රට තුළ ඇති ඉන්ධන කොපමණ දින ගණනකට ප්‍රමාණවත් ද?: ඉන්ධන ගෙන්වා ගැනීමට රජය ගෙන ඇති පියවර මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය හේතුවෙන් මේ වන විට ලෝකයේ බොහෝ රටවල් ඉන්ධන ඇතුළු බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටී.
එම යුද්ධය නිසා බලපෑමට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ ද ඉන්ධන සංචිත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් QR ක්‍රමය යටතේ ඉන්ධන ලබා දීම ආරම්භ කර ඇති අතර බොහෝ ඉන්ධන හල් අසල දිගු පෝලිම් දැකගත හැකි ය.
මෙවැනි තත්ත්වයක් තුළ ඇතැම් රටවල්, මැදපෙරදිග නොවන වෙනත් රටවලින් බොර තෙල් ලබා ගැනීමේ හැකියාව සොයා බලමින් සිටින අතර, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිල දී ගැනීම ආරම්භ කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
වත්මන් ඉන්ධන අර්බුදයට පිළියම් ලෙස ශ්‍රී ලංකා රජය ගනිමින් තිබෙන පියවර සම්බන්ධව බීබීසී සිංහල සේවය සොයා බැලීමක් කළේ ය.
දැනට පවතින සංචිත දින කීයකට ප්‍රමාණවත් ද?
දැනට සමාන්‍ය පරිභෝජනයට යටත්ව කොපමණ දින ගණනකට මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ දැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මාර්තු 17 වන දා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.
- පෙට්‍රල් 92 වර්ගය - අප්‍රේල් 23 වන දා දක්වා
- පෙට්‍රල් 95 වර්ගය - මැයි 10 වන දා දක්වා
- ඩීසල් - අප්‍රේල් 12 වන දා දක්වා
- සුපර් ඩීසල් - මැයි 10 වන දා දක්වා ප්‍රමාණවත් බව ඇමතිවරයා පැවසීය.
ගබඩා කර ඇති ඉන්ධන ප්‍රමාණ සහ සැපයීම ස්ථිර කර ඇති නැව් තොග ද මීට ඇතුළත් බව කුමාර ජයකොඩි ඇමතිවරයා කියා සිටියේ ය.
රුසියාව සහ චීනය සමග සාකච්ඡා?
මැදපෙරදිග කලාපයෙන් ඉන්ධන ලබා ගැනීමේ අපහසුවක් ඇති වුවහොත් විකල්ප ක්‍රමයක් ලෙස රුසියාවෙන් සහ චීනයෙන් ඉන්ධන ලබා ගන්නේ දැයි බීබීසී සිංහල සේවය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගෙන් විමසීමක් කළේ ය.
ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, රුසියාවෙන් සහ චීනයෙන් තෙල් මිල දී ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව ය.
"අපිට ඕන වුණොත් ගන්න අපි ඉල්ලලා තියෙන්නේ. අපේ ටෙන්ඩර්ස්වල ඔක්කොම බලලා ඒ ටික අපිට හම්බ වුණේ නැතිනම් තමයි ඒ තැන්වලින් ඕඩර් කරන්නේ."
ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පරිබාහිරව මිලට ගන්න කැබිනට් අනුමැතිය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඛනිජ තෙල් හා ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන මාස 3ක කාලයක් සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් පරිබාහිරව ප්‍රසම්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස කැබිනට් මණ්ඩලය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය ලබා දී තිබේ.
"මැද පෙරදිග කලාපයේ උත්සන්න වෙමින් පවතින භූ – දේශපාලනික නොසන්සුන්තාව සහ සන්නද්ධ ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ මේ වන විට දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇත. ශ්‍රී ලංකාව ආනයනික ඛනිජ තෙල් හා ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන, ද්‍රව පෙට්‍රෝලියම් වායුව (LP ගෑස්) සහ ගල් අඟුරු මත සම්පූර්ණයෙන් ම යැපෙන බැවින් එම තත්ත්වය රටේ බලශක්ති සැපයුමට සහ සුරක්ෂිතතාවට ඍජු හා ක්ෂණික බලපෑමක් සිදු කර තිබේ."
පවතින ගැටුම්වල ඍජු ප්‍රතිඵලයක් ලෙස නැව්ගත කිරීම් අවලංගු වීම, රක්ෂණ සේවා සපයන්නන් රක්ෂණාවරණ ලබා දීම ප්‍රතික්ෂේප කිරීම, සැපයුම්කරුවන් දිගුකාලීන ගිවිසුම්වලට එළඹීමට අකැමැත්තක් දැක්වීම වැනි හේතු මත අඛණ්ඩ බලශක්ති සැපයුම සහතික කිරීම සඳහා තාවකාලික සහ නම්‍යශීලී ප්‍රසම්පාදන රාමුවක් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වී බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
නව සැපයුම්කරුවන්ගේ යෝජනා සහ හදිසි මිල දී ගැනීම්
එමෙන් ම, ඇණවුම් කරන ලද ඉන්ධන ප්‍රමාණය නියමිත දිනට ලබා ගත හැකි දැයි ඉන්ධන සැපයුම්කරුවන් සමග සාකච්ඡ කරන අතරතුර නව සැපයුම්කරුවන් හරහා ඉන්ධන ලබා ගැනීමට උත්සහ කරන බව ද ඇමතිවරයා මාර්තු 17 වන දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් පැවසීය.
දැනට ලියාපදිංචි ඉන්ධන සැයුම්කරුවන්ට අමතරව අනෙකුත් සැපයුම්කරුවන්ගේ යෝජනා ද සලකා බලමින් සිටින බව පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
තව ද, බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ, ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හදිසි මිල දී ගැනීම් සඳහා කමිටුවක් පත් කර ඇති බව ය.
'ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සහය ලබා ගන්න කටයුතු කරනවා'
ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය හරහා ඉන්ධන තොග ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතින බවත් බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ය.
"තොග නිකුත් කිරීම ආරම්භ කළාට එනර්ජි ඒජන්සිය හරහා, නැව්වල පටවලා ගේන්න අපහසුව තමා තියෙන්නේ. මොක ද අපි ටෙන්ඩර් කරලා තෝර ගත්ත සැපයුම්කරුවන්ටත් තියෙන්නේ ඒ ප්‍රශ්නේ. නැව් සහ භාණ්ඩ සඳහා රක්ෂණ ගාස්තු ඉහළ යාම සහ රක්ෂණය කිරීමෙන් වැළකීම මත බොහෝ නැව් තමන්ගේ කාර්යයට ඉදිරිපත් වීමෙන් වැළකී සිටිනවා. තෙල් තියෙනවා අපි ළඟ ඩොලර් තියෙනවා හැබැයි නැවක් නැතුව තියෙනවා ගේන්න."
ජනාධිපතිවරයා විශේෂ මාධ්‍ය හමුවේදී පැවසුවේ කුමක් ද?
ජනාධිපති අනුර කුමාර දිසානායක මාර්තු 17 වන දා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නැව් තුනක් නියමිත දිනට පැමිණිය නොහැකි බව දැනුම් දී ඇතැයි පැවසීය.
කෙසේ වෙතත්, ඉන්ධන නැව් ප්‍රමාදයට පිළියමක් ලෙස නව ඉන්ධන ටෙන්ඩර් පිරිනැමීමට කටයුතු කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
එමෙන් ම ක්ෂණිකව තීන්දු තීරණ ගෙන ඉන්ධන මිල දී ගැනීම සඳහා ප්‍රශස්ත නිලධාරීන්ගෙන් යුතු කමිටුවක් පත් කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.


































