'හැංගෙන්නවත් තැනක් නැව්වල නැහැ': ඉරානය ආසන්නයේ නැව්වල සිරවී සිටින නාවිකයන්ගේ 'බිහිසුණු අත්දැකීම්'

ඡායාරූප මූලාශ්‍රය, Royal Thai Navy
- Author, මොහමඩ් සුබයිර් ඛාන්
- Role, බීබීසී උර්දු සේවය
- Author, අයි තු සන්
- Role, බීබීසී බුරුම සේවය
- Author, හ්යෝජුං කිම්
- Role, බීබීසී කොරියානු සේවය
- Author, ඇන්ඩෲ වෙබ් සහ ග්රේස් සෝයි
- Role, බීබීසී ලෝක සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 8
එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සහ කරන ඕනෑ ම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවට ඉරානය තර්ජනය කිරීමෙන් පසුව, ගල්ෆ් කලාපයේ ඇති ඉන්ධන ප්‍රවාහන නෞකා සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවල සිර වී සිටින බොහෝ නාවිකයන්ට ඩ්‍රෝන යානා, කෲස් මිසයිල සහ ප්‍රහාරක ජෙට් යානා සුලභ දසුනක් වී තිබේ.
''පහළින් පියාසර කරන ඉරාන ඩ්‍රෝන යානා සහ කෲස් මිසයිල මම දැකලා තියෙනවා,'' ප්‍රදේශයෙන් පිටව යාමට නොහැකිව ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටින පකිස්ථාන නාවිකයෙකු වන අමීර් පවසයි, ''මට ප්‍රහාරක ජෙට් යානාවල ශබ්දයත් ඇහෙනවා, ඒත් ඒවා අයිති රට මොකක් ද කියලා අපිට හඳුනා ගන්න බෑ.''
"ඩ්‍රෝන යානයක් හෝ මිසයිලයක් අතරමගදී විනාශ වුණොත් ඒක අපේ නැව උඩට කඩන් වැටෙන්න පුළුවන්.'' ඔහුව වඩාත් ම බියට පත් කරන්නේ එය යි.
බුරුම ජාතික නාවිකයෙකු වන හයින්, සෑම දිනක ම ගැටුම් දකියි. "අද උදේ, අපි වැඩ කරමින් ඉන්න අතරතුර ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙකාට වෙඩි තබා ගත්තා" ඔහු පවසයි. "මේ වගේ වෙලාවකට නැවේ හැංගෙන්න කියලවත් නිශ්චිත තැනක් නැහැ, ඉතිං අපිට ඇතුළට දුවන්න සිද්ධ වුණා."
අමීර් සහ හෙයින් යනුවෙන් හඳුන්වන්නන් සමග මුහුදේ සිටින අනෙකුත් නාවිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයගේ නම් ද ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි වෙනස් කර ඇත්තෙමු.

ඡායාරූප මූලාශ්‍රය, Sailor provided to BBC News
මුහුදේදී ආරක්ෂාව
මැද පෙරදිග කලාපයේ කොපමණ නාවිකයන් පිරිසක් අතරමං වී සිටිනවා ද යන්න පිළිබඳ නිවැරදි සංඛ්‍යා දත්ත ලබා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තකි.
කෙසේ වෙතත්, බංගලාදේශ වෙළෙඳ නාවික නිලධාරීන්ගේ සංගමයේ සභාපති කපිතාන් ආනම් චෞද්රි ඇස්තමේන්තු කරන්නේ, කලාපයේ පවතින නෞකා තුළ නාවිකයින් 20,000ක් සිරවී සිටින බව ය.
ඇතැමුන් මුහුදේ නැව්වල අතර, තවත් පිරිසක් වරායවල සිරවී සිටිති. නමුත් ඔහු පවසන්නේ, වඩාත් අනතුරුදායක ස්ථානය කුමක් දැයි තක්සේරු කිරීම අපහසු බව ය.
"වරාය ඇතුළත ආරක්ෂිත යි කියලා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්, නමුත් නැංගුරම් ලා තිබියදී පවා ප්‍රහාරවලට ලක්වූ නෞකා තිබෙනවා," ඔහු පැහැදිලි කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Sailor provided to BBC News
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"වඩාත් ම ආරක්ෂිත ස්ථානය මොකක් ද කියලා ඔබට කියන්න කියලා ද අපිට කියන්නේ?" යනුවෙන් ඔහු ප්‍රශ්නයක් අසන අතර ගල්ෆ් කලාපයේ වරාය රැසකට ශෙල් ප්‍රහාර එල්ල වී ඇති බැවින් ආරක්ෂිත ස්ථානයක් කොහේ දැයි මැන බැලීම කළ නොහැකි බව ඔහු පවසයි.
යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා කාලය තුළ මිසයිල ප්‍රක්ෂේපණ මගින් හානියට පත්වූ නෞකා අවම වශයෙන් හතක් පමණ ඔහුගේ සංවිධානය විසින් හඳුනා ගනු ලැබ තිබේ.
ඔහු පවසන්නේ, මාර්තු 01 වන දා පලාවු ජනරජයේ ධජය යටතේ ලියාපදිංචි කර තිබූ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් වන Skylarkහි සිටි එක් නාවිකයෙකු මියගිය බව ය. එහි එන්ජින් කාමරය ගිනි ගත් අතර කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනිණි.
කපිතාන් චෞද්‍රි පවසන්නේ, ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් නාවිකයින් "කම්පනයට" පත්ව සිටි බව ය.
අනෙකුත් නාවිකයෝ ද එයට එකඟ වෙති. ඉන්ධන ප්‍රවාහන නෞකා යාත්‍රා කරවන කපිතාන්වරයෙකු වන එම්. මන්සූර් සයීඩ් බීබීසී පුවත් සේවයට පවසන්නේ, ප්‍රහාරයකින් බේරීම සම්බන්ධයෙන් ගත් විට වරායක සිටීම හෝ මුහුදේ සිටීම අතර පවතින්නේ සුළු වෙනසක් බව ය. "ඔවුන්ට මගේ නැව ඉලක්ක කරන්න ඕනේ නම් ඔවුන් ඒක ඉලක්ක කරනවා."
නමුත් ඔහු පවසන්නේ, සාමාන්‍යයෙන් විශාල නෞකා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී වඩාත් ආරක්ෂිත විය හැකි බව ය. "අයහපත් කාලගුණික තත්ත්වවලදී අපි හැම වෙලාවෙ ම අපට නිදහසේ නැව හැසිරවීමට වැඩි ජල ප්‍රමාණයක් සහ ගැඹුරක් තිබෙන විවෘත මුහුදට යාත්‍රා කරනවා. වරායවලදී සහ පටු මුහුදු තීරවලදී කාලගුණය නිසා ගොඩබිමේ වැදීමෙන් හරි වරාය බැම්මේ වැදීමෙන් හරි නැවට හානි වෙන්න පුළුවන්."
මුහුදේදී තොරතුරු ලබා ගැනීමේ දුෂ්කරතා
නාවිකයන්ට අහසේ කිසිවක් දැකගත නොහැකි වුව ද, බිය සෙසු අය අතර පැතිර යා හැකි ය. "හැම දවසක ම මම අනෙකුත් නැව්වලින් එන VHF (Very High Frequency) රේඩියෝ පණිවිඩවලට සවන් දෙනවා. ඩ්‍රෝන යානයක්, මිසයිලයක් හෝ ප්‍රහාරක ජෙට් යානයක් පසුකර යනවා දකින විට හෝ එහෙම නැතිනම් ඩ්‍රෝන යානයක් වෙනත් නැවක වදිනකොට ඔවුන් බය වෙනවා," අමීර් පවසයි.
මෙම අවිනිශ්චිත තත්ත්වය නාවිකයන්ගේ පවුල්වල සාමාජිකයන් කණස්සල්ලෙන් දැවෙන තත්ත්වයට පත් කර ඇත.
ඉරාන බලධාරීන් බොහෝ පුරවැසියන් සඳහා අන්තර්ජාල සහ දුරකතන ජාල අවහිර කර ඇති බැවින් තොරතුරු ලබා ගැනීම දුෂ්කර වුව ද අනපේක්ෂිත ලෙස කෙටි කාලසීමා සඳහා නැවත සබඳතා යථා තත්ත්වයට පත්ව ඇත.
අලි අබ්බාස්ගේ පුත්‍රයා හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඇති ඉරාන වරායක නවතා ඇති නැවක සිටියි. ඔහු අවසන් වරට මීට දින කිහිපයකට පෙර සිය පුත්‍රයා සමග කතා කරමින් සිටින විට ඔහු මිසයිල ප්‍රහාරයක් ගැන පවසමින් සිටියේ ය. ඔහුගේ පුත්‍රයා බේරුණු නමුත් ඉන්දියානු නාවිකයෙක් තුවාල ලැබුවේ ය.
"මම මේක මගේ බිරිඳගෙන් සහ ලේලියගෙන් හංගගෙන හිටියා," ඔහු හැඬූ කඳුලින් පවසයි.
අඟහරුවාදා [මාර්තු 10] රාත්‍රියේ වරායට තවත් දරුණු ප්‍රහාරයක් එල්ල වූ අතර, අලීට තම පුත්‍රයාට කතා කිරීමට නොහැකි වී තිබේ. ''දෙවියන්ගේ නාමයෙන්, කරුණාකරලා මට උදව් කරන්න,'' හැඟීම්බරව හඬා වැටෙමින් ඔහු පවසයි. ඔහුගේ පුත්‍රයා තවමත් ජීවතුන් අතර නිරෝගීව සිටින අතර සන්නිවේදන පද්ධතිය බිඳ වැටීම නිසා ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇතැයි ඔහු විශ්වාස කරයි.

චන්ද්‍රිකා සංඥාවලට එල්ල වන බාධා
සෝ-ජුන් (නම වෙනස් කර ඇත) යනු දකුණු කොරියාවේ සහ මියන්මාරයේ නාවිකයන් 20කට වැඩි පිරිසක් සහිත කාර්ය මණ්ඩලයක් සිටින බෝට්ටුවක කපිතාන්වරයෙකි. ඔහු පවසන්නේ, අමතර අවදානම් ඇති කරමින් චන්ද්‍රිකා සංඥා පද්ධති බිඳ වැටෙමින් පවතින බව ය.
"යුද්ධය ආරම්භ වූ දා සිට, GPS සංඥාවලට විටින් විට බාධා එල්ල වූ නමුත් පසුගිය දින තුන හතර පුරාවට එම තත්ත්වය බොහෝ සෙයින් දරුණු වෙලා තියෙනවා. අපි ඩුබායි වෙත ඇතුළු වූ විට.. අපට සිද්ධවුණේ GPS නැතුව යාත්‍රා කිරීමට සහ පුරෝකථනය කළ ගණනය කිරීම මත විශ්වාසය තැබීමට යි. ඒක හරියට මේ වගේ දේවල් විස්තර කරන 'අන්ධ පුද්ගලයෙක් දොර අගුළක් අතගා සොයනවා වගේ' කියන කොරියානු කියමන වගෙයි."

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සැපයුම් අඩු වෙයි
සිය ආරක්ෂාව පිළිබඳ කනස්සල්ලට පත්වීමට අමතරව, බොහෝ නාවිකයින් බියට පත්ව සිටින්නේ, ජලය සහ ආහාර ඉක්මනින් අවසන් වනු ඇති බවට ය.
"නැවට ඕන දේවල් ලැබිලා දැන් මාස දෙකක් විතර ගිහිං තියෙන්නේ," පකිස්ථාන ජාතික තවත් නාවිකයෙකු වන මසූඩ් පවසයි.
යුද්ධයට පෙර ඔහුගේ නෞකාව බුෆේ ක්‍රමයට ආහාර ලබා දුන් බවත්, කාර්ය මණ්ඩලයට බිත්තර වැනි නැවුම් ආහාර සහ ඔවුන්ට අවශ්‍ය ඕනෑ ම වේලාවක ජලය ලබා ගත හැකිව තිබූ බවත් හයින් පවසයි.
නමුත් දැන් හයින්ගේ නෞකාවේ කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර ඔවුන්ට දිනකට ලැබෙන්නේ කුඩා මස් කැබලි හතරක එක් ආහාර වේලක් සහ තැම්බූ එළවළු බඳුනක් පමණි. ඔවුන්ගේ සැපයුම් මාසයකට පමණ ප්‍රමාණවත් වනු ඇත.
"මෙහේ අපගේ ජීවිතය ඉතා නින්දිත තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ, අප සතුව තියෙන්නේ ඉතා සීමිත ඉන්ධන සහ ආහාර ප්‍රමාණයක් විතර යි. ජීවිතය තුළ හෝ නෞකාව තුළ සතුටට කියලා කිසි ම දෙයක් ඉතුරු වෙලා නැහැ," තවත් පකිස්ථාන ජාතික නාවිකයෙකු වන සීෂාන් පවසයි.
''කාලය ගත කරමින් සාමය ලැබෙන තුරු බලා සිටිනවා හැරුණුකොට කාර්යය මණ්ඩලය වෙනත් කිසි ම ක්‍රියාකාරකමක් කරන්නේ නෑ,'' ඔහු පවසයි.
ඇතැමුන් සිතන්නේ තම මානසික මට්ටම යහපත්ව තබා ගැනීම සඳහා තම රාජකාරි කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව ය.

"මෙම තත්ත්වය තුළ කිසිවෙකුට සතුටින් හා විවේකයෙන් ඉන්න පුළුවන් කමක් නෑ," අමීර් පවසයි. "අපි අපිව අභ්‍යාස, ආරක්ෂාව සහ ආරක්ෂක පුහුණුව වගේ දෛනික සාමාන්‍ය කටයුතුවල කාර්යබහුල කරගෙන ඉන්නවා."
නෞකාවේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන හෙයින් ද ඊට එකඟ වේ. "මම මාව මංමුලා වෙන්න ඉඩ දෙන්නේ නැහැ, මොක ද මට තවත් මියන්මාර නාවිකයන් 20 දෙනෙකුගේ වගකීම පැවරී තිබෙනවා."
තත්ත්වය තවදුරටත් නරක අතට හැරුණහොත් ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු හදිසි ඉවත් වීමේ සැලසුමක් ද සකස් කර ඇත. ''යම් දෙයක් සිදු වුණොත් දුවන්න ඕනේ කොහොම ද?, පනින්න ඕනේ කොතැනින් ද? සහ රැගෙන යා යුත්තේ මොනවා ද? කියලා මම මගේ කණ්ඩායමට කියල දීලා තිබෙන්නේ.''

ඡායාරූප මූලාශ්‍රය, Sailor provided to BBC News
රක්ෂණ සීමාවන්
ආරක්ෂිත වරායක යාත්‍රා නැංගුරම් ලා ඇති පසු නාවිකයින් ගොඩබිමට ළඟා වුව ද, ඔවුන්ට නිවසට යාමට හෝ කලාපයෙන් පිටවීමට පහසු ක්‍රමයක් නොතිබිය හැකි ය.
හම්සා පවසන්නේ, නැවක සිරවී සිටින තම පුතා, ඔවුන්ගේ නැව් සමාගම් සතුව ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර ඇති බැවින් "පිටව යාමට අවසර නොදෙන" නාවිකයින් අතර සිටින බව ය.
ඒ අතර ම, බියට පත් වී තම කොන්ත්‍රාත්තු සම්පූර්ණ නොකර නැවෙන් පිටව යන නාවිකයින්ට අනාගතයේදී රැකියා සොයා ගැනීමේ ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකි ය. නැව් සමාගම් ඔවුන්ගේ නම් අසාදු ලේඛනයට ඇතුළත් කිරීමේ අවදානමක් ද පවතී.
තත්ත්වය ඉතා අවුල්සහගත වන අතර, අමීර් පවසන්නේ තමාට කළ හැක්කේ හොඳ ම දේ බලාපොරොත්තු වීම පමණක් බවත්, සියලු ම නාවිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් යාඥා කරන බවත් ය.
හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට තම කාර්ය මණ්ඩලයට බල නොකරන ලෙස ද ඔහු නැව් සමාගම්වලින් ඉල්ලා සිටී.
ඒ බිය උපකල්පිත නමුත් මූල්‍යමය පීඩනයන්, ආරක්ෂාව අභිබවා යා හැකි බවට ඔහු කනස්සල්ලට පත්ව සිටී. ඕනෑ ම යාත්‍රාවක් ඩ්‍රෝන යානයකට හෝ මිසයිලයකට හසු වුවහොත් මිනිස් පිරිවැය ගෙවන්නේ නාවිකයින් බවත්, භාණ්ඩ හා නැව් රක්ෂණයෙන් ආවරණය කළ හැකි බවත් ඔහු පවසයි: "මිනිස් ජීවිතය කිසිදු රක්ෂණයකින් ප්‍රතිස්ථාපනය කරන්න බෑ," ඔහු පවසයි.
යුද්ධය නාවික කර්මාන්තය සැලකිය යුතු ලෙස වෙනස් කරනු ඇතැයි ඔහු විශ්වාස කරයි.
"මෙම යුද්ධයේ විලාසය සහ අරමුණ පසුගිය වසර කිහිපය තුළ අප දුටු දෙයට වඩා බෙහෙවින් වෙනස්. මෙම යුද්ධය පර්සියානු ගල්ෆ් කලාපයේ වෙළෙඳාමට දිගුකාලීන බලපෑම් ඇති කරාවි."
කපිතාන් චෞද්‍රි විශ්වාස කරන්නේ, නාවිකයින් තමන්ට වගකීමක් නොමැති සිදුවීම්වලට හසු වන බව ය.
"මිනිස්සු නැව් ඉලක්ක කරන්න හොඳ නෑ. මිනිස්සු නැවක් ඉලක්ක කර ගත් විට, ඔවුන් අහිංසක මිනිස්සු වන නාවිකයින්ට ද හානි කරනවා," ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
































