ඔබේ දරුවන්ගේ නොනවතින සමාජ මාධ්‍ය ස්ක්‍රෝල් කිරීම අවසන් කිරීමට හැකි ක්‍රම 5ක්

A girl stares down at a phone screen

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, එමර් මොරෝවු
    • Role, ව්‍යාපා‍රික වාර්තාකරු
  • කියවීමේ කාලය: මිනිත්තු 5

ඔබ මවක හෝ පියෙකු නම් මෙටා සහ ගූගල් සමාගම් විසින් මානසික සෞඛ්‍යයට හානි වන අයුරින් ඇබ්බැහි කරවන සුළු සමාජ මාධ්‍ය වේදිකා හිතාමතා ම නිර්මාණය කර ඇති බවට මෑතකදී ඇමරිකානු අධිකරණයක් ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිවීමට ඉඩ තිබේ.

එම නඩුකරයේදී කේලි නමැති තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තර්ක කළේ ඉන්ස්ටග්‍රෑම්හි 'නොනවතින ස්ක්‍රෝල් කිරීම' වැනි විශේෂාංග පරිශීලකයින් එයට ඇබ්බැහි කරවීම සඳහා ම නිර්මාණය කර ඇති බව යි.

මෙම අධිකරණ තීන්දුව සමාජ මාධ්‍ය සමාගම් සම්බන්ධයෙන් ලැබූ "විප්ලවීය වෙනසක්" ලෙස පැසසුමට ලක් කෙරුණ ද තම දරුවන්ගේ දුරකථන භාවිතා කිරීමේ කාලය අඩු කිරීමට උත්සාහ කරන ලොව පුරා සිටින මව්පියන්ට එය එතරම් ප්‍රායෝගික නොවේ.

කෙටි කාලයක් සඳහා වුව ද, ඔවුන්ගේ දරුවන්ගේ අතින් එම දුරකථන ඉවතට ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ උපදෙස් ලබා දිය හැකිදැයි අපි විශේෂඥයින් කිහිප දෙනෙකුගෙන් විමසා සිටියෙමු.

1. සුලුවෙන් ආරම්භ කරන්න, ප්‍රායෝගික වෙන්න

තම දරුවන්ට දැනටමත් ටැබ්ලට් හෝ ස්මාර්ට්ෆෝන් ලබාදී ඇති මව්පියන් බොහෝදෙනෙකු ඔවුන්ගෙන් ඒවා ඉවත් කිරීම හොඳ ම දේ බව සිතිය හැක. නමුත් එය වඩාත් ම ඵලදායී විකල්පය නොවිය හැකි බව ළමා මනෝවිද්‍යාඥ ආචාර්ය ජේන් ගිල්මෝර් විශ්වාස කරයි.

"පුරුද්දක් වෙනස් කරන්න යන එක හැම වෙලාවෙම අමාරු දෙයක් වෙන්න පුළුවන්," ඇය පවසයි. තිරයක් ඉදිරියේ ගත කරන කාලය (screen time) පිළිබඳ වාද විවාද ඇති වන උණුසුම් මොහොතක නොව, සාමාන්‍ය සන්සුන් මොහොතක මෙම වෙනස්කම් සිදු කිරීමට ඇය නිර්දේශ කරයි. "සන්සුන් මනසක් වඩාත් හොඳින් සන්නිවේදනය කරනවා."

තිරයක් ඉදිරියේ ගත කරන කාලය අඩු කිරීම සඳහා සිදු කළ හැකි සුදුසු පළමු පියවරක් වන්නේ උපකරණ තැබීම සඳහා නිවස තුළ අල්මාරියක් වැනි යම් නිශ්චිත ස්ථානයක් නියම කිරීම යි.

"චාර්ජ් කිරීම වැනි කටයුතු සඳහා එක් ස්ථානයක් සූදානම් කරලා තියන්න... එතකොට ෆෝන් එකේ බැටරි අඩු වුණා ම ඒවා චාර්ජ් කරන්න දානවා, එච්චරයි."

2. සහයෝගයෙන් කටයුතු කරන්න

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වැඩිමහල් දරුවන්ට සහ නව යොවුන් වියේ පසුවන්නන්ට නීති රීති පැනවීමට වඩා තිරයක් ඉදිරියේ ගත කරන කාලයේදී ඔවුන් සමග සාකච්ඡාවේ ම කොටසක් වීමෙන් වැඩි ප්‍රතිඵල ලබාගත හැකි බව ළමා මනෝවිද්‍යාඥ ආචාර්ය මේරිහැන් බේකර් පවසයි.

"ඔයා ඔයාගේ යාළුවෝ එක්ක සම්බන්ධ වෙන්නේ මෙතනින් කියලා මට තේරෙනවා. මේවායේ නැති වුණොත් ඔයාට දැනෙන සමාජ පීඩනයත් මට තේරෙනවා. මට ඒක ඇත්තටම තේරෙනවා," වැනි දෙයක් ඔවුන්ට පවසමින් සමාජ මාධ්‍ය වටා ඇති මිතුරන්ගේ බලපෑම තේරුම් ගැනීම නව යොවුන් වියේ පසුවන දරුවන් ඔබේ දිශාව වෙත නතු කර ගැනීමට උපකාරී වන බව ඇය පවසයි.

"ඉතින් අපි අපේ සහ ඔයා නිතර ම දුරකථනයේ ඉන්නේ නැති අවකාශය නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරමු."

ඔබේ දරුවා හෝ නව යොවුන් වියේ පසුවන්නන් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම ඩිජිටල් තිර භාවිතය නියාමනය කිරීම පහසු කරන බව දෙමාපිය පුහුණුකරු ඔලිවියා එඩ්වර්ඩ්ස් පවසයි.

"අපේ දරුවා සමග අපට ශක්තිමත් සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ, මොකද ඒක අපිව සහයෝගීතාවයට සහ කණ්ඩායම් වශයෙන් වැඩ කිරීමට යොමු කරවනවා."

දරුවා අන්තර්ජාලය ඔස්සේ නරඹන දේවල් පිළිබඳව සැබැවින් ම උනන්දුවක් දැක්වීම ද මෙයට ඇතුළත් විය හැකි ය.

3. දුරකථනය භාවිත කරන කාලය ඉගෙනීමේ කටයුතු සිදුකිරීම සඳහා තිබෙන අවස්ථා බවට හරවා ගන්න

සමාජ මාධ්‍යවල වේගයෙන් වෙනස් වන කෙටි කාලීන ආශාවන් සහ ප්‍රවණතා සමග ඉදිරියට යාමට තමන් අරගල කරන බව බොහෝ දෙමව්පියන්ට හැඟෙන නමුත් ඩිජිටල් තිර ඉදිරිපිට ගත කරන කාලය පිළිබඳ විවෘත සාකච්ඡා හරහා වැඩිහිටියන්ට සහ දරුවන්ට එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට අවස්ථාවක් තිබේ.

"ඔයාට මේ වගේ දෙයක් කියන්න පුළුවන්: 'සමාජ මාධ්‍ය වැඩ කරන්නේ කොහොම කියල ද ඔයා හිතන්නේ? මිනිස්සු දිගට ම ඒ දිහා බලාගෙන ඉන්න ඒ ඇප් එක වැඩ කරන්නේ කොහොම කියල ද ඔයා හිතන්නේ? මිනිස්සු වැඩිපුර කාලයක් ඒ මත ගත කරන තරමට ඔවුන් මුදල් උපයන බව ඔයා දන්නවා ද?," ඔලිවියා පවසයි.

"ඔබ දෙදෙනාට ම එකට නැරඹිය හැකි අන්තර්ගතයක් තියෙන්න පුළුවන් වගේ ම 'හරි, ඔයා හිතනව ද ඒක ඇත්තක් කියලා? ඒක ඇත්ත ද නැද්ද කියලා මම හොයාගන්නේ කොහොම ද?' " වැනි මාර්ග ඔස්සේ මව්පියන්ට ප්‍රායෝගිකව තම දරුවන්ට ඩිජිටල් සාක්ෂරතාවය ඉගැන්විය හැකි බව ජේන් ද පවසයි.

4. යහපත් හැසිරීම් පුරුදු කරන්න

දරුවන් තම මව්පියන් අනුකරණය කරන බව රහසක් නොවේ. එබැවින් ඔවුන් තුළ යහපත් ඩිජිටල් තිර පුරුදු දිරිමත් කිරීම දෙමව්පියන්ගේ ද එම පුරුදු හරහා ආරම්භ කළ යුතු ය.

මේරිහැන් දිරිමත් කරන්නේ මෙයට සැහැල්ලු ප්‍රවේශයක් ලබා ගත යුතු බව යි. "අපි හැමෝම මේකට වැරදිකාරයෝ. [මගේ ෆෝන් එකත් එක්ක] තියෙන සම්බන්ධය මීට වඩා හොඳ වෙන්න ඕනේ කියලා මට හිතෙනවා,' වගේ දරුවන් සමග ස්වයං විවේචනාත්මක සංවාදයක නිරත වෙන්න.

දුරකථන සහ ටැබ්ලට් පරිගණක මගින් සියලුම වයස්වල පුද්ගලයින්ට විනෝදාස්වාදය සඳහා නිරන්තර ප්‍රවේශය ලබා දී ඇති නමුත් ජේන් පවසන්නේ වැඩිහිටියන්ට සහ ළමයින්ට තරමක් කම්මැලි වීමෙන් ප්‍රයෝජන ගත හැකි බව යි.

"ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න එකෙන් අපි නිරන්තරයෙන් බාහිර ලෝකය දෙස අවධානය යොමු කරනවා. අපි අපේ ඇතුළ දිහා හැරී බලනකොට, ඒක අපිට අතීතය ගැන සිතීමට, අනාගතය ගැන සිතීමට සහ නිර්මාණශීලීත්වය දිරිමත් කිරීමට උපකාරී වෙනවා."

"ඉතින් ඔබේ දරුවන් 'කරන්න කිසිවක් නැහැ කියමින් විරෝධය දක්වන විට ඔවුන් හිස් අවකාශය දෙස බලාගෙන ඉන්නවා ඒක ගැටලුවක් නැහැ. ඇත්තටම ඒක ධනාත්මක දෙයක්."

5. කලබල නොවන්න

මව්පියන් වීම කිසිදිනෙක පහසු කර්තව්‍යක් නොවේ. නමුත් සෑම තැනක ම ඩිජිටල් තිර පවතින කාලයක ඒවා අපට බලපාන්නේ කෙසේදැයි අප තවමත් ඉගෙන ගනිමින් සිටින අතරතුරේ ම දරුවන් හදාවඩා ගැනීම ඉතා කණස්සල්ලට කරුණක් විය හැකි ය.

එසෙක්ස් විශ්වවිද්‍යාලයේ ඩිජිටල් සන්නිවේදනය පිළිබඳ පරිශීලනය කරන්නෙකු වන ආචාර්ය ටෝනි සැම්ප්සන් පවසන්නේ දෙමාපියන් අනවශ්‍ය ලෙස බියට පත්වීමේ උගුලට හසු නොවිය යුතු බව යි.

"කණස්සල්ලට පත්වන දෙමාපියන් මාධ්‍ය භීතියකට හසු වෙලා, නව යොවුන් වියේ දරුවන්ගේ මොළය සමාජ මාධ්‍යවලට ඇබ්බැහි වෙලා තියෙනවා කියලා දැකීමේ ප්‍රවණතාවක් තිබෙනවා," ඔහු පවසයි.

නමුත් දරුවන්ට සහ යොවුන් වියේ පසුවන්නන්ට ඔවුන්ගේ මොළය වැඩිහිටියන්ගේ මොළයට වඩා අනුවර්තනය වීමට සහ යථා තත්ත්වයට පත් වීමේ හැකියාවෙන් යුක්ත 'නියුරෝප්ලාස්ටිසිටි' (neuroplasticity) පවතී.

"සමාජ මාධ්‍ය මගින් අවධානය බිඳ දමන ආකාරය ගැන අපි බොහෝ දේ කියවනවා," ඔහු පවසයි.

"[නමුත්] සමාජ මාධ්‍ය අපගේ අවධානය කෙටි හෝ දුර්වල කරන්නේ නැහැ. ඒක අපේ අවධානය ආකර්ෂණය කරගෙන ඒක වාණිජ අන්තර්ගතයක් වෙත යොමු කරනවා."

"නිර්මාණශීලීත්වය, ගවේෂණය සහ ඉගෙනීම සඳහා නියුරෝප්ලාස්ටිසිටි ඉහළ නැංවීමට ධනාත්මක තාක්ෂණික භාවිතය උපකාරී වෙන්න පුළුවන්."