දේශීය ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ගෝලීය මිල ගණන්වලට සාපේක්ෂව ද?

ඉන්ධන

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 6

මාසිකව ඉන්ධන මිල සංශෝධනයට අමතරව මාර්තු මාසය තුළ ඉන්ධන මිල දෙවතාවක් වැඩි කිරීමට රජය කටයුතු කළේ ය.

ඊට හේතු ලෙස රජය සඳහන් කරනු ලබන්නේ, මැද පෙරදිග යුද්ධය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන ලබා ගැනීමට ඇති අපහසුව හේතුවෙන් ඉන්ධන මිල වැඩි කළ බව ය.

මැද පෙරදිග පවතින යුදමය වතාවරණය හමුවේ ලෝකයේ බොහෝ රටවල ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

මාර්තු මාසයේ ඉන්ධන මිල සංශෝධනය වුණේ කොහොම ද?

මෙරට මාසික මිල සංශෝධනයට අනුව මාර්තු මස පළමු වන දා වන විට ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 281කට, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 329කට, ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 182කට අලෙවි වූ අතර, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 යුරෝ 4 ලීටරයක් රුපියල් 340කට සහ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 293කට මිල නියම කර තිබිණි.

එසේ මිල නියම කර තිබූ ඉන්ධන මිල මාර්තු 09 වැනිදා රාත්‍රීයේ සිට නැවත සංශෝධනයට ලක් වූ අතර ඉන් සියලු ඉන්ධන මිල ගණන් ඉහළ ගියේ ය.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 22කින්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 24කින්, ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 13කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 යුරෝ 4 ලීටරයක් රුපියල් 25කින් සහ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 24කින් මිල ඉහළ දැමී ය.

එම මිල ඉහළ දැමීමෙන් දින 12කට පමණ පසුව මාර්තු 21 වෙනිදා මධ්‍යම රාත්‍රීයේ සිට යළිත් වරක් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගනු ලැබී ය.

එවර මිල වැඩිවීමේදී ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 79කින්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 90කින්, ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 60කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 යුරෝ 4 ලීටරයක් රුපියල් 90කින් සහ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 81කින් මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කළේ ය.

මෙම මිල සංශෝධනයේදී මෙරට ඇතැම් පෞද්ගලික ඉන්ධන බෙදාහරින සමාගම් ලංකා සුපිරි ඩීසල් සහ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 මිල මෙම ප්‍රමාණයටත් වඩා ඉහළ දමනු ලැබී ය.

"බොර තෙල් සහ පිරිපහදු තෙල් වැඩි වීම තුළ අපි තෙල් මිල වැඩි නොකළා නම් තෙල් සංස්ථාවට අමතරව තියෙන පෞද්ගලික සමාගම් තෙල් ආනයනය අඩු කරනවා හෝ නතර කරනවා. එතකොට අපිට තෙල් සැපයුමේ බාධා විමේ ඉඩකඩක් පැවතුණා." යැයි අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක මාර්තු 10 වැනිදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී පැවසීය.

ඉන්ධන මත පනවා ඇති බදු කොපමණ ද?

මේ අතර, පසුගිය සතියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනකට එක්වෙමින් ඉන්ධන මත පනවා ඇති බදු සම්බන්ධව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා විස්තර කළේ ය.

ඔහු පැවසූ පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 115ක බදු මුදලක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 143ක බදු මුදලක් සහ ඩීසල් සඳහා රුපියල් 91ක බද්දක් අය කරනු ලබයි.

මිල වැඩි කළත් රජයට පාඩුයි

කෙසේ වෙතත්, මාර්තු 22 වන දා පැවති මාධ්‍ය හමුවකදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා කියා සිටියේ, මාර්තු මාසය තුළ දෙවන වරටත් ඉන්ධන මිල වැඩි කරනු ලැබුව ද, ඉන්ධන ලැබෙන මිලට වඩා අඩුවෙන් අලෙවි කිරීම තුළින් පාඩුවක් සිදුවන බව ය.

"පෙට්‍රල් ලීටරයක් 430ක් කොස්ට් වෙනවා දැන්, නමුත් 398කට විකුණන්නේ එතකොට රුපියල් 32.72ක් පාඩු වෙනවා. ඩීසල් ලීටරයක් රුපියල් 586.56ක් කොස්ට් වෙනවා, අපි විකුණන්න තීරණය කරලා තියෙන්නේ 382කට ඒකෙන් 204.56ක පාඩුවක් සිද්ධ වෙනවා. භූමිතෙල් ලීටරයක් 395ක් කොස්ට් වෙනවා, විකුණන්නේ රුපියල් 255කට, 140ක පාඩුවක් සිද්ධ වෙනවා. ඒක තමයි ඒකෙන් භාගයක් රජය දරාගන්න තීන්දු කරලා තියෙන්නේ. භාගයක් තෙල් සංස්ථාව සහ අනෙකුත් දරාගන්න තීන්දු (ඉන්ධන ගෙන්වන පෞද්ගලික සමාගම්) කරලා තියෙන්නේ. ඉතුරු ප්‍රමාණය තමයි ජනතාවට දරන්න තීන්දු කරලා තියෙන්නේ."

ඉන්ධන මිලෙහි විනිවිදභාවය ගැන ප්‍රශ්නයක්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රජය විසින් ඉන්ධන සඳහා සහනාධාරයක් ලබා දෙන බව පැවසුවද, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ඉන්ධන මිලෙහි විනිවිද භාවය පිළිබඳව ප්‍රශ්න කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රශ්න කරන්නේ රජය ලබාදෙනවා යැයි කියන සහනාධාරය ද 'මනඃකල්පිත' එකක් නොවේ ද? යන්නයි.

"ඉන්ධන මිලේ විනිවිදභාවය ප්‍රශ්නයක්. අපගේ ගණනය කිරීම්වලට අනුව (පූර්ව අර්බුද සමයේ දත්ත මත පදනම්ව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජය CPC ඉන්ධන මිල තීරණය කිරීමේදී ඔක්ටේන් 92 පෙට්‍රල් බැරලයක් ඩොලර් 130 ක් ලෙසත්, ඔටෝ ඩීසල් බැරලයක් ඩොලර් 180ක් ලෙසත් උපකල්පනය කර ඇති බව පෙනේ.

ඉන්පසු, එම මිල ගණන් මත පදනම්ව පෙට්‍රල් සඳහා රු. 20ක සහ ඩීසල් සඳහා රු. 100ක සහනාධාරයක් ලබා දෙන බව රජය පවසයි. නමුත් ගැටලුව වන්නේ, අප සැබවින් ම ඉන්ධන ආනයනය කර ඇත්තේ, මෙම ඉහළ මිල ගණන්වලට නොවීම යි.

එසේ නම්, මිල සූත්‍රය සඳහා යොදාගෙන ඇති 'ගොඩබෑමේ පිරිවැය' (Landed Cost) හුදු උපකල්පනයක් පමණක් වන අතර, ලබා දෙනවා යැයි කියන සහනාධාරය ද 'මනඃකල්පිත' එකක් නොවේ ද?

මීට පෙර JVP/NPP කණ්ඩායම පැවසුවේ, "මංගලගේ මිල සූත්‍රය වැඩක් නැති දෙයක්" කියා ය. එසේ පවසා දැන් තමන්ට රිසි සේ එම සූත්‍රයේ දත්ත වෙනස් කර ජනතාව නොමග යැවීම වෙනත් කරුණකි. කාංචන විජේසේකර මහතා මේ සම්බන්ධයෙන් විනිවිදභාවයකින් කටයුතු කිරීමට කටයුතු කළේය. වර්තමාන රජයටද එලෙස අවංක සහ විනිවිදභාවයකින් යුතුව කටයුතු කළ නොහැක්කේ ඇයි?" යනුවෙන් ඔහු විමසා තිබේ.

ඉන්ධන මිල ඉහළ යාම මෙරටට පමණක් අවේණික නොවන කරුණක් බවත් විදෙස් රටවල ඉන්ධන මිල ද යුද්ධය හමුවේ ඉහළ ගොස් ඇති බව විවිධ අවස්ථාවල දී රජය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ ඉන්ධන මත පනවා ඇති බදු අඩු කර ජනතාවට සහන ලබා දීමට කටයුතු කරන බවට පසුගිය දා යුරෝපා සංගමය නිවේදනය කළේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි සමයේදී ඉන්ධන මත පනවා ඇති බදු අඩු කර ජනතාවට සහන ලබා දිය හැකි බවට කරන ලද ප්‍රකාශ ද මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නැවතවරක් හුවමාරු වනු දැකගත හැකි ය.

එමෙන් ම, ආර්ථික හා දේශපාලන අර්බුදය පැවති සමයේදී ඉන්ධන පරිභෝජනය කළමනාකරණය කිරීමට හඳුන්වා දෙන ලද QR කේත ක්‍රමය ද එවකදී ජනාධිපතිවරයා විවේචනයට හා හාස්‍යයට ලක් කළ ද වත්මන් අර්බුදයේදී එම ක්‍රමය නැවත වරක් භාවිත කරමින් ඉන්ධන කළමනාකරණය කිරීමට රජයට සිදුව තිබේ.

IMF සමග සාකච්ඡා කර ඉන්ධන මිල අඩු කළ හැකි ද?

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ රජය, ජාත්‍යන්තර අරමුදල සමග සාකච්ඡා කර බදු අඩු කර ඉන්ධන මිලට සහනයක් ලබා දීමට කටයුතු කිරීම සුදුසු බව වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බීබීසී සිංහල වෙත පැවසීය.

බලශක්ති මිල ඉහළ යාම සමස්ත ආර්ථිකය කඩා වැටීමට හේතුවක් විය හැකි බැවින් ඒ පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී සංවේදීව කටයුතු කළ යුතු බව ද මහාචාර්යවරයා කියා සිටියේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිවැය අවම කර ගැනීමේ කොන්දේසි මත ඉන්ධන මත බදු පනවා ඇති බැවින් එය සංශෝධනය කිරීම කළහොත් එය එම කොන්දේසි කඩ කිරීමක් වන බව ද මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැහැදිලි කළේ ය.

"මේක මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා විසඳ ගන්න. මේක ක්‍රිටිකල් සිටුවේෂන් එකක්, ඒ නිසා ඊළඟ මාසේ අවුරුදු මාසේ නේ, එතකොට මාස දෙක තුනකටවත් අපිට පුළුවන්ද ගිවිසුමෙන් ඉවත් වෙන්න කියන කාරණය බලන්න ඕනේ. රජය පැත්තෙන් කියනවානේ ට්‍රිලියනක අතිරේක ආදායමක් තියෙනවා කියලා. ඒකෙන් පෙන්නුම් කරන්නේ මූල්‍ය අරමුදල කිව්වාට වඩා අපි හම්බ කරලා තියෙනවා. ඒ නිසා මූල්‍ය අරමුදලෙන් ලේසියෙන් අපිට අනුමැතිය ගන්න පුළුවන්, මොක ද ඔවුන්ගේ ආදායම් ඉලක්ක ඉක්මවලා ගිහිල්ලා තියෙනවා අපේ රාජ්‍ය ආදායම ඔය කියන විදියට."

එලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණියහොත් ඉන්ධන මත පනවා ඇති බදු අඩු කළ හැකි වනු ඇතැයි මහාචාර්යවරයා විශ්වාසය පළ කළේ ය.

ඉන්ධන මිල සංසන්දය කරන්න පුළුවන් ද?

එමෙන් ම, අනෙකුත් රටවලට වඩා ලංකාවේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇත්තේ අඩු ප්‍රතිශතයකින් යන කාරණය පිළිබඳව ඇතැමුන් මතු කරන මතය සම්බන්ධයෙන් ද මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා අදහස් පළ කළේ ය.

"ආර්ථික විද්‍යාවේදී අපි කතා කරන්නේ නිරපේක්ෂ සංඛ්‍යා ලේඛන නෙමෙයි සාපේකෂව. නිරපේක්ෂව ගත්තා ම අපිට කියන්න පුළුවන් අපේ මිල වැඩි වුණේ 30% යි අර කට්ටියගේ 40% යි කියලා. නමුත් අපි සංසන්දනය කරන්නේ නැහැනේ අපේ ආදායමත් එක්ක. අපි ආදායමත් එක්ක සංසන්දනය කරපුවාම පෙට්‍රල් ලීටරයකට ගෙවන ගාණ ඉතා ම විශාල යි."

"ශ්‍රී ලංකාව කියන්නේ ලංකාව, ඒක ඉන්දියාවටවත් කොහෙටවත් සංසන්දය කරන්න බැහැ. අපි බලන්න ඕනේ අපේ ආදායමට සාපේක්ෂව වියදම දරන්න පුළුවන් ද කියන එක. එහෙම නම් බලන්න ඕනේ ඔස්ට්‍රේලියාවේ කෙනෙක්ගේ ආදායමෙන් සීයයට කීයක් ප්‍රවාහනය සඳහා වියදම් කරනවා ද. ඒක අපිට සාපේක්ෂව ගන්න පුළුවන් එහෙම නැතුව පෙට්‍රල් වැඩි වුණේ මෙච්චරයි කියන එක සාධාරණ තර්කයක් නෙමෙයි," මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බීබීසී සිංහල වෙත කියා සිටියේ ය.

ඉන්ධනවලට සහන දීම ගැන රජයේ ප්‍රතිචාරය

"බද්දට වඩා වැඩියි අපි දීපු ගාණ. ඩීසල්වලට රුපියල් 50යි බද්දක් ගහන්නේ, අපි රුපියල් 100ක් මේ වෙනුවෙන් යොදවලා තිබෙනවා. අනිත් පැත්තෙන් ඒ බද්ද අරගෙන කරන්නේ භාණ්ඩාගරයට තිබුණ ණයක් ගෙවන එක," යැයි අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මාර්තු 24 වන දා කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ ය.

කෙසේ නමුත්, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසන බදු සහ අමාත්‍යවරයා පවසන බදු අතර පරස්පරතාවක් දක්නට තිබේ.

එමෙන් ම ඉදිරියේදී මුදල් අමාත්‍යංශ හරහා තෝරා ගත් කණ්ඩායම් සහ ලැබිය යුතු පුද්ගලයින්ට ඉන්ධන සහනාධාර ලබා දීමට රජයේ අවධානය යොමුව ඇති බව ද ඔහු කියා සිටියේ ය.

රුසියානු නියෝජ්‍ය බලශක්ති ඇමතිවරයා මෙරටට පැමිණීමට නියමිත බැවින් දැනට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට සිදුකරන සාකච්ඡා එහිදී විධිමත් ලෙස සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.