමට ඇති අයිතිය මෙහිදී උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

නඩු තීන්දුවේ සඳහන් වන්නේ කුමක් ද?

2022 වසරේ අගෝස්තු මස 18 වනදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පැවැත් වූ විරෝධතාවයකින් අනතුරුව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ඔහුගේ නීතිඥවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ, විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත් මෙම රැඳවියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට තරම් සාධාරණ සැකයක් මතුවිය හැකි කරුණු වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර නොමැති බව යි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම රැඳවියාට ඇති චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත් තීන්දුවේ සඳහන් වේ.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවියා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට ගෙන තිබූ තීරණය සාධාරණීකරණය කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවත්, ඒ තුළින් වගඋත්තරකාර පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඒ. කේ. ගමගේ විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 12(1) , 13(1) යන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල තීන්දු කළහ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කාවින්ද පියසේකර ඇතුළු පිරිසක් නම් කර තිබිණි.

රැඳවුම් නියෝග ගැනීමේදී ඔහුට එල්ල වූ චෝදනා මොනවා ද?

2022 අගෝස්තු 18 වන දින වසන්ත මුදලිගේ කැලණිය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඔහු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගන්නා ලදී.

ඔහුව පහත සඳහන් චෝදනා යටතේ රඳවා තබා ගන්නා ලද බවට 2022 වසරේ අගෝස්තු මාසයේදී පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

  • 2022.05.09 සිට 2022 අගෝස්තු දක්වා කාල සීමාව තුළ කොළඹ සහ බස්නාහිර පළාතේ අනෙකුත් අවදානම් ස්ථානවල ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා සාමාන්‍ය ජනතාව උසිගැන්වීමට හා උත්සාහ කිරීමට වසන්ත කුමාර මුදලිගේ කටයුතු කර ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශනය කිරීම
  • එසේ උසිගන්වන ලද සාමාන්‍ය ජනතාවගේ එවැනි ප්‍රචණ්ඩ හැසිරීම් 2022.05.09 දින පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ ඝාතනයට හේතු වී ඇති බවත්,ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඒ පිළිබඳ විමර්ශනය කිරීම
  • එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට බලහත්කාරයෙන් ඇතුලුවීම සහ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ අනර්ථකාරී වරද සඳහා සාමාන්‍ය ජනතාව පෙළඹවීම සහ නීත්‍යානුකූලව තේරී පත් වූ රජය පෙරලා දැමීමේ අවසාන දැක්ම ඇතිව පුද්ගලික සහ පොදු දේපල වලට හානි කිරීමට සම්බන්ධද යන්න පිළිබඳ විමර්ශනය කිරීම
  • 2022.07.09 දින පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කිරීමට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදාවට පහරදී තුවාල සිදුකිරීම සහ එසේ යොදවා ඇති ආරක්ෂකයින් සන්තකයේ තිබි නිල අවි දෙකක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම
  • මහජන සාමය ස්ථාපිත කිරීමේ අරමුණ කරමින් අධිකරණය ලබා දී ඇති නියෝගවලට අකීකරු වීම සහ උල්ලංඝනය කිරීම සඳහා ජනතාව උසිගැන්වීම සම්බන්ධයෙන් සහ
  • අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කිරීම

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කළ හැකි බව පොලිසිය සඳහන් කර තිබිණි.

කෙසේවෙතත් පසුව මෙම සියලු චෝදනාවලින් වසන්ත මුදලිගේ නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේ ය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව 2022 වසරේ නොවැම්බර් 21 වැනිදා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පසුව සියලු නඩුවලට අදාළව 2023 පෙබරවාරි 01 දින ඔහුට ඇප නියම විය.