යුද බියෙන් සහ පීඩාවෙන් මැදපෙරදිග වෙසෙන ඔබේ සමීපතමයින්ගේ සහ ඔබේ මානසික යහපැවැත්ම සඳහා ඔබට කළ හැකි දේ

A young Indian woman sits alone at home, clutching a t-shirt to her mouth while crying

ඡායාරූප මූලාශ්‍රය, Raja J

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුද්ධමය තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ද අවධානය යොමුව තිබේ.

එයට එක් හේතුවක් වී ඇත්තේ, ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු ගණනක් මැදපෙරදිග කලාපයේ රැකියාවල නිරත වීම ය. එවැනි පසුබිමක මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ හා සමීපතමයෝ යුද්ධය පිළිබඳ විස්තර සොයා බැලීමට නිරන්තරයෙන් පෙළඹෙති.

දෛනික ජීවිතය අතරතුර පවතින යුද බිය සහ පීඩාව එරට සහ මෙරට වෙසෙන ඔවුන්ගේ සමීපතමයින්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි ද බලපෑම් ඇති කරන බව විශේෂඥ මතයයි.

'ඒවා බැලුවා ම ඥාතීන් ගැන බියක් ඇති වෙනවා'

යුද්ධ තත්ත්වයක් පවතින කලාපවල වෙසෙන තම සමීපතමයින්ගේ ජීවිත සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය මෙරට වෙසෙන ඔවුන්ගේ ඥාතීන්ගේ මනසට බලපෑම් කරන බව ගාල්ල ජාතික රෝහලේ, විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පැවසීය.

"ඒ නිසා ඒ අවිනිශ්චිතතාව හා බය නැති කරන්න නිවැරදි තොරතුරු ඒ අයට ලැබෙන්න ඕනේ," ඔහු සඳහන් කළේ ය.

කිසිදු තොරතුරක් නොලැබෙන විට අවිනිශ්චිතතාව සහ බිය තවත් වැඩි වන බව විශේෂඥ වෛද්‍යවරයා බීබීසී සිංහල වෙත පැවසීය.

"බය නිසා ම සමාජ මාධ්‍ය තුළ තියෙන වීඩියෝ නිතර නිතර බලනවා. එහෙම නැවත නැවත බලපුවා ම ඊට අදාළ දේවල්වලින් සමාජ මාධ්‍ය පිරෙනවා, ඇල්ගෝරිදම් එක නිසා. ඒ නිසා වැඩි වැඩියෙන් මේ යුද්ධය ගැන බලනවා.

"සමහර විට එදිනෙදා ජීවිතයේ වෙනත් දේවල්වලට තියෙන කාලය වැය කරනවා මේවා බලන්න. එක ම සිද්ධිය නැවත නැවත බලනවා. ඒවා බලලා යුද්ධය පිළිබඳ අසුබවාදී හැඟීම් තමන් ගොඩනගා ගන්නවා.

"මේක නැවත නැවත බලන්නේ බය අඩු කරගන්න, නමුත් ඒකෙන් බය තවදුරටත් වැඩි වෙනවා. ඒ වගේ ම බිහිසුණු දර්ශන නැවත නැවත බැලුවා ම ඒක මානසික පීඩනයක් ඇති කරන්න පුළුවන්. එහෙම ඒවා බැලුවා ම ඥාතීන් ගැන බියක් ඇති වෙනවා වගේ ම තමුනුත් එවැනි පරිසරයක ජීවත් වෙනවා කියන හැඟීම ඒ අයටත් දැනෙන්න ගන්නවා," විශේෂඥ වෛද්‍යවරයා පැහැදිලි කළේ ය.

MILAN, ITALY - MARCH 3: Students from across Italy, who were stranded in Dubai due to the US-Israeli attack on Iran that prompted Tehran's subsequent military response, reunite with their families at Milan Malpensa Airport in Milan, Italy, on March 3, 2026. (Photo by Andrea Carrubba/Anadolu via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Andrea Carrubba/Anadolu via Getty Images

මානසික පීඩාව ඇති විය හැක්කේ කෙසේ ද?

එසේ කිරීමෙන් නොදැනීම මානසික පීඩාවක් ඇති විය හැකි බවට අනතුරු අඟවන විශේෂඥ වෛද්‍ය රූමි රූබන් ඒ පිළිබඳව මෙලෙස පැහැදිලි කළේ ය.

"සමහර විට ඒ යුද්ධයේ දේවල් නැවත නැවත මැවි මැවී පේන්න පුළුවන්. ඒ වගේ ම ඒ සිද්ධි මතක් වෙන්න පුළුවන්. එදිනෙදා ජීවිතේ දේවල්වලට අවධානය තියාගන්න බැරි වෙන්න පුළුවන්.

"සමහර අයට නින්දේදී හීන හැටියට පේන්න පුළුවන්, එතකොට සැනසිලිදායක නින්දක් නැති වෙනවා. මේක විශේෂයෙන් දරුවන්ට සහ වැඩිහිටියන්ට වයස් බේදයකින් තොරව ඇති වෙන්න පුළුවන්," ඔහු පැවසීය.

දරුවෙකුට මෙවැනි බියක් ඇති වුවහොත් ලෝකය අනාරක්ෂිත යැයි යන හැඟීම ඇති වී වඩා බලපෑමට ලක් විය හැකි බව ද විශේෂඥ මනෝ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.

යුද්ධයේ නිවැරදි තොරතුරු දැනගැනීම වැදගත් මෙන් ම සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳව නැරඹීමට වැඩි වේලාවක් වෙන් නොකර තම එදිනෙදා ජීවිතයේ කටයුතු සඳහා අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව ඔහු අවධාරණය කළේ ය.

'දෛනික වැඩවලට බාධා වන ලෙස දුරකතන ඇමතුම් ගන්න එපා...'

පවතින තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ වෙසෙන හිතවතුන් හා පවුලේ සාමාජිකයින් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ වාසි මෙන් ම අවාසි ද පවතින බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පැවසීය.

"නිවැරදි තොරතුරු ලබාගෙන ඒ අය ආරක්ෂිතව ඉන්නවා කියලා දැනගන්න එක මානසික වශයෙන් බය අඩු කරලා ඒ අය ගැන යහපත් හැඟීමක් ඇති කරනවා.

"නමුත් ඒ පිළිබඳව අවිනිශ්චිතභාවයෙන් නැවත නැවත උවමනාවටත් වඩා කල්පනා කිරීම සහ මැදපෙරදිග සිටින තමන්ගේ හිතවතුන්ට එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කර ගැනීමට බාධා වන පරිදි දුරකතන ඇමතුම් ලබා දීම අහිතකර තත්ත්වය බවට පත්වෙන්න පුළුවන්," ඔහු පැහැදිලි කළේ ය.

මානසික පීඩා ඇති වීම අවම කර ගැනීමට කළ හැක්කේ මොනවා ද?

මෙවැනි තත්ත්වයකදී මනසට ඇතිවන පීඩා අවම කර ගැනීමට කළ හැකි දෑ පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පැහැදිලි කළේ ය.

තමන් සිටින්නේ යුද්ධමය පරිසරයක වුව ද, තම ආරක්ෂාව බලධාරීන් විසින් තහවුරු කරනු ලැබ ඇති නම්, එදිනෙදා රාජකාරී වෙත අවධානය යොමු කර ඒවායේ නිරත වීම කළ යුතු බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඒ අතරතුර නිවැරදි තොරතුරු සහ බලධාරීන් ලබා දෙන පණිවිඩ පිළිබඳව අවධානයෙන් පසුවීම වැදගත් බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.

"තමන්ගේ තත්ත්වය පවුලේ අයට දැනුම් දෙන එක වැදගත්, මොකද ඒ අය අනවශ්‍ය විදිහට බය වෙලා ඉන්නවා නම්, තමන් පිළිබඳව නිවැරදි තොරතුරු පවුලේ අයට ලබා දෙන එක වැදගත්. යුද්ධය ගැන හැමතිස්සේ ම මතක් වෙනවා නම් ඒවා මග හරවා ගන්න වෙනත් දේවල්වලට හිත යොමු කරගන්න ඕන සිත සැහැල්ලු වෙන," ඔහු පැවසීය.

හොඳ නින්දක් ලබා ගැනීම, යුද්ධය පිළිබඳව අනවශ්‍ය ලෙස තොරතුරු සොයා බැලීම සහ ඒවා හුවමාරු කර නොගැනීම මෙන් ම තමන්ට පාලනය කිරීමට නොහැකි ලෙස මානසික පීඩාවක් ඇතිව තිබේ නම්, මනෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතු යැයි විශේෂඥ මනෝ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.