ජනාධිපතිවරයා 'සංවේදී රාජ්‍ය තාන්ත්‍රික කරුණු' ප්‍රසිද්ධියේ පැවසීම සුදුසු ද?: එහි බලපෑම් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කුමුදු ජයවර්ධන
- කියවීමේ කාලය: මිනිත්තු 6
ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැද පෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන බලශක්ති අර්බුදය පිළිබඳව මාර්තු 20 වන දා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් ලෝකය පුරා දැඩි අවධානයක් යොමු විය.
එම ප්‍රකාශය මෙසේ ය.
"ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නය... අපෙන් ඉල්ලීමක් කළා මාර්තු 9 සහ 13 කියන දිනවලදී ලංකාවට ගුඩ්විල් විසිට් එකක් එන්න ඕන කියල. සහයෝගිතා වර්ධනය කිරීමේ සංචාරයකට මේ නාවික යාත්‍රා තුන එන්න අවශ්‍ය යි කියල අපෙන් ඉල්ලීමක් කළා. අපි ඒ පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියා, අවසර ලබා දීම පිළිබඳව. මා මේ මොහොතේදි කියන්න කැමති යි ඒ හා සමාන ලෙස ම එදින ම හවස එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටියා... නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන් තොටුපොළට පැමිණෙන්න අවසර දෙන්න කියල."
එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, "අපි ඒ දෙකට ම අවසර ලබා දුන්නේ නැහැ," යනුවෙනි.
ඔහු මෙම ප්‍රකාශය කළේ, දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් හමුවී සාකච්ඡා කළ දිනට පසු දිනයේ ය.
ඉරාන තානාපතිගෙන් පරස්පර කතාවක්
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ඇමෙරිකාවේ ටෝපිඩෝ ප්‍රහාරයකට ලක්වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව ඇතුළු ඉරාන නෞකා තුනකට ඉන්දියාවේ නාවික අභ්‍යාසයට සහභාගීව සිටි අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස මෙරට නාවික හමුදාවෙන් ආරාධනා ලැබී තිබුණු බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ, මාර්තු 23 වන දා කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.
"ඉන්දියාවේ සිටින අතරතුර මේ නෞකාවට සහ තවත් යාත්‍රා දෙකකට ආරාධනා ලැබුණා, මම නැවතත් කියනවා, ශ්‍රී ලංකාවේ පාර්ශවයෙන්, මෙහෙට එන්න කියලා. ඔවුන්ගේ ආරාධනය මත ඔවුන් මෙහි පැමිණියා. මෙහි සිටින අතරතුර ඔවුන්ට එක්සත් ජනපදයෙන් කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් ලැබුණේ නැහැ. ඔවුන් පහර දුන්නේ කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව," ඔහු එහිදී සඳහන් කළේ ය.
ඉරානය පෑ මිත්‍රශීලීත්වය
කෙසේ වෙතත්, මාර්තු 23 වන දා පැවති මාධ්‍ය හමුවේදී ම මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉරාන තානාපතිවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ඕනෑ ම අවස්ථාවක ඉන්ධන ලබා දීමට ඉරානය සූදානම් බව ය.
ශ්‍රී ලංකාව ඉරානයේ මිත්‍ර රටක් බවත් හොමූස් සමුද්‍ර සන්ධිය සිය මිත්‍ර රටවල නෞකා සඳහා වසා දමා නොමැති බවත් ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.
"ශ්‍රී ලංකාව වැනි මිත්‍ර රටවලට අවශ්‍ය සියලු දේ සැපයීමට ඉරානය සැමවිට ම සූදානම්. ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑ ම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ඉල්ලා සිටිනවා නම්, ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබා දෙනවා," ඔහු සඳහන් කළේ ය.
"ශ්‍රී ලංකාව කරදරේ වැටිලා ඉන්නවා දකින්න අපි කැමති නැහැ. ශ්‍රී ලංකාව ජනතාව ඉරානයේ ගෞරවයට පාත්‍ර වෙන රටක්," ඔහු තවදුරටත් පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සහ ඉරාන තානාපතිවරයාගේ ප්‍රකාශය ශ්‍රී ලංකාවට කෙසේ බලපායි ද?
ඇමෙරිකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයට ගෝලීය වශයෙන් දැඩි අවධානයක් යොමු විය.
ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පුවත් පළ කර තිබූ අතර, විවිධ පුද්ගලයින් එම ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කර තිබිණි.
මේ අතර, ජනාධිපතිවරයා එවැනි සංවේදී තොරතුරු ප්‍රසිද්ධියේ කතා කිරීම නුසුදුසු ක්‍රියාවක් බව ඇතැමෙක් සඳහන් කළහ.
'රාජ්‍ය තාන්ත්‍රික කරුණු සමාජයේ සාකච්ඡා කළ යුතු නැහැ' - මහාචාර්ය ප්‍රසන්න පෙරේරා
ශ්‍රී ලංකාව සිය රාජ්‍ය තාන්ත්‍රික කරුණු මහජන වේදිකාවේ සාකච්ඡා නොකළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව අතීතයේ සිට ම නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, වත්මන් තත්ත්වය තුළ ඇමෙරිකාව මෙන් ම ඉරානය ද සමග මිත්‍රශීලීත්වය ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත් බව ය.
රාජ්‍ය තාන්ත්‍රික කරුණු ප්‍රසිද්ධියේ අනාවරණය කිරීම තුළින් වැරදි අර්ථකථන මතු වීමේ අවදානමක් ඇති විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
"අපේ විදේශ ප්‍රතිපත්තිය හැසිරවීමේදී ඉතාමත් ප්‍රවේශම්සහගත වෙන්න ඕනෙ. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පවතින සමහර කරුණු සමාජයේ සාකච්ඡා කිරීම ඒ තරම් හොඳ නැහැ කියන එක මගේ මතය. මොක ද ඒවායින් වැරදි සංඥා යන්නට පුළුවන්. ඒ කියන්නෙ ඒ රටවල් දෙකේ එදිරිවාදිකම්වලට අපි ඉත්තන් වශයෙන් භාවිත විය හැකි යි. ඉතින් ඒක මග හරවා ගන්නට ආණ්ඩුවට දේශපාලනික විඥානයක් තියෙන්නට ඕනෙ. ඒ වගේ සංවේදී කාරණා මහජන වේදිකාවට ගේන එක සුදුසු නැහැ."
'ඇමෙරිකාව සමග මිත්‍රත්වය අතිශය වැදගත්' - මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ජාත්‍යන්තර වෙළෙඳ සහයකයෙකු ලෙස ඇමෙරිකාව ශ්‍රී ලංකාවට අතිශය වැදගත් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.
ඔහු පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව ඇමෙරිකාව සමග වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට වැඩි අපනයන ආදායමක් ලබන අතර ඉරානයෙන් ලබන වාර්ෂික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් බව ය.
ඒ අනුව, ඉරානය සමග පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය ආරක්ෂා කර ගන්නා අතර ම, ඇමෙරිකාව සමග අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කිරීම අතිශය වැදගත් බව ඔහුගේ අදහස යි.
"අපි ඇමෙරිකාව එක්ක අනිවාර්යයෙන් ම සහයෝගයෙන් කිට්ටුවෙන් කටයුතු කළ යුතු වෙනව මොක ද, ඇමෙරිකාවට අනිත් පැත්තෙන් තියෙනව විශාල හැකියාවක් ජාත්‍යන්තර ආයතනවලට බලපෑම් කරන්නත්. විශේෂයෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේ ආයතනවලටත් බලපෑම් කරන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක හැසිරෙන්න ඕනෙ ආර්ථිකමය වශයෙන් තියෙන බලපෑම සැලකිල්ලට ගනිමින් තමයි. ඇමෙරිකාව සමග අපගේ තියෙන සම්බන්ධකම් අවාසිසහගත තත්ත්වයකට පත්කර ගත යුතු නැහැ."
නොබැඳි ප්‍රතිපත්තියක පිහිටා ජාත්‍යන්තරය සමග කටයුතු කළ යුතු වුවත්, එහිදී ගනු ලබන තීරණ ප්‍රසිද්ධ වේදිකාවේ අනාවරණය කිරීම තුළින් අනවශ්‍ය ගැටලු නිර්මාණය විය හැකි බවට මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ ද අනතුරු ඇඟවීය.
'ශ්‍රී ලංකා රජය සුදුසු ම දේ කළා' - ආචාර්ය අතුලසිරි සමරකෝන්
මේ අතර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් පවසන්නේ, ඇමෙරිකාව සහ ඉරානය සම්බන්ධයෙන් වත්මන් රජය ගත යුතු සුදුසු ම පියවර අනුගමනය කළ බව ය.
ඔහු පෙන්වා දුන්නේ, අදාළ රටවල් දෙකේ ම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම හරහා රජය සිය නොබැඳි ප්‍රතිපත්තිය අනුව කටයුතු කර ඇති බව ය.
මේ අතර, ජනාධිපතිවරයා අදාළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ගැටලුවක් නොවන බව ඔහුගේ අදහස යි.
"ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී මොන ස්වරයෙන් කතා කළත්, රටවල් දෙකේ නියෝජිතයින් එක්ක කතා කරද්දී ඉතා ම අවබෝධයකින් කතා කරන්න ඇති. ඒ නිසා නේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ගැන ඇමෙරිකාව පැත්තෙන් කිසි ම ප්‍රශ්න කිරීමක් ආවෙ නැත්තේ."
ආචාර්ය අතුලසිරි සමරකෝන් පැවසුවේ, ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින යුද්ධයට ශ්‍රී ලංකාව ඇතුළු කලාපය සම්බන්ධ කර ගැනීමට ඉඩ නොදීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇති බව ය.
ඉන්දියාව ද එවැනි ස්ථාවරත්වයක සිටින බව ඔහු පෙන්වා දුන්නේ ය.
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සමග සාකච්ඡාවක නිරත වූ බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ (මාර්තු 24) සඳහන් කළේ ය.
ඔහු තැබූ සටහනෙහි සිංහල දළ පරිවර්තනය මෙසේ ය.
'ජනාධිපති අනුර කුමාර දිසානායක සමග කතා කළ අතර බටහිර ආසියාවේ විකාශනය වන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර, විශේෂයෙන් ගෝලීය බලශක්ති ආරක්ෂාවට බලපාන බාධාවන් කෙරෙහි අවධානය යොමු කළෙමු.
ඉන්දියා-ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ප්‍රධාන මුලපිරීම්වල ප්‍රගතිය අපි සමාලෝචනය කළෙමු.
සමීප සහ විශ්වාසදායක හවුල්කරුවන් ලෙස, අභියෝගවලට මුහුණ දීමේදී සමීපව එක්ව කටයුතු කිරීමට අපගේ කැපවීම අපි නැවත තහවුරු කළෙමු.'
මේ අතර, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිසංකර් සහ මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් අතර ද සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඇමෙරිකාව සහ ඉරානය සමග ශ්‍රී ලංකාව සිදුකරන අපනයන ගනුදෙනු
ඉහත රටවල් දෙක පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී ශ්‍රී ලංකාව වැඩි ම අපනයන ආදායමක් ලබන්නේ, ඇමෙරිකාවෙනි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 2025 වසරේ නිකුත් කර ඇති වාර්තාව අනුව, 2024 වසරේදී ශ්‍රී ලංකාව ඇමෙරිකාවට අපනයනය කළ භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2909.97කි.
පසුගිය වසර 5ක කාලය තුළ වැඩි ම අපනයන ආදායමක් ලබා ඇත්තේ, 2022 වසරේදී ය. එහි අගය ඇමෙරිකානු ඩොලර් මිලියන 3319.85කි.
මේ අතර, 2024 වසරේදී ඉරානයට අපනයනය කර ඇති භාණ්ඩ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 67.81කි.


































