යුද්ධය ගැන තොරතුරු හුවමාරු කර නොගන්නා ලෙස මැදපෙරදිග සංක්‍රමණික සේවකයන්ට අනතුරු ඇඟවීම්

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
ශ්‍රී ලංකාවේ සංක්‍රමණය වන ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් මැදපෙරදිග කලාපයේ සේවය කරන අතර, මේ වන විට ආසන්න වශයෙන් ශ්‍රී ලාංකිකයෝ මිලියනයක් පමණ එම කලාපයේ සේවය කරති.
ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් සේවය කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, සෞදි අරාබිය ඇතුළු රටවල් ද ප්‍රහාර වලට ලක්වෙමින් ඇති අතර මුල් දිනවලදී කලාපයේ ජිවත් වන සහ සේවය කරන ශ්‍රී ලාංකිකයන් තම රටවල තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදා ගැනීමට හා මාධ්‍ය වෙත අදහස් දැක්වීමට පෙළඹුණ ද මේ වන විට ඔවුහු එලෙස තොරතුරු බෙදාගැනීමට දැඩි මැලිකමක් දක්වති.
'හොටෙල් එකෙන් කිව්වා කාටවත් විස්තර කියන්න එපා කියලා'
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝටලයක සේවය කරනු ලබන අයෙකු මීට පෙර බීබීසී සිංහල විසින් සම්බන්ධ කරගනු ලැබූ අතර, ඔහු මුල් අවස්ථාවේදී අප සමග තොරතුරු බෙදාගත්තේ ය.
කෙසේ නමුත් පසුව දැනගැනීමට හැකි වූයේ, ඔවුන්ට දැන් පවතින තත්ත්වය සම්බන්ධයෙන් බාහිර පාර්ශවයන් සමග තොරතුරු හුවමාරු කර නොගන්නා ලෙස අදාළ හෝටලයෙන් දැනුම් දී ඇති බව ය.
එමෙන් ම අප සමඟ කතා කළ කටාර් රාජ්‍යයේ සේවය කරන තවත් අයෙකු ද පැවසුවේ ඔවුන්ට බාහිර පාර්ශවයන් සමග වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර නොගන්නා ලෙස සේවය කරන ආයතනයෙන් දැනුම් දී ඇති බව ය.
යුද්ධය සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගත් වෙනත් රටක සංක්‍රමණික සේවයකයන් දෙදෙනෙකු බලධාරීන් විසින් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා රැගෙන ගොස් ඇති බැවින් එම තත්ත්වය ගැන තබා බියට පත්ව සිටින බව පැවසුවේ ය.
මාධ්‍ය සඳහා අදහස් නොදැක්වීම
බහරේනයේ සේවය කරන කාන්තාවක් ද මීට පෙර ඔවුන් මුහුණ දුන් අත්දැකීම් සම්බන්ධයෙන් බීබීසී සිංහල සමග අදහස් දැක්වූවා ය.
කෙසේවෙතත් පසු දින ඇය ද අප වෙත දැන්වූයේ එම තොරතුරු පළ නොකරන ලෙස ය.
ඔවුන්ට ද තොරතුරු හුවමාරු කර නොගන්නා ලෙස දැනුම් දී ඇතැයි ඇය පැවසුවා ය.
මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් කොපමණ සංඛ්‍යාවක් සිටිනවා ද?
මැදපෙරදිග කලාපයේ කොපමණ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාවක් සේවය කරන්නේ ද යන්න බීබීසී සිංහල විසින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයෙන් විමසීමක් සිදු කරන ලදී.
ඒ අනුව මැදපෙරදිග කලාපයේ සේවය කරන සේවකයින් විසිරී සිටින්නේ පහත පරිදි ය.
මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මිලියනයකට ආසන්න මැදපෙරදිග ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර මොනවා ද යන්න සම්බන්ධයෙන් ද බීබීසී සිංහල විසින් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසීමක් සිදු කළේ ය.
එම රටවල්වල ඇති තානාපති කාර්යාලවලට මෙතෙක් ලැබී ඇති ඉල්ලීම් සංඛ්‍යාත්මක වශයෙන් තවමත් අමාත්‍යාංශය වෙත ලැබී නොමැති බව අමාත්‍යාංශයෙන් දැනුම් දුන්නේ ය.
කෙසේ වෙතත් අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකකය වෙත ලැබී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් වාර්තාවක් උක්ත අමාත්‍යාංශය විසින් බීබීසී සිංහල වෙත ලබා දුන්නේ ය.
ඒ අනුව, එලෙස රැකියා සඳහා සංක්‍රමණය වූ අයගේ පවුල්වල පිරිස් විසින් එම රටවල්වල සේවය කරන සිය පවුලේ අය සම්බන්ධයෙන් විමසීම් සිදු කර තිබිණි.
ඔවුන් බොහෝ දෙනෙකු සඳහන් කර තිබුණේ කුවේට්හි සේවය කරන සිය ඥාතීන් මාර්තු 01 දින සිට සම්බන්ධ කරගැනීමට නොහැකිව තිබූ බවට ය.
මෙම ඉල්ලීම් බොහොමයක් ලැබී තිබුණේ මාර්තු 03 වන දින ය.
කුවේට්හි රාජ්‍ය තාන්ත්‍රික ආයතන සම්බන්ධ කරගැනීම සඳහා මෙම ඒකකයෙන් ඔවුන්ට උපදෙස් ලබා දී තිබේ.
මීට අමතරව බොහෝ දෙනෙකු මැදපෙරදිග කලාපයට ගමන් ගන්නා සහ එහි සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් යානා සම්බන්ධයෙන් ද තොරතුරු විමසා තිබූ අතර, ඔවුන්ව ද එම තොරතුරු දැනගැනීම සඳහා අදාළ ආයතන වෙත යොමු කර තිබේ.


































