ප්‍රවෘත්ති නිවේදකයෙකුගේ සිට ට්‍රම්ප්ගේ ආරක්ෂක ලේකම් දක්වා පැමිණි පීට් හෙග්සෙත් යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හිටපු ෆොක්ස් නිවුස් රූපවාහිනී නිවේදකයා, ඉරාන යුද්ධයේ සැබෑ ප්‍රකාශකයෙකු ලෙස අවධානයට ලක්වූ මොහොතේ ඔහුගෙන් ඉස්මතු වූයේ, සටන්කාමී විලාසයකි.
ඉරානයේ බැලස්ටික් මිසයිල විනාශ කිරීමට සහ න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම නැවැත්වීමට ඇමෙරිකා එක්සත් ජනපදය දියත් කළ Operation Epic Fury ආරම්භ කර සති දෙකකට වැඩි කාලයක් ගත වී ඇත. ඊට සමීපව සම්බන්ධ වී සිටින එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසන්නේ, මෙහෙයුමෙන් 'සතුරා පරාජය කරන' බව ය. ඔහු ඔවුන්ව හඳුන්වා ඇත්තේ, 'ත්‍රස්තවාදී බියගුල්ලන්' ලෙස ය.
45 හැවිරිදි හෙග්සෙත්, එක්සත් ජනපද ඉතිහාසයේ දෙවන ළාබාලතම ආරක්ෂක ලේකම්වරයා වේ.
යේමනයට එල්ල කළ ගුවන් ප්‍රහාර පිළිබඳ තොරතුරු චැට් ඇප් එකක වාර්තාකරුවෙකු සමග බෙදා ගැනීම සහ ඔහුගේ තහවුරු කිරීමේ නඩු විභාග අතරතුර විෂමාචාර චෝදනා ඇතුළු මතභේද කිහිපයකට ඔහු මුහුණ දී තිබේ.
පීට් හෙග්සෙත් යනු කවුද? ෆොක්ස් නිව්ස්හි හිටපු ප්‍රවෘත්ති නිවේදකයා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් බවට පත් වූයේ කෙසේ ද?
විවෘතව කතා කරන තරුණයා
ඔහු 1980 ජූනි මාසයේදී මිනසෝටා ප්‍රාන්තයේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමල් දරුවා ලෙස උපත ලැබුවේ ය. ඔහුගේ පියා වන බ්‍රයන්, මිනසෝටා උසස් පාසලක බාස්කට් බෝල් පුහුණුකරුවෙකු වූ අතර, මව වන පෙනෙලෝප් "පෙනී" හෙග්සෙත්, සාම්ප්‍රදායික ක්‍රිස්තියානි පවුලකින් පැවත එන විධායක වෘත්තීය උපදේශකවරියක වූවා ය.
ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් ඔහු දේශපාලන විද්‍යාව හැදෑරූ අතර එහි කොන්සර්වේටිව් සඟරාවක් වන 'The Princeton Tory' සඳහා තීරු ලිපි පළ කළේ ය. එකල පවා විවෘතව අදහස් දැක්වූ තරුණ රිපබ්ලිකන් පාක්ෂිකයෙකු වූ හෙග්සෙත්, ගබ්සාව, සමලිංගිකත්වය සහ වෙනස්කොට සැලකීමට එරෙහිව ස්ත්‍රීවාදීන් සහ LGBTQ කණ්ඩායම් විවේචනය කරමින් 'The Rant' නමින් තීරු ලිපියක් පළ කළේ ය.
විශ්වවිද්‍යාලයේදී හෙග්සෙත් ශාරීරික ව්‍යායාම්වල නිරත වීමට සහ හමුදා අභ්‍යාසවලට වඩාත් ප්‍රිය කළේ ය. ඔහු හමුදා කැඩෙට් නිලධාරියෙකු ලෙස ලියාපදිංචි වී සිටි අතර, විශ්වවිද්‍යාලයේ හමුදා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් වන ROTC (Reserve Officers' Training Corps) සමග සම්බන්ධ විය. එය ඔහුගේ වෘත්තීය ජීවිතය තීරණාත්මක ලෙස බලපෑ තීරණයක් විය.
2003 වසරේදී උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයට දැඩි උද්‍යෝගයක් දැක්වූ ඔහු, ඇමෙරිකානු හමුදාවේ පාබල නිලධාරියෙකු ලෙස සේවයට එක්වී ගුවන්තනාමෝ බේ සහ ඉරාකයේ සේවය කළ අතර, එහිදී ඔහු Bronze Star පදක්කමෙන් පිදුම් ලැබුවේය. පසුව ඔහු ඇෆ්ඝනිස්ථානයේ කාබුල්හි කැරලි මර්දන උපදේශකයෙකු ලෙස ද අනියුක්ත කෙරිණි.
හමුදා සේවය අවසන් වීමෙන් පසු, ඔහු නැවත සිය රට බලා පැමිණි අතර එහිදී ප්‍රවීණ සොල්දාදුවන්ගේ පුණ්‍යායතන දෙකකට කෙටි කලක් සඳහා නායකත්වය දුන්නේ ය. 'New Yorker' සඟරාවේ වාර්තාවක තිබූ තොරතුරු අනාවරණ කරන්නෙකුට අනුව, හෙග්සෙත් සේවා ස්ථානයේ පැවති උත්සවවලදී නිතර මත්පැන් පානය කර සිටි බවත් කලහකාරී ලෙස හැසිරුණු බවත් ඇතැම් සගයන් පවසා තිබේ.
මතභේදාත්මක රූපවාහිනී පෞරුෂය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2010 දශකයේ මැද භාගය වන විට, පීට් හෙග්සෙත්ගේ පසුපසට පීරන ලද කොණ්ඩය සහ මනාව නිම වූ ඇඳුම් කට්ටල ෆොක්ස් නිව්ස් නාලිකාව ඔස්සේ නිතර දක්නට ලැබුණේය.
පළමුව සම්පත් දායකයෙකු ලෙසත් අනතුරුව වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසත් 2014 වසරේදී ඇමෙරිකාවේ ෆොක්ස් නිව්ස් ආයතනය විසින් ඔහු සේවයට බඳවා ගනු ලැබූ අතර ඔහු බොහෝ විට තම වේදිකාව භාවිත කළේ යුද අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ සොල්දාදුවන්ට සහය දැක්වීම ඇතුළු හමුදාවේ සහ ප්‍රවීණයන්ගේ ගැටලු ඉස්මතු කිරීමට ය.
ඔහුට සිය ආදරය ද මුණ ගැසුණේ, එහිදී ය. 2019 වසරේදී හෙග්සෙත් Fox and Friendsහි නිෂ්පාදිකා ජෙනිෆර් රවුචෙට් සමග විවාහ වූ අතර ඇය ඔහුගේ තෙවන බිරිඳ වූවා ය.
ඊට පෙර ඔහු දෙවරක් විවාහ වී තිබිණි. වාර්තාවලට අනුව, ඔහුට අනියම් සබඳතා කිහිපයක් තිබූ බව පිළිගැනීමෙන් පසු ඔහුගේ පළමු විවාහය 2009 දී දෙදරා ගියේ ය. ඔහුට සිය දෙවන බිරිඳගෙන් දරුවන් තිදෙනෙකු සිටියි. එම සබඳතාව පවත්වා ගෙන යන අතරතුර ජෙනිෆර් රවුචෙට් ඔහුට දාව දරුවෙකු ලද අතර පසුව ඔහු ඇය සමග විවාහ විය.
ඔහු තම දෙවන බිරිඳ සමග අසීරු දික්කසාදයකට මුහුණ දෙමින් සිටියදී, ඔහුගේ මව ඊමේල් පණිවිඩයක් ඔස්සේ ඔහු "කාන්තාවන්ට අතවර කරන්නෙකු" ලෙස හැඳින්වූ බව වාර්තා වේ. පසුව ඇය දෙවන වරටත් ඊමේල් පණිවිඩයක් යොමු කරමින් සිය පුත්‍රයාගෙන් සමාව අයැද සිටි බව පැවසුවා ය.
පෙන්ටගනය වෙත
Fox & Friends සති අන්ත වැඩසටහන ඉදිරිපත් කරන්නෙකු ලෙස දායක වූ වසර අටක් පුරාවට ඔහු එම වැඩසටහන නිතිපතා නරඹන්නෙකුගේ අවධානයට ලක් විය: ඒ, ඩොනල්ඩ් ට්‍රම්ප් විය.
දෙවන වර ජනාධිපති ධූරයට තේරී පත්වීමෙන් අනතුරුව ට්‍රම්ප් හෙග්සෙත් රූපවාහිනියෙන් ඉවත් කර පෙන්ටගනය වෙත කැඳවා ගත්තේ ය. ඔහු සිය ආරක්ෂක ලේකම්වරයා ලෙස හෙග්සෙත්ව තෝරා ගැනීම බොහෝ දෙනෙකු ව්‍යාකූලත්වයට පත් කළ තීරණයක් විය.
2025 ජනවාරි මාසයේදී, හෙග්සෙත් සෙනෙට් සභාවේදී අතිශය තියුණු ඡන්ද විමසීමකින් ඔහුගේ ධූරය තහවුරු කර ගත්තේ ය.
ඔහුගේ පත්වීම තහවුරු කිරීම සඳහා සිදු කෙරෙන අගැයීමේදී ලිංගික අපයෝජන චෝදනා සහ අධික ලෙස මත්පැන් පානය කිරීම පිළිබඳ චෝදනා ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ අතර, ඔහු එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඒවා තමන්ට එරෙහිව දියත් කළ මඩ ප්‍රහාර ලෙස හැඳින්වීය.
ඔහුගේ ආගමික විශ්වාසයන් පිළිබඳ අදහස් ද දැඩි පරීක්ෂාවට ලක් විය.
ඔහුගේ සිරුරේ කොටා ඇති කුරුස යුද්ධවලට සම්බන්ධ පච්ච සලකුණු අන්ත දක්ෂිණාංශික අන්තවාදය සමග සම්බන්ධ කිරීමට විවේචකයෝ උත්සහ දැරූහ. හෙග්සෙත් පැවසුවේ, එම සිරුරේ ඇති තීන්ත මගින් පිළිඹිබු වන්නේ තමාගේ ක්‍රිස්තියානි ඇදහිල්ල පමණක් බව ය.
එමෙන් ම ඇතැමුන් ප්‍රශ්න කළේ, ඇමෙරිකානු රජයේ විශාලතම අයවැය වන ඩොලර් ට්‍රිලියනයකට ආසන්න අයවැයක් සහ සේවකයින් මිලියන තුනක් සහිත දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යාමේ අත්දැකීම් ඔහුට තිබේ ද යන්න ය.
හෙග්සෙත්ගේ ධූරය තහවුරු කිරීමේ අගැයීම පුරාවට ලිංගික අපයෝජන සහ අධික ලෙස මත්පැන් පානය කිරීම පිළිබඳ චෝදනා එල්ල වූ අතර, ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.
වෙනත් නිලධාරියෙකු විසින් කරන ලද අත්වැරදීමකින් සංඥා පණිවුඩ සමූහයකට මාධ්‍යවේදියෙකු එකතු කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් ධූරයේ දිවුරුම් දුන් සැණින් හෙග්සෙත් සිය පළමු මතභේදාත්මක සිදුවීමට මුහුණ දුන්නේ ය. එහිදී ආරක්ෂක ලේකම්වරයා යේමනයේ ඉරාන හිතවාදී හූති කණ්ඩායමට එල්ල කිරීමට නියමිත ප්‍රහාරයක සැලසුම් පිළිබඳ විස්තර පළ කර තිබිණි.
ඔහු ඇමෙරිකානු හමුදා සාමාජිකයන් අනතුරේ හෙළා ඇති බව සහ නියමිත ක්‍රියා පටිපාටි උල්ලංඝනය කර ඇති බව පවසමින් කොංග්‍රස් මණ්ඩලයේ සාමාජිකයන් සහ තවත් පිරිසක් ඔහුව ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත්, හෙග්සෙත් ඔහුගේ රැකියාවේ තවදුරටත් රැඳී සිටියේ ය.
ඔහුගේ පෞද්ගලික සතුරෙකු ඔහු හමුදාව "ඇවිදින කුණු" ලෙස හඳුන්වන තත්ත්වය සහ එක්සත් ජනපදයේ සටන් හැකියාව පිරිහී ඇති බවට පවතින තර්කවලට ප්‍රතිචාර දක්වමින් සිටී.
හෙග්සෙත් හමුදා කඳවුරුවල නම් වෙනස් කර ඇති අතර, ඔහු අධ්‍යාපනය හැදෑරූ හාවඩ් ඇතුළු විවිධත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන විශ්වවිද්‍යාල සමග පැවති ආරක්ෂක සබඳතා ද අත්හිටුවන ලදී.
ඔහුගේ පාලනය යටතේ පවතින පෙන්ටගනය, මාධ්‍ය සමග කටයුතු කරන නීති ද නැවත සකස් කර ඇති අතර, නව වාර්තාකරණ සීමාවන් පැනවීමටත්, හෙග්සෙත්ගේ 'නුසුදුසු' ඡායාරූප ලබා ගත් ඡායාරූප මාධ්‍යවේදීන්ට තහනම් පැනවීමටත් කටයුතු කර ඇත.
නමුත් ඇමෙරිකානු හමුදාව පිළිබඳ ඔහුගේ දැක්ම මෙන් ම සටනකින් පසුබසින අයෙකු නොවන බව පෙන්වීමට ආරක්ෂක ලේකම්වරයා උත්සහ කර තිබේ.
පසුතැවිලි නොවන පෙරගමන්කරුවා
මැදපෙරදිග පුරා අඛණ්ඩව ගැටුම් පවතින විට, ඉරාන පාසලකට එල්ල කරන ලද ප්‍රහාරයකට එක්සත් ජනපදයේ මැදිහත්වීමක් ඇති බවට හෙග්සෙත්ට ප්‍රශ්න මතුවෙමින් තිබේ.
ඉරාන නිලධාරීන් පවසන පරිදි ළමුන් 110ක් පමණ ඇතුළුව පුද්ගලයින් 168 දෙනෙකු ඝාතනය කරමින් මාර්තු 12 වන දින ඉරානයේ ප්‍රාථමික පාසලකට එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව පිළිතුරු ඉල්ලා, එක්සත් ජනපද සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් හෙග්සෙත් වෙත ලිපියක් යොමු කළහ.
එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුම ආරම්භයේදී නොදැනුවත්ව පාසලට පහර දීමට ඇමෙරිකානු හමුදා වගකිව යුතු යැයි එක්සත් ජනපද හමුදා විමර්ශකයින් විශ්වාස කරන නමුත් ඔවුන් අවසන් නිගමනයකට පැමිණ නැතැයි එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර ඇත.
පෙන්ටගනය ප්‍රකාශ කළේ තමන් සෙනෙට් සභිකයන්ට ඍජුව ම පිළිතුරු ලබා දෙන බව ය.
ප්‍රහාරය පිළිබඳව බීබීසී පුවත් සේවය කළ විමසීමකදී හෙග්සෙත් පැවසුවේ, එක්සත් ජනපදය සිවිල් වැසියන් ඉලක්ක නොකරන බව සහ අදාළ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ය.
යම් හෙයකින් ඇමෙරිකානු මැදිහත්වීම තහවුරු වුවහොත්, එය දශක ගණනාවක් පුරා මැදපෙරදිග පැවති ඇමෙරිකානු ගැටුම්වලදී සිවිල් වැසියන් වැඩි ම පිරිසක් මියගිය දරුණුතම තනි සිදුවීමක් වනු ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදපෙරදිග මෙතෙක් සිදු කළ විශාලතම මිලිටරි ක්‍රියාමාර්ගයේ ප්‍රසිද්ධ මුහුණ ලෙස, පීට් හෙග්සෙත්ගේ මාධ්‍ය කුසලතා ඉස්මතු වී තිබේ.
ප්‍රවේශම්සහගත, ප්‍රවීණ යෙදුම් භාවිත කළ ඔහුගේ පූර්වගාමීන් මෙන් නොව හෙග්සෙත් පෙනී සිටින්නේ, ලොව බලවත් ම හමුදාවේ නොසැලෙන පෙරගමන්කරුවෙකු ලෙස ය.
පසුගිය වසරේ යුද ලේකම් ලෙස නැවත නම් කරන ලද කැබිනට් ධූරය හොබවන ඔහු, තමා පරාජය කළ නොහැකි ඇමෙරිකානු බලය සහ රණශූර සදාචාරය නියෝජනය කරන බව පෙන්වයි.
"ඔහු කතා කරන ආකාරයෙහි යම්කිසි පුරුෂාධිපත්‍යමය ස්වරූපයක් තිබෙනවා, එය ඔහු තමා ගැන පෙන්වන පොදු ප්‍රතිරූපයේ කොටසක්," යනුවෙන් ඇමෙරිකානු ආරක්ෂක ව්‍යාපෘති චින්තන පර්ශදයේ ප්‍රධාන විධායක මැතිව් වොලින් බීබීසී පුවත් සේවයට පැවසීය.
හෙග්සෙත්ගේ විශ්වාසය සහ දැඩි මතය නිශ්චිතභාවය සොයන ඇමෙරිකානුවන්ට ආකර්ෂණීය විය හැකි බව ඔහු පවසයි.


































