බදාදා පළමු නිවාඩුව හෙට: වසා තැබෙන ආයතන මොනවා ද? නිවාඩු ලැබෙන්නේ රාජ්‍ය අංශයට පමණ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 5
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් මතු වෙමින් පවතින බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස බොහෝ රටවල් විවිධ ක්‍රියා මාර්ග ගනිමින් තිබෙන අතරතුර ශ්‍රී ලංකාවේ රජය බදාදා දිනය රජයේ විශේෂ දිනයක් බවට පත් කළේ ය.
ඒ අනුව සෑම බදාදා දිනක ම රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ඇතුළු රජයේ කාර්යාවලට නිවාඩු ලබා දී තිබුණ ද, සෞඛ්‍ය, රේගුව, ජලය සහ වරාය ඇතුළු අත්‍යවශය සේවා සඳහා එය බලනොපැවැත්වේ.
මෙම තීරණය අනුව රජයේ සේවකයින්ට අමතර නිවාඩුව හිමි වන පළමු බදාදා දිනය හෙටට (මාර්තු 18) යෙදී තිබේ.
නිවාඩු දිනය සම්බන්ධයෙන් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ මොනවා ද?
බදාදා දිනය නිවාඩු දිනයක් බවට පත් කරමින් අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති අතර, රාජ්‍ය සේවකයින්ට සෑම සතියක ම බදාදා දිනයේදී ලබා දුන් නිවාඩුව හේතුවෙන් එම රාජකාරී කටයුතු සතියේ අඟහරුවාදා දිනට යොදාගත හැකි බව දක්වා ඇත.
යම් නිලධාරියෙකු බදාදා දින සේවයේ යෙදවිය යුතු යැයි ආයතන ප්‍රධානියා විසින් තීරණය කරනු ලබන්නේ නම්, අදාළ නිලධරයන් සේවයට කැඳවීමට බාධාවක් නොවිය යුතු වුවත්, ඒ සඳහා නිවාඩු දින වැටුප්, අතිකාල හෝ හිලව් නිවාඩු ලබා නොදිය යුතු බවට එහි සඳහන් කර තිබේ.
බදාදා දින වසා තබන කාර්යාලවල නිලධරයන් එම සතියේ සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයකදී අතිකාල ගෙවීමේ පදනමින්, නිවාඩු දින වැටුප් ගෙවීමේ පදනමින් හෝ හිලව් නිවාඩු ලබාදීමේ පදනමින් හෝ සේවයේ යෙදවිය නොහැකි බව ද චක්‍රලේඛයේ දැක්වේ.
එසේ වුව ද, සේවයේ හදිසි අවශ්‍යතාව මත සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයකදී ස්වකීය ආයතනයේ නිලධරයන් සේවයට කැඳවීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් අදාළ අමාත්‍යාංශ ලේකම්/ පළාත් ප්‍රධාන ලේකම්/ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හෝ රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ගේ අනුමැතිය ඇතිව අදාළ ආයතන ප්‍රධානියා එම නිලධරයන් සේවයට කැඳවීමට බාධාවක් නොමැති බව ද අදාළ චක්‍රලේඛයේ සඳහන් කර ඇත.
එසේ සේවයට කැඳවනු ලබන නිලධරයන් සඳහා අතිකාල දීමනා, නිවාඩු දින වැටුප් හෝ හිලව් නිවාඩු ලබාදීමට බාධාවක් නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාරගේ අත්සන සහිතව නිකුත් කරන ලද චක්‍රලේඛයේ දක්වා තිබේ.
රජයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට මෙයින් බාධාවක් නොවිය යුතු බවත් එම අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සඳහා මෙන් ම අමාත්‍යංශ ලේකම්වරයෙකු, පළාත් ප්‍රධාන ලේකම්වරයෙකු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානියෙකු විසින් බදාදා දිනයේදී විවෘතව තැබිය යුතු බවට තීරණය කරනු ලබන ආයතන සඳහා චක්‍රලේඛනයේ විධිවිධාන අදාළ නොවන බව ද එහි දැක්වේ.
පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් නොපවත්වන ලෙස ඉල්ලීමක්
රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සෑම බදාදා දිනක ම රජයේ පාසල් නොපැවැත්වෙන අතර එම දිනයේ පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඉල්ලීමක් කර තිබේ.
එමෙන් ම, සියලු ම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවල කටයුතු ද එදිනට නොපවත්වන ලෙස ඉල්ලීමක් කර ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධයාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැවගේ අත්සනින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වේ.
උපකාරක පන්ති
පාසල්, පිරිවෙන් හා අනෙකුත් රජයේ අධ්‍යාපන ආයතන බදාදා දිනයේ නිවාඩුව ලබා දී ඇති බැවින් එදින උපකාරක පන්ති නොපවත්වන ලෙස එම ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති බීබීසී සිංහල සේවයට කියා සිටියේ ය.
"ඉස්කෝල වහලා ළමයි ඔක්කොම ටියුෂන්වලට කැඳවනවා නම් වහපු එකෙන් තේරුමක් නෑනේ."
අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ මාර්ගෝපදේශ මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
තව ද, පාසල්වල දෛනික පරිපාලනය සහ ඉගැන්වීම්-ඉගෙනුම් කටයුතු සුමටව පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති සෑම සතියක ම බදාදා දිනවලදී නිවසේ සිට ස්වයං ඉගෙනුම් කටයුතුවල නිරත වීම සඳහා අවශ්‍ය පැවරුම්, අභ්‍යාස සහ පුනරීක්ෂණ ආදිය සුදුසු පරිදි සිසුන් වෙත ලබා දීමට සියලු ම විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු ය.
පාසල්වල විෂය නිර්දේශ ආවරණය කිරීමට පවතින කාලය සීමාසහිත වීම නිසා පාසල මගින් සංවිධානය කරන හෝ වෙනත් බාහිර ආයතන විසින් පාසල් තුළ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් හෝ උත්සව සඳහා පාසල් පැවැත්වෙන කාලය යොදා නොගත යුතු බව ද එහි දැක්වේ.
එමෙන් ම පාසල් මගින් පවත්වනු ලබන උත්සව හෝ වැඩසටහන් ඉන්ධන පරිභෝජනය අවම වන පරිදි පැවැත්වීමට කටයුතු කරන ලෙස මෙන් ම අධික ලෙස ඉන්ධන භාවිත වන රථ පෙළපාළි ආදිය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවා ඇත.
අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීම හෝ ඉදිරි දිනවලදී යාමට සැලසුම් කර ඇති චාරිකා සඳහා සිසුන් සහභාගි කරවීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිව අත්හිටුවීමට ද මාර්ගෝපදේශ මගින් උපදෙස් දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවසේ සිට වැඩ කිරීමට උපදෙස්
අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබෙන සේවා සඳහා, රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද බදාදා අමතර නිවාඩු දිනය අදාළ නොවන අතර, සෞඛ්‍ය අමාත්‍යංශයේ අංශ කිහිපයක් බදාදා දිනයේ නිවසේ සිට රාජකාරී කිරීමට එම අමාත්‍යංශය තීරණය කර ඇත.
කාසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සියලු ම අංශ, නාරාහෙන්පිට මැලේරියා ගොඩනැගිල්ලේ සියලු ම අංශ, ජාතික පිළිකා මර්ධන වැඩසටහන, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යන ආයතනවල නිලධාරීන් නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනක ම නිවසේ සිට රාජකාරී කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
විශේෂ නිවාඩු දිනයේ පොදු ප්‍රවාහනයට පැනවෙන සීමා
මේ අතර, රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස නම් කර ඇති බදාදා දිනයේදී පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇත.
"රජයේ කාර්යාල වහලා අර කෝච්චි ටික යි, බස් ටික යි එහෙම් ම දුවන්න බලාපොරොත්තුවක් නෑ," යැයි කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ ය.
බදාදා දිනයේ ලංගම හා දුම්රිය සීමා කරන බවත් පෞද්ගලික අංශයෙන් ද පොදු ප්‍රවාහන කටයුතු එදිනට සීමා කරන ලෙස ඉල්ලීමක් කළ බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති බීබීසී සිංහල සේවයට පැවසීය.
එමෙන් ම රජය විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කළ බදාදා දිනය සැලකිල්ලට ගනිමින් මාර්තු 18 වන දා පාර්ලිමේන්තුව රැස් නොවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීන්දු කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කර තිබේ.
බදාදා නිවාඩුව පෞද්ගලික අංශයට බලපාන්නේ කොහොම ද?
රජයේ කාර්යාලවලට ප්‍රකාශිත බදාදා අමතර නිවාඩු දිනය පෞද්ගලික අංශයේ සේවකයන්ට අදාළ නොවන්නේ දැයි බීබීසී සිංහල සේවය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගෙන් විමසීමක් කළේ ය.
"අපි වාණිජ මණ්ඩලයට යි, ලංකා සේවක සම්මේලනට යි ඉල්ලීමක් කළා ඔවුන්ට නිවාසේ සිට රාජකාරී කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා දෙන්න කියලා. විශේෂයෙන් ම සේවකයින් පිරිස අඩු කරලා, අත්‍යවශ්‍ය සේවක පිරිස පමණක් කැඳවලා අනිත් සේවකයින්ට මාර්ගගත ක්‍රමයට රාජකාරී කරන්න අවශ්‍ය පහසුකම් සලසලා දෙන්න කියලා ඉල්ලීමක් කළා," යැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා ඊට පිළිතුරු ලෙස පැවසීය.


































