යුද ගැටුම් නිසා ඩුබායිහි පැවති ආකර්ෂණීය ප්‍රතිරූපය තර්ජනයට ලක්ව තිබේ ද?

ඡායාරූප මූලාශ්‍රය, AFP
- Author, සමීර් හෂ්මි
- කියවීමේ කාලය: මිනිත්තු 9
ස්ටෙෆනි බේකර් සිය මිතුරන් සමග ඇගේ උපන් දිනය සමරමින් සිටියේ සුඛෝපභෝගී හෝටල් සහ වෙරළ සමාජ ශාලාවලින් පිරුණු ඩුබායිහි මානව නිර්මාණයක් වන තල් ගසක හැඩයෙන් යුත් දූපතක් වන පාම් ජුමෙයිරාහි සමාජ ශාලාවක ය.
කෙසේ වෙතත්, ඔවුන් අසල පිහිටි වෙනත් ස්ථානයකට යාමට පිටතට පැමිණි විට, රාත්‍රී අහසේ අසාමාන්‍ය සිදුවීම් මාලාවක් සිදුවිය.
මොහොතකට පසුව, බේකර් සහ ඇගේ මිතුරන් වීදිය ඉදිරිපිට සිටගෙන සිටින විට ඩ්‍රෝන යානයක සුන්බුන් තරු පහේ හෝටලයක් වන ෆෙයාර්මොන්ට් වෙත පතිත විය.
"අපි හැමෝම බය වුණා, ඒ වගේ දෙයක් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ." ඇය කියා සිටියා.
මීට වසරකට පෙර ඩුබායි වෙත සංක්‍රමණය වූ බ්‍රිතාන්‍ය දේපළ වෙළඳාම් උපදේශකවරියක වන බේකර් පවසන්නේ, ඇය සැමවිට ම කලාපයේ ආරක්ෂිත ම ස්ථානවලින් එකක් ලෙස ඩුබායි සැලකූ බව ය.
නමුත් ඉරාන ගැටුමට සම්බන්ධ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් සති දෙකකට පසුව ද ඇය කියා සිටියේ, තමන්ට ඩුබායිවලින් පිටව යාමට කිසිදු සැලසුමක් නොමැති බව ය.
"ඇත්ත වශයෙන් ම, තත්ත්වය හසුරුවන ආකාරයෙන් මට ලොකු ආරක්ෂිත බවක් දැනෙනවා," ඇය පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Stephanie Baker
බ්‍රිතාන්‍ය ජාතිකයන් 240,000ක් පමණ ඇතුළුව විදේශිකයන් මිලියන ගණනක් ඩුබායිහි ජීවත් වන අතර එමිරාටි ජාතිකයන්ගේ ප්‍රතිශතය සමස්ත ජනගහනයෙන් 10%ක් පමණි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දශක ගණනාවක් පුරා, ඩුබායි නගරය බොහෝවිට ගැටුම්වලින් පීඩාවට පත්වූ කලාපයක ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා ප්‍රතිරූපයක් ගොඩනගා ඇත. එහි ඇති උස් මහල් ගොඩනැගිලි, බදු රහිත වැටුප් සහ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳ ශක්තිමත් හැඟීමක් ඩුබායි මැදපෙරදිග ප්‍රධාන ව්‍යාපාර සහ සංචාරක මධ්‍යස්ථානයක් බවට පත්වීමට උපකාරී වී තිබේ. ලොව පුරා සිටින ජනතාව මෙහි පැමිණෙන්නේ වඩා හොඳ ජීවිතයක් ගොඩනගා ගැනීමේ අපේක්ෂාවෙනි.
මෑත වසරවලදී පැවති ගැටුම් කලාපයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති නමුත් ඩුබායි බොහෝදුරට ඉන් ආරක්ෂා වෙමින් තිබිණි. නමුත් එම ප්‍රතිරූපය දැන් පරීක්ෂාවට ලක් වෙමින් පවතී.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ට අනුව, ඉරානයේ ප්‍රහාර ආරම්භයේ සිට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති විසින් බැලස්ටික් මිසයිල 285ක්, කෲස් මිසයිල 15ක් සහ ඩ්‍රෝන යානා 1,567ක් සම්බන්ධයෙන් පියරව ගෙන ඇත. නිලධාරීන් පවසන්නේ, ඉන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කළ බව ය.
නේවාසික ප්‍රදේශ සහ ගුවන්තොටුපළ ඇතුළුව ඩුබායිහි ප්‍රදේශ කිහිපයක ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානාවල සුන්බුන් වැටී ඇත. නේවාසික මහල් ගොඩනැගිල්ලකට, සුඛෝපභෝගී හෝටලයකට සහ ගුවන්තොටුපළට පහර දෙන සිදුවීම් දැක්වෙන වීඩියෝ දර්ශන ඉන්ටර්නෙට් හරහා පුළුල් ලෙස ප්‍රචාරය වී ඇත.
මේ දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා පුද්ගලයින් හය දෙනෙකු මියගොස් 141 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Planet Labs PBC via REUTERS
බීබීසී පුවත් සේවය ඩුබායි පදිංචිකරුවන් 20කට වැඩි පිරිසක් සමග කතා කර ඇති අතර, ඔවුන්ගෙන් සමහරක් දශක ගණනාවක් තිස්සේ ඩුබායිහි ජීවත් වූ අතර තවත් පිරිසක් මෑතකදී පැමිණි අය වෙති. බොහෝ දෙනෙකු පවසන්නේ, මෑත දිනවල සිදුවීම්වලින් තමන් කම්පනයට පත්ව සිටින බව ය. නමුත් ඔවුන් සියල්ලන් ම පාහේ පවසන්නේ, ඔවුන්ට ඩුබායි රාජ්‍යයෙන් පිටව යාමට කිසිදු සැලසුමක් නොමැති බව ය.
"මේ වගේ දෙයක් අපි දකින පළමු අවස්ථාව මේක," පවුලේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් ජීවිත කාලය පුරා ම ඩුබායිහි ජීවත් වන ඉන්දියානුවෙකු වන එටි භාසින් පවසයි.
"ඩුබායි දැවැන්ත නගරයක් දක්වා ගොඩනැගිලා තියෙනවා. අපි බලධාරීන්ව විශ්වාස කරනවා. මේක මගේ ගෙදර, අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා."

ඡායාරූප මූලාශ්‍රය, Eti Bhasin
ඇඩම් කැලෝ, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ කුඩා පුතුන් දෙදෙනා 2024 දී එක්සත් රාජධානියේ සිට ඩුබායි වෙත සංක්‍රමණය වූයේ නගරය ආරක්ෂිත යැයි ඔවුන් විශ්වාස කළ බැවිනි. කෙසේ වෙතත්, පසුගිය සති දෙක ඇතැම් පදිංචිකරුවන්ගේ කනස්සල්ලට හේතු වී ඇත.
යුද්ධයේ මුල් දින කිහිපය තුළ මුළු පවුල ම එක් කාමරයක නිදාගත්තේ නගරය පුරා විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණු නිසා සහ දරුවන් ජනේල අසල නිදා ගැනීමට බිය වූ බැවිනි.
"බලධාරීන් අපිව ආරක්ෂිතව තබන්න ප්‍රමාණවත් දේ කරමින් ඉන්නවා, නමුත් අපට තවමත් නොසන්සුන් බවක් දැනෙනවා. මේක අලුත් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වේවි කියලා අපි කනස්සල්ලට පත්වෙලා ඉන්නවා." ' කැලෝ පවසයි.
"මම වැඩ කරන ඩුබායි නගරය ගල්ෆ් කලාපයේ කුඩා වෙළෙඳ වරායක ඉඳලා ගෝලීය නගරයක් දක්වා වර්ධනය වුණේ ඒ තියෙන සම්බන්ධතා නිස යි. පසුගිය අවුරුද්දේ, ලෝකයේ ජාත්‍යන්තර සංචාර සඳහා කාර්ය බහුල ම ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ මගීන් මිලියන 90කට ආසන්න සංඛ්‍යාවක් හසුරුවලා තියෙනවා."

ගැටුම ආරම්භ වූ දා සිට, දහස් ගණනක් ගුවන් ගමන් අවලංගු කර ඇති අතර, කලාපයේ කාර්ය බහුල ම ගුවන් තොටුපළේ සේවා අඩපණ වී ඇත
මෑත දිනවල තාවකාලිකව ගුවන් මෙහෙයුම් නැවත ආරම්භ වී ඇති අතර, එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර අඩු කර ඇති අතර සම්පූර්ණ ජාල මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටියි.
මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත වී ඇත්තේ, උණුසුම් ගිම්හානයට පෙර සංචාරකයින් සඳහා කාර්ය බහුල කාලයකදී වන අතර එහි බලපෑම පැහැදිලි ය.
රටේ සංචාරය කිරීමෙන් වැළකී සිටින පිරිස් ගුවන් ගමන් සහ හෝටල් අවලංගු කිරීම් රාශියක් දක්නට ලැබේ. ඇතැම් සුඛෝපභෝගී හෝටල්වල කාමර සාමාන්‍ය මිලට වඩා අඩු මුදලකට මිල නියම කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"අවාසනාවකට වගේ, මැයි මාසය දක්වා ම අවලංගු කිරීම් අපට දැක ගන්න පුළුවන්," ගේට්ස් හොස්පිටැලිටි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නයිම් මාඩාඩ් පවසයි. ඔහු ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන අතර දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ ඩුබායිහි පදිංචිකරුවෙකි.
"පළමු කාර්තුව දුර්වල වුණොත්, අවුරුද්දේ ඉතිරි කාලය දුෂ්කර වෙනවා."
බොහෝ අමුත්තන් ඩුබායිහි සුඛෝපභෝගී ප්‍රතිරූපයට ආකර්ෂණය වන අතර, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීහු උස ගොඩනැගිලිවල ඇති පිහිනුම් තටාක, තරු පහේ හෝටල්වල සුපිරි මෝටර් රථ සහ පෞද්ගලික වෙරළ තීරවල සංචාරකයින්ගේ වීඩියෝ ප්‍රචාරය කිරීමට ප්‍රිය කරති.
නමුත් ඒ සිදුවීම පිටුපස ඇත්තේ, වෙනස් යථාර්ථයකි.

ඡායාරූප මූලාශ්‍රය, Dr Naim Maadad
ඩුබායිහි තවත් පැත්තක්
ඩුබායිහි විශාල පරස්පරතා ඇත. ඉන්ටර්නෙට් හරහා නගරය ආකර්ෂණීය ලෙස පෙනුණ ද, බොහෝ සංක්‍රමණික සේවකයින් අඩු වැටුප් උපයන අතර නගරයේ පිටත මායිමේ හවුල් නිවාසවල ජීවත් වෙති.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බොහෝ සේවකයෝ විදේශිකයෝ වෙති. ඩුබායිහි වර්ධනය වන ජනගහනයෙන් අඩකට වඩා වැඩි ප්‍රතිශතයක් දකුණු ආසියානුවන් වන අතර, බොහෝවිට ඉදිකිරීම්, සැපයුම් සහ බෙදාහැරීමේ රැකියාවල ඔවුහු නිරත වෙති.
යුද්ධය හේතුවෙන් බොහෝ දෙනෙකුගේ එදිනෙදා ජීවිතය එතරම් වෙනසක් වී නැත.
බෙදාහැරීමේ රියැදුරෙකු ලෙස කටයුතු කරන පකිස්ථාන ජාතිකයෙකු වන හම්සා පවසන්නේ, යුද්ධයේ මුල් දින කිහිපය තුළ වැඩි පිරිසක් නිවෙස්වල ම රැඳී සිටීම නිසා ඇණවුම් වැඩි වූ බව ය.
"පිපිරීම් සද්ද ඇහෙද්දී හරි මිසයිලවල සුන්බුන් වැටෙනවා දකිද්දී අපිට බයක් ඇති වෙනවා, ඒත් මට වැඩ කරන එක නතර කරන්න බැහැ." ඔහු පවසයි.
"ගෙදර ඉන්න මගේ පවුල යැපෙන්නේ මගෙන්. බය නිසා ගෙදර ඉන්න තරම් සුඛෝපභෝගී ජීවිතයක් මට නැහැ."
ගල්ෆ් කලාපයේ අඩු වැටුප් ලබන ඇතැම් සේවකයින්ට ඔවුන්ගේ සේවා කොන්දේසි සහ ඔවුන්ගේ සේවායෝජකයින්ට බැඳී ඇති නීති ඇතුළුව සලකන ආකාරය පිළිබඳව අයිතිවාසිකම් කණ්ඩායම් බොහෝවිට කණස්සල්ලට පත්ව සිටිති.
හම්සා ඇතුළු බොහෝ දෙනෙකු ඩුබායිහි නැවතී සිටීමට අදහස් කරන බව මට පැවසුව ද, ගුවන් යානයක් සොයා ගැනීමට සමත් වූ කිහිප දෙනෙක් රටින් පිටව යාමට තීරණය කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP
නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි එක් ගුවන් සේවිකාවක මට පැවසුවේ, ඇය මේ සතිය මුලදී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත ආපසු පියාසර කළ බව ය.
"හැම දා ම නිතර නිතර පිපිරීම් ශබ්ද ඇහෙනකොට මම ගොඩක් බය හිතුණා, ටික කාලෙකට හරි මෙහෙන් යන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා හිතුණා, තත්ත්වය ස්ථාවර වුණාට පස්සේ ආපහු එන්න." ඇය කියා සිටියා ය.
නමුත්, ඇය වැඩිදුරටත් කියා සිටියේ තමන් නැවත පැමිණීමට සැලසුම් කරන බව ය.
බොහෝ බටහිර රටවල් ආගමන ප්‍රතිපත්ති දැඩි කරමින් සහ සංක්‍රමණයේ බලපෑම පිළිබඳව විවාද කරමින් සිටින අවස්ථාවක, ඩුබායි වෙනස් ආකෘතියක් නියෝජනය කරයි.
කොවිඩ් වසංගතයේ සිට ම කෝටිපතියන්ගේ, කේෂ්ත්‍ර නිපුණතාවන්හි දක්ෂතා දක්වන පිරිස් සහ ධනවතුන්ගේ වැඩි ම ආකර්ෂණයක් හිමි ස්ථානය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත් වී ඇත. ඉන්දියානු ඉංජිනේරුවන්, ඊජිප්තු වෛද්‍යවරුන් හෝ පිලිපීන හෙදියන් වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල වෘත්තිකයන් සඳහා - යුරෝපයට හෝ උතුරු ඇමරිකාවට වඩා ඩුබායිහි රැකියා වීසා බලපත්‍රයක් ලබා ගැනීම පහසු විය හැකි අතර වැටුප් වැඩි විය හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාත්‍යන්තර මාධ්‍ය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වාර්තා පෙන්වා දී ඇත්තේ, ඇතැම් සැක සහිත අපරාධකරුවන් ඩුබායිහි ජීවත් වී ඇති බව ය. එහෙත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෑත වසරවලදී රටවල් කිහිපයක් සමග එක්ව ඔවුන් පිටුවහල් කිරීම පිළිබඳ වන සහයෝගීතාව වර්ධනය කර ඇත.
ඩුබායි ප්‍රතිරූපය බිඳ නොවැටී තියේවි ද?
සැමවිට ම අවුල්සහගත කලාපයක ඩුබායි රාජ්‍යය ආරක්ෂිත ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත්වී ඇත. එම කීර්ති නාමය දැන් තර්ජනයකට ලක්ව තිබේ ද?"
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගැන බොහෝ දේ ලියා ඇති මැද පෙරදිග පිළිබඳ විශේෂඥයෙකු වන ක්‍රිස්ටෝපර් ඩේවිඩ්සන් සිතන්නේ, මෙම ප්‍රහාර දැනට ඩුබායිහි ආකර්ෂණයට හානි කළ හැකි බව ය.
'නමුත් යටිතල පහසුකම්, නීති, දේශගුණය සහ පිහිටීම වැනි මූලික කරුණු නොවෙනස්ව තියෙනවා,' ඔහු පවසයි.
"දිගු කාලීනව එහි ආකර්ෂණය නොවෙනස්ව පවතිවී."
ප්‍රහාර පිළිබඳව දිනපතා යාවත්කාලීන කිරීම් නිකුත් කරමින් සහ සිදුවිය හැකි ප්‍රහාර පිළිබඳ කල් තබා අනතුරු ඇඟවීම් නිතිපතා ජංගම දුරකතන ඔස්සේ යැවීම නිසා පදිංචිකරුවන්ගෙන් සහ ව්‍යාපාර හිමිකරුවන්ගෙන් බලධාරීන්ට ප්‍රශංසා ලැබී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම ආරක්ෂාවට තර්ජනය කරන අයට "පහසු ගොදුරක් නොවන" බවට අනතුරු අඟවමින් ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ්, රට වැසියන් ආරක්ෂා කරන බවට සහතික වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto/Getty Images
සාමාන්‍ය දෛනික කටයුතු අඛණ්ඩව සිදුවන බවට සංඥා කරමින් ජ්‍යෙෂ්ඨ නායකයින් ද ඩුබායිහි ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත.
කෙසේ වෙතත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට එරෙහි ප්‍රසිද්ධ විවේචන අසාමාන්‍ය දෙයක් වන අතර, නීති මගින් රාජ්‍යය හෝ රාජ්‍ය නායකත්වය අවතක්සේරු කරන හෝ විවේචනය කරන ලෙස සැලකෙන අදහස් දැක්වීම් සඳහා සීමා පවතී.
ගැටුම්වල තහවුරු නොකළ වීඩියෝ ඉන්ටර්නෙට්හි පළ කිරීම දඩ හෝ සිර දඬුවම් ලැබිය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇත. බ්‍රහස්පතින්දා, නගරයට ඉහළින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයක් රූගත කළ බවට ඩුබායිහි 60 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබීය.
අසාමාන්‍ය නිහඬ දින කිහිපයකට පසු, ගමනාගමනය සහ ජනතාව සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇත.
විශ්ලේෂකයින් පවසන්නේ, ගැටුම දිග හැරෙන ආකාරය මත ඩුබායි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කෙරෙහි දිගුකාලීන බලපෑම රඳා පවතින බව ය. "දුර්වල ඉරානයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආකර්ෂණය තවත් වැඩි කළ හැකි යි," ඩේවිඩ්සන් පවසයි.
නමුත් ඉරාන පාලන තන්ත්‍රය අඛණ්ඩව බලයේ රැඳී සිටියහොත්, අසල්වැසි ගල්ෆ් රාජ්‍යයන් සමග ආතතීන් ඉහළ යා හැකි බව ආයෝජන බැංකුකරුවෙක් පැවසීය. 'ඒක කණස්සල්ලට කරුණක්. බැංකු හෝ මූල්‍ය ආයතනවලට බලපෑමක් ඇති වුවහොත්, ඒක ව්‍යාපාරවල විශ්වාසයට හානි කළ හැකි යි,' ඔහු තවදුරටත් පැවසීය.
ඉකුත් බදාදා, ඉරාන බැංකුවකට පහර දීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට සම්බන්ධ ආර්ථික සහ බැංකු ඉලක්කවලට පහර දෙන බවට ඉරාන හමුදාව තර්ජනය කළේ ය. පසුව බොහෝ ඩුබායි මූල්‍ය සමාගම් සිය කාර්ය මණ්ඩලයට තම කාර්යාලවලින් ඉවත් වන ලෙස දැනුම් දුන්නේ ය.
දැනට, ඩුබායිහි බොහෝ පදිංචිකරුවන් ප්‍රවේශම්සහගත නමුත් බලාපොරොත්තු සහගතව සිටිති. 2008 මූල්‍ය කඩාවැටීම සහ 2020 වසංගතය වැනි - නගරය මීට පෙර අර්බුදවලට මුහුණ දී ඇති බවත් ශක්තිමත්ව නැගී සිටි බවත් ඔවුහු පෙන්වා දෙති.
"ඩුබායි සෑම විට ම ඉක්මනින් ආපසු නැගිටිනවා, ඔරොත්තු දීමේ හැකියාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ DNAවල කොටසක්," මාඩාඩ් පවසයි.


































