රුසියාවේ බලශක්ති නියෝජ්‍ය ඇමති ශ්‍රී ලංකාවට ආවේ ඇයි? සාකච්ඡා කළේ මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින්
කියවීමේ කාලය: මිනිත්තු 4

රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින් ඇතුළු තිදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සදහා ඊයේ (මාර්තු 26) මෙරටට පැමිණියහ.

මැද පෙරදිග යුද වාතාවරණය නිසා මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය තුළ මෙරටට අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීමේ අරමුණ ද සහිතව සිදුවූ රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සංචාරය බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.

රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින් ඇතුළු දූත පිරිස ඊයේ (මාර්තු 26) දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අතර ඊට පෙර බලශක්ති අමාත්‍යංශයේ නිලධාරින් සමග ද සාකච්ඡා කළහ.

රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබා ගැනීමට අවධානය

ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට සමීපතම මිත්‍ර රටක් වන රුසියානු සමූහාණ්ඩුවෙන් ඛනිජ තෙල් හා ගල් අඟුරු ලබා ගැනීමට ගත් උත්සහයේ ප්‍රතිඵලයක් ලෙස ඒ පිළිබඳව තවදුරටත් කරුණු සොයා බැලීම හා අවශ්‍ය එකඟතා ඇති කර ගැනීම පිණිස රුසියාවේ නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂාවින් ප්‍රමුඛ රුසියානු දූත පිරිස සමග සාකච්ඡා පැවැත්වූ බව ය.

මුදල් අමාත්‍යංශයේදී පැවති එම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය මුදල් හා කම්කරු අමාත්‍ය අචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ප්‍රමුඛ පිරිසක් එක්වූ බව සඳහන් විය.

බලශක්ති අර්බුදය විසඳා ගැනීම පිණිස කෙටි කාලීන විසඳුම් අවශ්‍යතා මෙන් ම රටවල් දෙක අතර බලශක්ති සබඳතා තර කර ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, බොරතෙල් සැපයුම මෙන් ම පෙට්‍රල්, ඩීසල් හා ගුවන් යානා ඉන්ධන වැනි පිරිපහදු කළ ඉන්ධන සැපයීමට ඇති හැකියාවත් රුසියානු පාර්ශවයෙන් ප්‍රකාශ වූ බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන් විය.

තව ද මෙරට කෘෂි කර්මාන්තයට අත්‍යවශ්‍ය පොහොර ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා පවත්වා ඇත.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ගැන සාකච්ඡා කළා ද?

බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය අක්‍රම් ඉල්ලෙයාස් කියා සිටියේ, රුසියානු දූත පිරිස සමග සිදුකළ සාකච්ඡාව එලදායී එකක් වූ බව ය.

"මේ සාකච්ඡාවේදී රටවල් දෙකේ ම නියෝජිතයින් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් ගැන අවධානය යොමු කළා.

විශේෂයෙන් ම, දැන් පවතින බලශක්ති අර්බුදයට විසඳුම් විදිහට රුසියාවෙන් අපිට ලබා දෙන්න පුළුවන් කෙටි කාලීන විසඳුම් ලබා ගැනීම ගැන අවධානය යොමු කළා.

ඒ වගේ ම රුසියාවේ බොර තෙල් වර්ග කිහිපයක් තියෙනවා. අපේ සපුගස්කන්ද පිරිපහදුවට ලබා ගන්න පුළුවන් බොර තෙල් මොනව ද කියන එක ගැනත් අපි මෙතැනදී අවධානය යොමු කළා," නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

මීට වසර කිහිපයකට පෙර රුසියාව, ශ්‍රී ලංකාවේ විදුලි බල ගැටලුවට පිළියම් ලෙස න්‍යෂ්ටික විදුලි බලාගාරයක් ඉදිකිරිම පිළිබඳව ගෙනා යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (මාර්තු 26) පැවති හමුවේදී අවධානය යොමු කළේ ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"රැස්වීමේදී එහෙම න්‍යෂ්ටික ගැන සාකච්ඡා කළේ නැහැ. නිකම් ප්‍රොප්‍රෝසල්ස් තියෙනවා නේ. ඒ ගැන නිකම් කතා වුණා. "

'ඇණවුම් සම්බන්ධයෙන් අද තීරණය කරනවා'

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් අද (මාර්තු 27) දිනයේදී සාකච්ඡා පවත්වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂක මයුර නෙත්තිකුමාරගෙන් සිදුකළ විමසිමදී ඔහු කියා සිටියේ, පිරිපහදු කරන ලද ඉන්ධන මෙරටට ලබා දීමට රුසියාව එකඟ වී ඇති බව ය.

"රුසියාවෙන් එකඟ වෙලා තියෙනවා අපිට පිරිපහදු කරපු ඉන්ධන දෙන්න. ඒ ගැන අද (මාර්තු 27) සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවේදී තීරණය කරනවා කොච්චර ඉන්ධන ප්‍රමාණයක් ඇණවුම් කරනව ද කියන එක ගැන," ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, ඕනෑ ම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින් අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

'ශ්‍රී ලංකාවට ඕනෑ ම මොහොතක සහය දෙනවා'

මැද පෙරදිග යුදමය තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදු වන ඕනෑ ම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින් අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (මාර්තු 26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මනා අවබෝධයක් රුසියාවට පවතින බවත්, එහිදී බලශක්ති ක්ෂේත්‍රය තුළ පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ආදී ඕනෑ ම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහය වීමට සූදානම් බවත් මෙහිදී රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පොරොන්දු වී තිබේ.