පෙට්‍රල් ලීටර් 65ක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකුට මාස දෙකක අනිවාර්ය සිර දඬුවමක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 2
රට තුළ ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් දුන් විශේෂ නඩු තීන්දුවක් පිළිබඳව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා විය.
එහිදී, බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 65ක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකුට මාස 2ක අනිවාර්ය සිර දඬුවම් නියම කෙරිණි.
ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පුද්ගලයෙක්
බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර 65ක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් එම ඉන්ධන ප්‍රවාහනය කළ පුද්ගලයකුට රුපියල් දෙදහස් පන්සියයක දඩයක් සහ මාස දෙකක අනිවාර්ය සිර දඬුවම් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන බ්‍රහස්පතින්දා (මාර්තු 19) දින නියෝග කළේ ය.
මෙලෙස අනිවාර්ය සිර දඬුවම් නියම කෙරුණේ, ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට ය.
වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන තොගයක් ලබා ගත් බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව බදාදා (මාර්තු 18) රාත්‍රීයේදී අදාළ ඉන්ධන පිරවුම් හල අසලදී මෙම පුද්ගලයා වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ, ඉන් අනතුරුව ය.
'ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන තොග තබා ගැනීම බරපතළ වරදක්'
ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලපත්‍ර රහිතව සහ නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග සන්තකයේ තබා ගැනීම 'බරපතළ වරදක්' ලෙසට සලකන බව තීන්දුව දෙමින් මහේස්ත්‍රාත්වරයා පැවසීය.
ඒ අනුව, ඉන්ධන සන්තකයේ තබා ගත් පුද්ගලයාට මෙලෙස අනිවාර්ය සිර දඬුවම් නියම කෙරිණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ලොරි රථයේ තිබී ඉන්ධන සහිත කෑන් හතරක් පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇති අතර එම ඉන්ධන තොගයේ මුළු වටිනාකම රුපියල් විසි දහසකට ආසන්න මුදලකි.


































