පළමු බදාදා නිවාඩු දිනය: කොළඹ අවට අද දිස්වූ හැටි

- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
- Author, හරිනි දිසානායක
- Role, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් මතු වෙමින් පවතින බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස බොහෝ රටවල් විවිධ ක්‍රියා මාර්ග ගනිමින් තිබෙන අතරතුර ශ්‍රී ලංකාවේ රජය බදාදා දිනය රජයේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළේ ය.
ඒ අනුව සෑම බදාදා දිනක ම රජයේ කාර්යාල, පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ඇතුළු රජයේ කාර්යාවලට නිවාඩු ලබා දී තිබුණ ද, සෞඛ්‍ය, රේගුව, ජලය සහ වරාය ඇතුළු අත්‍යවශය සේවා සඳහා එය බලනොපැවැත්වේ.
එමෙන් ම බැංකු සේවා ද ක්‍රියාත්මක ය.
මෙම තීරණය අනුව රජයේ සේවකයින්ට අමතර නිවාඩුව හිමි වන පළමු බදාදා දිනය අදයි.
ඒ අනුව අද දිනයේ කොළඹ රජයේ ආයතන අවට තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා බීබීසී සිංහල විසින් අද දිනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
වසා දැමුණු කම්කරු දෙපාර්තමේන්තුව
නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තුව යනු ජනතාව දිනපතා විශාල සංඛ්‍යාවක් සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන රාජ්‍ය ආයතනයකි.
එම පරිශ්‍රයේ පිහිටා ඇති කම්කරු මහ ලේකම් කාර්යාලය, කම්කරු අමාත්‍යංශය ඇතුළු ආයතනවලට ද සාමාන්‍යයෙන් විශාල පිරිසක් සේවා ලබා ගැනීම සඳහා පැමිණෙති.
කෙසේ වෙතත්, අද දිනයේ අප එම ස්ථානයට යන විට සියලු කාර්යාල වසා ඇති ආකාරය නිරීක්ෂණය වූ අතර, එම කාර්යාල අසල වෙනදා පවතී තදබදය දැකගැනීමට නොහැකි විය.
ප්‍රදේශය අවට රථවාහන තදබදය ද අඩු බව නිරීක්ෂණය විය.
කෙසේ වෙතත්, එම පරිශ්‍රයේ පවත්වාගෙන යන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කාර්යාලවල අද දිනයේත් නිලධාරීහු සේවයේ යෙදී සිටියහ.

සෞඛ්‍ය සේවය අඛණ්ඩව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඉන්පසුව බීබීසී සිංහල අප කොළඹ ජාතික රෝහල් පරිශ්‍රය වෙත ගිය අතර එම ප්‍රදේශයේ වෙනදා මෙන් ම ඉතා ම කාර්ය බහුල බවක් දිස්විය.
රජයේ සේවාවන් සඳහා නිවාඩු ලබා දී තිබුණු නමුත් සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව එහි ගිය අපට නිරීක්ෂණය විය.
සිය සැමියාගේ ඇසක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට කහතුඩුව ප්‍රදේශයේ සිට පැමිණ සිටි ඉන්ද්‍රාණි බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ සාමාන්‍ය පරිදි ජාතික රෝහලේ සේවාවන් ලබා ගැනීමට ඔවුන්ට හැකි වූ බව ය.
"රෝහල වැඩ. ඒවගේ කිසි අඩුවක් නෑ. හැමෝම වැඩ, වෙනදා වගේ ම හොඳ සේවාවක් ලැබුණා," ඇය කියා සිටියා ය.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සිට ජාතික රෝහලේ සායන සඳහා රෝගීන් රැගෙන පැමිණ තිබූ සෞඛ්‍ය සේවකයෙකු වන ප්‍රගීත් නිරිඇල්ල බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඔවුන් ද අද දිනයේ සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතුවල නිරත වන බව ය.
"අපිට කිසි වෙනසක් නෑ, අපි සාමාන්‍ය විදිහට අත්සන් කරලා ඒ විදිහට ම වැඩ," ඔහු පැවසුවේ ය.
"රටක් විදිහට හොඳ වැඩක් ඒක. රටේ අර්බුදයක් වෙලා තියෙන වෙලාවේ, පහසුවක් වෙන එක ගැන සන්තෝසයි," ඔහු වැඩි දුරටත් පැවසීය.
පෞද්ගලික අංශයත් වැඩ
මාර්ගවල වෙනදා තරම් රථවාහන තදබදයක් දිස් නොවූ නමුත් පෞද්ගලික අංශයේ බොහෝ දෙනෙක් ද අද දිනයේ සේවයට වාර්තා කර තිබිණි.
පෞද්ගලික අංශයේ ආයතන රැසක් පිහිටා ඇති යූනියන් පෙදෙස අවට ප්‍රදේශයේ ද අප සංචාරය කළ අතර, එම ප්‍රදේශය අවට එම ආයතනවල සේවකයන් සේවයට වාර්තා කරන ආකාරය දැක ගැනීමට හැකි විය.
අතුරුදන් වූ දැවැන්ත පෝලිම්
බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කොළඹ ඇති වඩාත් ම කාර්යබහුල ම රාජ්‍ය ආයතනවලින් එකකි.
දිනකට දහස් ගණනක් ජනතාව ගමන් බලපත්‍ර ලබා ගැනීම ඇතුළු විවිධ සේවාවන් ලබා ගැනීම සඳහා එම කාර්යාලයටත්, එහි අනෙක් පස පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙතත් පැමිණෙති.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආසන්නයේ වෙනදා පවතින අකාරයේ දැවැන්ත තදබදයක් අද දිනයේ නිරීක්ෂණය නොවූ අතර, එම ප්‍රදේශය සම්පූර්ණයෙන් ම පාහේ පාලුවට ගොස් තිබූ අයුරු නිරීක්ෂණය විය.
එහි ආරක්ෂක නිලධාරීන් සමග කතා කිරීමේදී කිහිපදෙනෙකු අද අලුයම පෝලිමේ රැඳී සිටීම සඳහා පැමිණි නමුත් ඔවුන් හරවා යැවුණු බවට දැනගැනීමට හැකි විය.
අද දිනයේ රාජ්‍ය ආයතන වසා තබන බවට ප්‍රවෘත්තිය දැන සිටිය ද තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි රවීන්ද්‍ර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණේ උප්පැන්න සහතිකයක් ලබා ගැනීම සඳහා ය.
"අයිඩී ඔෆිස් එකෙන් උප්පැන්න සහතිකයක් ගන්න ආවේ. අද නිවාඩුවත් එක්ක මම හිතුවා අත්‍යවශ්‍ය සේවා වගේ එකක් ඇති කියලා. ඒ වුණාට නෑ," ඔහු පැවසුවේ ය.
එහිදී බදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් ද බීබීසී සිංහල විසින් ඔහුගෙන් විමසීමක් සිදු කරන ලදී.
"දැන් තියෙන තත්ත්වෙත් එක්ක පුළුවන් තරම් ඉන්ධන ඉතුරු කරගන්න මේක කරන්නේ. ඒ නිසා අපට ඒකට පුරුදු වෙන්න වෙනවා," ඔහු පැවසුවේ ය.



































