බලශක්ති ඇමති කුමාර ජයකොඩිට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි

Minister Kumara Jayakodi

ඡායාරූප මූලාශ්‍රය, LINKEDIN/KUMARA JAYAKODY

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

වසර 10කට පෙර රජයට රුපියල් ලක්‍ෂ 88.5ක අලාභයක් කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කරනු ලැබ ඇති නඩුවට අදාළ අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට ලබන මාර්තු 23 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවල සිතාසි නිකුත් කළේ ය.

පෞද්ගලික සමාගමකට වාසි සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා පනතේ 70 වන වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන 'දූෂණය' නමැති වරද කිරීම සම්බන්ධයෙන් කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ කටයුතු ආරම්භ කරමින් විනිසුරුවරයා එලෙස සිතාසි නිකුත් කළේ ය.

2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් සේවය කරමින් සිටියදී, පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු කිරීමෙන් රජයට රුපියල් 8,859,708/-ක පාඩුවක් කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා ඇත.

එමගින් අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 70 වැනි වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන 'දූෂණය' නමැති වරද කළ බවට ද විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා තිබේ.

කුමාර ජයකොඩිට එරෙහි චෝදනා මොනවා ද?

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි චෝදනා 2015 වසර තෙක් අතීතයට දිව යයි.

ඔහු එකල ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස කටයුතු කර තිබිණි.

ඔහු ම පවසන පරිදි, ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදු කළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක පැවති දෝෂයක් එම චෝදනාවට හේතු වී තිබේ.

"ඕන ම මැනේජර් කෙනෙකුට වගකීමක් තියෙනව නෙ. වැඩ කරනකොට අතපසුවීම් හරි මිස්ටේක්ස් හරි වෙන්න. මට දුන්න මේකෙ මම කොක්කක් ගහල යවපු එක විතර යි තියෙන්නෙ. සබ්ජෙක්ට් එක කරන කෙනා ඒක බලපු නැති එක හරි උවමනාවෙන් හරි එතන මේව වුණා. ඒකෙ මට වගකීමක් නැහැ කියන්නෙ නෑ," අමාත්‍ය කුමාර ජයකොඩි රූපවාහිනී වැඩසටහනකදී පැවසීය.

ඔහු එහිදී සඳහන් කළේ, තමන්ට එරෙහිව දේශපාලනික පළිගැනීමක් සිදුවූ බව ය.

අනුර සමග පැවති සබඳතාවල අතීතය

කුමාර ජයකොඩි ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකාරවරයා ලෙස පත් කරන ලද්දේ, 2005 වසරේදී ය.

කුමාර ජයකොඩි පවසන්නේ, 2005 වසරේදී අනුර කුමාර දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඔහුගේ ඉල්ලීමක් මත එම තනතුර භාර ගත් බව ය.

එතැන් සිට 2015 වසර දක්වා ඔහු එම ධූරයේ සේවය කළේ ය.

මේ අතර, එල්ල වී ඇති චෝදනා පිළිබඳව විමර්ශන අවසන් වන තුරු අමාත්‍ය ධූරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඔහු ඉවත් විය යුතු බවට සමාජ මාධ්‍යවල අදහස් පළ වී තිබේ.

කුමාර ජයකොඩි යනු කවු ද?

1967 මැයි 26 වන දා උපත ලබා ඇති කුමාර ජයකොඩි ගම්පහ, ගෝතමී කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව, ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ.

ඔහුගේ LinkedIn පිටුවෙහි සඳහන් කර ඇති පරිදි ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු විෂයෙහි ප්‍රථම උපාධිය ලබා තිබේ.

පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ (ඉංග්‍රීසි) දැක්වෙන පරිදි ඔහුගේ වෘත්තීය දේශපාලනය ඇරඹී ඇත්තේ, 1994 වසරේදී ය.

පසුව, ඔහු රාජ්‍ය සේවයේ කටයුතු කර ඇති අතර, 2005 වසරේ අනුර කුමාර දිසානායක කෘෂිකර්ම අමාත්‍ය ධූරය දැරූ සමයේ ඔහුගේ ඉල්ලීමකට අනුව, කුමාර ජයකොඩි ලංකා පොහොර සමාගමට අනුයුක්ත වී තිබේ.

2015 වසරේදී ඇති වූ ගැටලුව හේතුවෙන් ඔහු ඉන් ඉවත්වී තිබේ.

2024 නොවැම්බර් මාසයේදී ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඔහු පාර්ලිමේන්තුවට ඇතුළු විය.

මේ වන විට ඔහු බලශක්ති අමාත්‍ය ධූරය හොබවයි.