නීතිඥවරයෙකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ මීගමුව හිටපු පොලිස් ස්ථානාධිපති වුට්ලර් උදයකුමාර ඇතුළු දෙදෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

ශ්‍රේෂ්ඨාධිකරණය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

2017 වසරේ පවුල් ආරවුල් සිද්ධියකට භාජනය වූ පාර්ශවයක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයකුගේ වෘත්තීය කටයුතුවලට අවහිර කිරීම තුළින් එවක මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කළ වුට්ලර් උදයකුමාර සහ එම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති මදුශංක ඩයස් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව අදාළ නීතිඥවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වුට්ලර් උදයකුමාර විසින් රුපියල් 60000 ක් සහ මධුශංක ඩයස් විසින් රුපියල් 30000ක් සිය පුද්ගලික මුදල් වලින් ගෙවිය යුතු යැයි නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අමතරව එම වගඋත්තරකරුවන් දෙදෙනා රුපියල් 10000 බැගින් පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවිය යුතු බවත් නියෝග කර සිටියේය.

නීතිඥවරයෙකු වන ප්‍රියලාල් චමින්ද සිරිසේන විසින් ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබිණි.

ඒ අනුව ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන බහුතර විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

අගවිනිසුරුවරයාගෙන් වෙනම තීන්දුවක්

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු වන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන වෙනම තීන්දුවක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම නඩු කරය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් තහවුරු නොවන බවයි.

ඒ අනුව තමා එම පෙත්සම නිශ්ප්‍රභ කරන බවත් අගවිනිසුරුවරයාගේ තීන්දුවේ සඳහන් වෙයි.

මෙම නඩුකරයට අදාළ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා 2017 වසරේ නොවැම්බර් මස පවුල් ආරවුලක් සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ පැවති පැමිණිලි විභාගයට පෙත්සම්කාර නීතිඥවරයා එහි ගොස් ඇති අතර එම නීතිඥවරයා කාන්තාවකගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට තිබෙන බව සඳහන් කළේය.

එම අවස්ථාවේදී වග උත්තරකාර පොලිස් නිලධාරීන් අදාළ පැමිණිල්ලට සම්බන්ධ පාර්ශවකරුවන් පමණක් කාමරයට තුළට ගෙන පෙත්සම්කාර නීතිඥවරයාට පිටත රැඳී සිටින ලෙස නියම කර තිබෙන බවත් ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සමේ චෝදනා කර තිබේ.

මෙම ක්‍රියාව හරහා වගඋත්තරකාර පොලිස් නිලධාරින් සිය නීතිඥ වෘත්තිය ඉටුකිරීමට බාධාවක් කර ඇති බවත් ඒ තුළින් සිය වෘත්තිය ඉටුකිරීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා පෙත්සම්කාර නීතිඥවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

සිද්ධිය කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම පැමිණිලි විභාගය පැවැති අවස්ථාවේ වුට්ලර් උදයකුමාර නමැති වගඋත්තරකරු,"මේ වගේ කුරුලු කූඩු කැඩිල යන්නේ දෙමව්පියෝ නිසා. ඒ වගේම නීතිඥයෝ නිසා. මේ නීතිඥයන්ට දිට්ඨ ධම්මවේදනීය කර්මය ඵල දෙන්න ඕන." යනුවෙන් ප්‍රකාශ කළ බව පෙත්සම්කරු චෝදනා කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එහෙත් වගඋත්තරකාර වුට්ලර් අධිකරණයට ඉදිරිපත් කළ සිය විරෝධතා වලින් සඳහන් කර තිබුණේ, පොලිසියට ඉදිරිපත්ව තිබූ පැමිණිල්ලේ පාර්ශවකරුවන් තරුණ යුවළක් බවත් විවාහ ආරවුල් සාමකාමීව විසඳා ගැනීමට උත්සාහ කළ යුතු බවත් තමන් ප්‍රකාශ කළ බවයි.

මෙහිදී පෙත්සම්කාර නීතිඥවරයාගේ වෘත්තීය කටයුතු ඉටු කිරීම සඳහා බාධා නොකළ බවත් වගඋත්තරකරු ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා ප්‍රමුඛ බහුතර විනිසුරු මඩුල්ල සඳහන් කර තිබෙන්නේ 2012 වසරේ මැයි මස 18 වැනිදා පොලිස්පතිවරයා විසින් නිකුත් කළ 1758/36 දරන අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් රාජකාරී කටයුත්තක් සඳහා පොලිස් ස්ථානයකට ඇතුළු වන නීතිඥයෙකුට සුහදව සහ ආචාරශීලීව සැලකිය යුතු බව සඳහන් කර ඇති අතර සංවරව හා ඉවසිලිවන්තව ඔවුන්ට සවන් දිය යුතු බව එහි සඳහන් කොට ඇතැයි පෙන්වා දුන්නේය.

මේ තුළින් නීතිඥවරයෙකුට සිය සේවා දායකයා නියෝජනය කිරීමට තිබෙන අයිතිය පිළිගෙන තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව වග උත්තර කරුවන් විසින් පෙත්සන්කරුව සුහදව සහ ආචාරශීලීව පිළිගැනීමට යුතුව තිබූ බවත් තීන්දුවේ සදහන් වෙයි.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් පැමිණිල්ල සිවිල් ආරවුලක් බවත් එවැනි පැමිණිල්ලක් පවත්වාගෙන යාමට වග උත්තරකරුවන් කටයුතු කළේ කෙසේද? යන්න ප්‍රශ්නාර්ථයක් බවත් තීන්දුවේ සඳහන් වෙයි.

මෙම ක්‍රියාව තුළින් වග උත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) උ ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි තීන්දු කළ බහුතර විනිසුරු මඩුල්ල ඒ අනුව මෙම නියෝග ප්‍රකාශයට කෙරුණි.