ඉරානය දෙන බව කී ඉන්ධන ශ්‍රී ලංකාවට ඇත්තට ම ලබා ගන්න පුළුවන් ද?

තෙල් නෞකාවක ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Ali Mohammadi/Bloomberg via Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ඕනෑම මොහොතක ශ්‍රී ලංකාව ඉන්ධන හෝ වෙනත් ඕනෑ ම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉල්ලා සිටියහොත් ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට සපයනු ඇති බව පසුගිය දා කොළඹ ඉරාන තානාපතිවරයා කියා සිටියේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, එම ප්‍රකාශයට ස්තූති වන්ත වන බව ය.

ඉරානය ඉන්ධන සැපයීමට කැමති වුව ද, ශ්‍රී ලංකාවට ප්‍රායෝගිකව ඒවා ලබා ගත හැකි ද? යන්න විමසා බැලිය යුතු කාරණයකි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස සඳහන් කළේ, මෙකෙන්

"නැව් අයිති රටවලට ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් අපිට එහෙම හැකියාවක් නැහැ," යනුවෙනි.

ඉරානය නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ බොරතෙල් පිරිපහදුව

සපුගස්කන්දේ පිහිටි තෙල් පිරිපහදුව 1969 අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලද්දේ ඉරානියන් ලයිට් නැමති බොරතෙල් 38000 BPSD (දිනකට මෙට්‍රික් ටොන් 5200) පිරිපහදු කිරීම සඳහා ය.

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව නිර්මාණය කර ඇත්තේ, විශේෂයෙන් ම ඉරාන බොරතෙල් පිරිපහදු කිරීම සඳහා බව බීබීසී සිංහල කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල පැවසීය.

ඔහු කලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ සේවය කළේ ය.

ඔහු සඳහන් කළේ, මෙරට බොරතලේ පිරිපහදුව නිර්මාණය කරන ලද්දේ, ඉරාන සමාගමක් විසින් බව ය.

"පිරිපහදු කිරීමේදී වැදගත් වන්නේ බොරතෙල් වර්ගය. අපේ පිරිපහදුව නිර්මාණය කළේ ඉරාන සමාගමක්."

"Aghajari කියලා ලෝකේ තියෙන හොඳ ම කෲඩ් එකකට තමා මේක හදලා තියෙන්නේ. මීට අමතරව ඉරානියන් ලයිට්, ඉරානියන් හෙවි ඒවට තමා ඩිසයින් කරලා තියෙන්නේ," යැයි මන්ත්‍රීවරයා පැවසීය.

සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව

කලාපීය තත්ත්වය

ඉරානයට එරෙහි එක්සත් ජනපද - ඊශ්‍රායල යුද්ධය නිසා ඇති වූ බලශක්ති අර්බුදය සමනය කිරීම සඳහා ඇමෙරිකාව තාවකාලිකව සම්බාධක ඉවත් කිරීමෙන් පසු, අසල්වැසි ඉන්දියාවේ ඉන්ධන පිරිපහදු මගින් ඉරාන ඉන්ධන මිල දී ගැනීම නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන් ම, දැනටමත් රටවල් කිහිපයක් ඉරානය ඇතුළු කලාපීය රටවල් සමග සම්බන්ධීකරණයෙන් තෙල් නෞකා කිහිපයක් හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගෙන්වා ගැනීමට ද කටයතු කර තිබේ.

ඉන්දියාව, ජපානය, තායිලන්තය, චීනය, මලයාසියාව, පිලිපීනය ඇතුළු රටවල් ඒ අතර වේ.

ඇමෙරිකානු සම්බාධකවල බලපෑම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙවන් පසුබිමක ශ්‍රී ලංකාවට ඉරානයෙන් ඉන්ධන මිල දී ගැනීමට අවස්ථාවක් තිබේ ද? යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතීඥ කුසල් කාවින්ද අමරසිංහගෙන් බීබීසී සිංහල විමසීමක් කළේ ය.

ඔහු සඳහන් කළේ, ඉරානය ශ්‍රී ලංකාවට ඛණිජ තෙල් ලබා දීමට සූදානම්ව සිටිය ද, ප්‍රායෝගිකව ඒවා ලබා ගැනීම අපහසු වීමට කාරණා දෙකක් බලපාන බව ය.

"ඇමෙරිකාව මුලින් ම ඉරානයට එරෙහිව සම්බාධක පනවන්නේ 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙදී ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉරාන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් අත්පත් කර ගැනීමේ සිදුවීමත් එක්ක. ඊට පස්සේ අවස්ථා කිහිපයකදී ම ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ඉරානයට එරෙහිව විවිධ අවස්ථාවලදී සම්බාධක පනවනවා. ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ කේන්ද්‍ර කර ගනිමින් මුල් වරට සම්බාධක පැනවෙන්නේ 2006 දී ආරක්ෂක කවුන්සිල යෝජනා සම්මතයකින්. 2015 දී පරමාණුක වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවල සාර්ථකත්වය සමග යුරෝපා සංගමය ඇතැම් සම්බාධක ඉවත් කළත්, ඇමෙරිකාව රාජ්‍යයක් ලෙස ඉරානයට එරෙහිව දිගින් දිගට ම ඒ සම්බාධක ක්‍රියාත්මක කළා. විශේෂයෙන් ම ඛනිජ තෙල් අපනයනය වැළැක්වීම සම්බන්ධයෙන්. මේ හේතුව නිසා ලෝකයේ බොහෝ රාජ්‍යයන් ඉරානයෙන් ඛණිජ තෙල් මිල දී ගැනීම නතර කළා. ඒ වගේ ම ඩොලරයෙන් ඛනිජ තෙල් ගනුදෙනු කිරීම අවහිර වීම නිසා ඉරානයෙන් ලෝක වෙළෙඳපොළට ඛනිජ තෙල් මුදාහරින්නන් නොහැකි වුණා."

"තත්ත්වය එසේ තිබියදී 2012 දී ශ්‍රී ලංකාව ඉරානයෙන් ඩොලර් මිලියන 251ක ඛනිජ තෙල් ණයට ගත්තා. නමුත් ඇමෙරිකානු සම්බාධක දැඩි වීමත්, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයත් නිසා ඩොලර් මගින් මේ ණය මුදල ගෙවීමට නොහැකි වී තිබුණා. 2021 දී මෙම ණය පියවීමේ අරමුණින් විකල්ප ක්‍රමවේදයක් ලෙස තේ හුවමාරු කිරීමේ ගිවිසුමක් "ඉරානය සමග ඇති කර ගත්තා. එහිදී සිදු වුණේ ඉරානය දුන් ණය මුදලට අදාළව මෙරටින් තේ අපනයනය කිරීම. එය අදටත් බලාත්මක ගිවිසුමක්. නමුත් මේ වන විට පවතින තත්ත්වය තුළ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේ නෑ. මොක ද නාවුක මාර්ගවල අවහිරතා නිසා තේ අපනයනයට බාධා ඇති වෙලා තියනවා."

"වර්තමාන තත්ත්වය තුළ ඉරානය ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ලබා දීමට සූදානම්ව සිටියත්, එය අපහසු වෙන්න කාරණා දෙකක් තිබෙනවා."

1. ඍජුව ම ඉරානයෙන් මෙරටට ඛනිජ තෙල් ආනයනය කිරීම සඳහා නාවුක පහසුකම් සලසා ගැනීමේ දුෂ්කරතාව.

2. IMF වැඩපිළිවෙළට ඇමෙරිකාවෙන් බලපෑම් එල්ල විය හැකි බැවින් ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින IMF වැඩසටහනට ඉන් බලපෑමක් විය හැකි අවදානමක් පැවතීම.

"මේ කාරණා හැරුණු විට ශ්‍රී ලංකාව හා ඉරානය අතර රාජ්‍ය සබඳතා හෝ වෙළෙඳ සබඳතා පවත්වා ගැනීමට කිසිදු බාධාවක් නෑ," කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්ය නීතීඥ කුසල් කාවින්ද අමරසිංහ බීබීසී සිංහල වෙත කියා සිටියේය.