ඉන්ධන නිකුත් කිරීම හෙට සිට 'ඔත්තේ - ඉරට්ටේ ක්‍රමයට': එය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 4
මැදපෙරදිග යුද්ධය හේතුවෙන් මෙරට තෙල් සංචිත කළමනාකරණය කර ගැනීමේ අරමුණින් ජනතාව වෙත ඉන්ධන නිකුත් කිරීමට ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේතය යටතේ සිදුවෙමින් පවතී.
එම ක්‍රමය ආරම්භ කිරීමත් සමගම බොහෝ ගැටලු ඇති වී තිබුණ ද මේ වන විට එම ගැටලුවලට පිළියම් ලැබෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත්" දිනෙන් දින දිගුවන ඉන්ධන පෝලිම්වල අඩුවක් දැක ගැනීමට නොමැති අතර ඇතැම් ඉන්ධන හල් අසල ඉතා දිගු පෝලිම් තවමත් දැක ගත හැකි ය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය අලුත් ම පියවරක් ගැනීමට තීරණය කර තිබේ.
ඉන්ධන නිකුත් කිරීම ඔත්තේ, ඉරට්ටේ ක්‍රමයට
දැනට හඳුන්වා දී ඇති QR ක්‍රමවේදයට අමතරව රජය විසින් මාර්තු 19 වන දා සිට ජනතාව වෙත ඉන්ධන නිකුත් කිරීමට තවත් අලුත් ක්‍රමයක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
ඒ අනුව QR කේතයට ඉන්ධන නිකුත් කිරීමේදී වාහන අංකයේ අවසාන අංකය 0,2,4,6 සහ 8 නම් ඉරට්ටේ දිනවලත්, 1,3,5,7 සහ 9 යන අංක ඔත්තේ දිනවලත් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පැවසීය.
"දිනය ඔත්තේ දිනයක් නම්, උදහරණයක් හැටියට අද 18, අද ඉරට්ටේ දවසක්. ඔබේ වාහනයේ අවසාන අංකය ඉරට්ටේ අංකයක් හෝ බිංදුව නම් අද ඔබට තෙල් ලබා ගන්න පුළුවන්. හෙට තෙල් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔත්තේ අංකවලට විතර යි. ඔත්තේ කියලා කියන්නේ, 1,3,5,7,9 කියන අංක නම් ඔබේ වාහනයේ අවසාන අංකය, හෙට 19, හෙට ඔත්තේ දිනයක් එතකොට 1,3,5,7,9 කියන වාහනවලට විතර යි හෙට තෙල් ලබා දෙන්නේ."
ඉන්ධන පිරවුම් හල් අසල ඇති දිගු පෝලිම් අඩු කිරීම සඳහා මෙම ක්‍රමය හඳුන්වා දුන් බව ද සභාපතිවරයා කියා සිටියේ ය.
කෙසේ වෙතත්, මෙම ක්‍රමවේදය යටතේ ද ඉන්ධන ලබා දෙනු ලබන්නේ QR කේතය යටතේ පමණක් බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපතිවරයා අවධාරණය කළේ ය.
රජය නිකුත් කරන වාහන අංක තහඩු නැති අයට පණිවිඩයක්
මේ අතර, වාහන අංක තහඩු ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමේදී වාහනයේ අනන්‍යතාව නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේදී වාහන ආදායම් බලපත්‍රය හෝ වාහනයේ ලියාපදිංචි සහතිකය හෝ වාහන රක්ෂණ සහතිකය හෝ වාහන දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛනවලින් එකක් ඉදිරිපත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුේන්තුව නිවේදනය කර තිබේ.
ප්‍රසම්පාදන කටයුතු හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ වාහන අංක තහඩු නිකුත් නොකළ අතර, මේ හේතුවෙන් ඇතැම් වාහන හිමියන් විවිධාකාර අංක තහඩු භාවිත කිරීමට පෙළඹී ඇති බැවින් වාහනයේ අනන්‍යතාව නිවැරදිව තහවුරු කර ගැනීම සඳහා ඉහත සඳහන් ලේඛනයක් ඉදිරිපත් කළ හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.
QR කේතයට ලියාපදිංචි වූ පරණ දුරකතනය අංකය නැති අයට දුන් විසඳුම
එමෙන් ම, පරණ වාහනය තමන් සන්තකයේ තිබියදී මීට පෙර QR කේතය සකස් කළ ජංගම දුරකතනය නොමැති වීම නිසා බොහෝ දෙනෙකු අපහසුතාවට පත්ව සිටි අතර ඊට ද විසඳුමක් ලබා දී තිබේ.
එලෙස අපහසුතාවට පත්ව ඇති පිරිස් වෙත QR කේතය සකස් කර ගන්නා ආකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර පැහැදිලි කළේ ය.
"ඔවුන්ට දැන් තමන් අතේ තියන මොබයිල් නම්බර් එකෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒකෙන් රෙජිස්ටර් වෙන්න අවස්ථාව දෙනවා, අවස්ථාව දුන්නා ම ඔබ ලබා දෙන තොරතුරු සහ කලින් තියෙන තොරතුරු සමාන නම් සහ ඒක දැනට රෙජිස්ටර් වෙලා තියෙන රජයේ දත්ත සමග සමාන වෙනවා නම් පැරණි අයිතිකරුට මැසේජ් එකක් යනවා අලුත් කෙනෙක් ඇවිල්ලා මේක වෙනස් කරනවා කියලා. නමුත් ඔබගේ එක අලුත් නම්බර් එකට රෙජිස්ටර් වෙනවා. ඒ මගින් කවුරුහරි වැරදි වැඩක් කරනවා නම් ඒ තොරතුරු යනවා නිවැරදි අයිතිකරු වෙන කෙනෙක් නම් එයාට."
මෙය අදාළ වන්නේ 2023 වසරේ හෝ ඊට පෙර ලියාපදිංචි කරන ලද ජංගම දුරකතන අංක සඳහා පමණක් බව ද කළමනාකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ ය.
QR එකට රෙජිස්ටර් වෙන්න රජයෙන් සහය
මේ අතර රජයේ තොරතුරු කේන්ද්‍රය (GIC) මගින් ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේතය සඳහා ලියාපදිංචි වීමට සහය අවශ්‍ය රථවාහන හිමියන් වෙනුවෙන් විශේෂ WhatsApp සේවාවක් හඳුන්වා දී ඇත.
ඒ අනුව, 076 000 1919 යන WhatsApp අංකය වෙත ඔබගේ වාහන අංකය, ජාතික හැඳුනුම්පත (NIC)/ රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය, වලංගු ආදායම් බලපත්‍රය සහ වාහන ලියාපදිංචි සහතිකය යොමු කරන ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය ඉල්ලා සිටී.
එසේ ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබනුයේ වාහනයේ ලියාපදිංචි හිමිකරු පමණක් බවත් ඉදිරිපත් කරන හැඳුනුම්පත් අංකය, වාහන ලියාපදිංචි සහතිකයේ සඳහන් හිමිකරුගේ අංකය සමග අනිවාර්යයෙන් ම සැසඳිය යුතු බවත් එම අමාත්‍යංශය නිවේදනය කර ඇත.
එලෙස ලබා දෙන සියලු ම පෞද්ගලික දත්ත 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනතට අනුකූලව ආරක්ෂා කරනු ලබන බවත්, දත්ත රැස් කරනුයේ තොරතුරු සත්‍යාපනය කිරීමේ අරමුණින් පමණක් වන අතර, සත්‍යාපනය අවසන් වූ පසු වාහන අංකය හැර අනෙකුත් සියලු ම පෞද්ගලික දත්ත පද්ධතියෙන් ආරක්ෂිතව ඉවත් කරනු ලබන බවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත