අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී අසභ්‍ය ඇඟවුමක් කළ බවට විපක්ෂයෙන් චෝදනා: අධිකරණ ඇමතිගේ ප්‍රතිචාරය කුමක් ද?

Minister of Justice Harshana nanayakkara

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | HARSHANA NANAYAKKARA

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

පසුගිය සිකුරාදා (මාර්තු 20) දින පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කර විසින් අසභ්‍ය අභිනයක් පෙන් වූ බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා විසින් චෝදනා කළේ ය.

ඒ එම මන්ත්‍රීවරයා විසින් යොමු කළ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සති දෙකක කාලයක් ඉල්ලීමෙන් පසුවයි.

සිදුවූයේ කුමක්ද?

අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර තමන් වෙත යොමු කරන ලද ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා සති දෙකක කාලයක් ඉල්ලා සිටීමෙන් පසුව විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා එයට විරෝධය දැක්වූ අතර, එහිදී සභානායක බිමල් රත්නායක විසින් ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කරන අතරතුර මෙම සිදුවීම සිදු වී තිබේ.

කැමරාව සහ මයික්‍රෆෝනය සභානායකවරයා වෙත යොමුව තිබියදී විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් විරෝධය දක්වන ආකාරය පසුබිමින් ඇසෙයි.

එහිදී ඔවුහු අධිකරණ අමාත්‍යවරයා විසින් අසභ්‍ය අභිනයක් සිදු කළ බවට චෝදනා කරන අතර වහාම සමාව ගන්නා ලෙස ඉල්ලා සිටිති.

ඔවුන් එය කතානායකවරයාගේ අවදානයට යොමු කරන අතර, කතානායකවරයා "ගරු මන්ත්‍රීතුමා, කිසි කෙනෙකුට මයික් එක ලබාදීලා නෑ, ඔබතුමාට පොයින්ට් එකකුත් නෑ," යනුවෙන් පවසයි.

ඉන්පසුව නැවතත් මන්ත්‍රී අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් කියන්නේ සිටින්නේ "එතුමා පාර්ලිමේන්තුවේ අපහාසාත්මක අභිනයක් කළා," යනුවෙනි.

"සභාවේ මයික් එක නැතුව කතා කිරීම තුළදී සංවාද තුළ මේකක් නෑ ගරු මන්ත්‍රීතුමා, ඒවා හැන්සාඩ් වෙන්නෙත් නෑ... කිසිම මේකක් නෑ. ඔය විදිහට හැසිරෙන්නේ නැතුව ඉන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා," යනුවෙන් කතානායකවරයා එහිදී පැවසුවේ ය.

මෙම සිදුවීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සිට සිය ෆේස්බුක් ගිණුමේ සජීවී වීඩියෝවක් පළ කරමින් මන්ත්‍රී අජිත් පී. පෙරේරා චෝදනා කරන්නේ අධිකරණ අමාත්‍යවරයා 'සිය මැදගිල්ල පෙන්වමින් සහ ඔහුගේ දිව එළියට දමමින්' අසභ්‍ය අභිනයක් සිදු කළ බව ය.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරන බව විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මාධ්‍ය වෙත පවසා තිබේ.

මේ අතර අධිකරණ අමාත්‍යවරයාගේ ඥාතියෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන වාසුදේව නානායක්කාර ද වරක් පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචනයක් පැවසීම සමාජයේ දැඩි අවධානයකට ලක් විය.

'අභිනයක් හැන්සාඩ් වාර්තාවට ඇතුළත් වීමක් වෙන්නේ නැහැ'

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ එම්. ජයලත් පෙරේරාගෙන් ද මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් විමසීමක් සිදු කරන ලදී.

"මූලාසනය විසින් මයික්‍රෆෝනය ලබා දී ඇති මන්ත්‍රීවරු ප්‍රකාශ කරන දේවල් පමණයි හැන්සාඩ් ගත වෙන්නේ. එහෙම නැතුව මයික්‍රෆෝනය ලබා දී නැතුව, මන්ත්‍රීවරු කියන සියල්ල හැන්සාඩ් වාර්තාවට යන්නේ නෑ. ඒ වගේම කතා කිරීමේදී මන්ත්‍රීවරුන්ගේ අභිනයක් හැන්සාඩ් වාර්තාවට ඇතුළත් වීමක් වෙන්නේ නැහැ. ඔය කතිකාව ඇතිවෙලා තියෙන සිදුවීම ගත්තොත් ඒ අවස්ථාවේ අදාළ ඇමතිතුමාට මූලාසනය විසින් මයික්‍රෆෝනය ලබාදීලා නොතිබූ වෙලාවක තමයි ඔය සිදුවීම වෙලා තියෙන්නේ. ඒ වගේ සිදුවීමක් ගැන කවුරුහරි පැමිණිලි කළොත් කතානායකතුමාට සුදුසු තීරණයක් ගන්න පුළුවන්," ඔහු පැවසුවේ ය.

'තීරණයක් ගැනීමේ බලය තිබෙන්නේ කතානායකවරයාට'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මේ අතර බීබීසී සිංහල විසින් සිදු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය අතුල විතානවසම් පැවසුවේ ශ්‍රී ලංකාවේ අනුගමනය කරන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය බව ය.

"1931දී පටන් අපේ තිබුණේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය. 1947 කැබිනට් ආණ්ඩුක්‍රමය හඳුන්වා දීමෙන් පසුවත් ඒ විදිහට ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අපි පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා," ඔහු පැවසීය.

"ඒ අනුව යම් කිසි මන්ත්‍රීවරයෙකු හෝ කණ්ඩායමක් විසින් අසභ්‍ය වචන හෝ අභිනයන් සිදු කරමින් පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන පරිදි හෝ කටයුතු පවත්වාගෙන යාමට නොහැකි ලෙස හැසිරෙනවා නම් කතානායකවරයාට පුළුවන් ඔවුන්ට අවවාද කරන්න. එතනින් නවතින්නේ නැති නම් ඔවුන්ව එතනින් ඉවත් කිරීම හෝ ටික කාලයකට පාර්ලිමේන්තු පැමිණීම නවත්වන්න පුළුවන්," ආචාර්යවරයා කියා සිටියේ ය.

කෙසේවෙතත් ඔහු කියා සිටියේ ඒ සඳහා තීරණ ගැනීමේ බලය පවතින්නේ කතානායකවරයාට බව ය.

"වෙනත් මන්ත්‍රීවරයෙකුට පුළුවන් ඒ සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානයට යොමු කරන්න. නමුත් ඒ සම්බන්ධයෙන් ඒ මොහොතේ තීරණය කරන්නේ කතානායකවරයා. කතානායකවරයා නැති නම් නියෝජ්‍ය කතානායක හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති විසින්."

'මගේ ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට ම දක්වන්නම්'

මේ අතර මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගෙන් බීබීසීය කළ විමසීමට "මම මොකුත් ම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ, එයාලට කියන්න දෙයක් තියෙනවා නම් පාර්ලිමේන්තුවට කියන්න කියන්නකෝ. පැමිණිලි කරලනේ තියෙන්නේ. මගේ ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට ම මම දක්වන්නම්." යනුවෙන් කියා සිටියේය.