'මෙච්චර පොඩි කාලෙදි මෙහෙම කෙනෙක් මම කවදාවත් දැකලා නෑ': පන්දු 15 කින් අර්ධ ශතකයක් වාර්තාකළ 15 හැවිරිදි වයිභව් සූර්යවංශි

Vaibhav Suryavanshi played a fiery innings in the IPL match played on Monday.

සඳුදා පැවති IPL තරඟයේදී වෛභව් සූර්යවංශි ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළේය.

ඡායාරූප මූලාශ්‍රය, ANI

    • Author, බීබීසී හින්දි
  • කියවීමේ කාලය: මිනිත්තු 6

"පන්දු යවන්නන් මට තර්ජනයක් වෙයි කියලා පුහුණුකරු මට අනතුරු ඇඟවූයේ නැහැ. අනෙක් අය ඒ ගැන කිව්වා. ඒත් පුහුණුකරුවන් කිව්වා ඔවුන් මට සම්පූර්ණයෙන්ම සහාය දෙනවා කියලා. ඔවුන් මට කිව්වා මගේ ස්වාභාවික ක්‍රමයට ක්‍රීඩා කරන්න ඒ වගේම පවතින තත්ත්වයට අනුව හැඩගැහෙන්න කියලා."

යොවුන් ක්‍රිකට් ක්‍රීඩක වයිභව් සූර්යවංශි මාර්තු 27 වන දින ඔහුගේ 15 වන උපන්දිනය සැමරුවේය.

සිය උපන්දිනයෙන් දින තුනකට පසු ඔහු මෙවර ඔහුගේ පළමු IPL තරගයේදී පන්දුවට පහර දීමට පිටියට පැමිණි අතර, තරගාවලිය මීට වඩා හොඳින් ආරම්භ කිරීමට ඔහුට ඉඩක් නොතිබිණි.

පන්දු 15 කින් අර්ධ ශතකයක් රැස් කිරීමට සූර්යවංශිට හැකි වූ අතර ඔහුට ම ආවේනික වූ පිතිකරණ විලාසය අනුව මෙම දක්ෂතාව පුදුමයට කරුණක් නොවූ අතර ඔහු හතරේ සහ හයේ පහරවල් එල්ල කරමින් සිටි එම තණ තීරුවේම පළමුවෙන් පන්දුවට පහර දුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු රැස් කිරීම සඳහා බොහෝ ලෙස වෙහෙසුණු ආකාරය දක්නට ලැබිණි. චෙන්නායි කණ්ඩායම සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 127ක් පමණි.

පසුගිය IPL වාරයේදී ජායිපූර්හිදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 17 කින් වයිභව් අර්ධ ශතකයක් රැස් කර තිබිණි.

ඊයේ (මාර්තු 30) ගුවහාටිහිදී, ඔහු තමාගේම වාර්තාව අලුත් කළ අතර, පන්දු 47ක් ඉතිරිව තිබියදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගය කඩුලු අටකින් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් සිදුකළේය.

2023 දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 13 කින් ලකුණු 50 ක් රැස් කළ සිය පිතිකරණ සහකරු වන යෂස්වි ජයිස්වාල් පිළිබඳව ද සූර්යවංශි පැහැදුණේය.

පවර්ප්ලේ එකෙන් උපරිම ප්‍රයෝජන ගැනීමේ උපාය මාර්ගය

චෙන්නායි සුපර් කිංග්ස් සමග තරගයේදී වේගවත් පිති ප්‍රහාරයක් එල්ල කරන වයිභව් සූර්යවංශි.

ඡායාරූප මූලාශ්‍රය, ANI

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉලක්කය හඹා යන අතරතුර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පවර්ප්ලේ එකෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සැලසුම් කර තිබූ බව සූර්යවංශි කියා සිටියේය

වයිභව් සූර්යවංශි පන්දු 17 කදී ලකුණු 52 ක් රැස් කළේ හතරේ පහර 4 ක් සහ හයේ පහර 5 ක් සමඟිනි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 12 යි එක් පන්දුවකදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 128 ක් ලබා ගනිමින් චෙන්නායි කණ්ඩායමට එරෙහි තරගය ජයග්‍රහණය කළේය.

"හැම පන්දුවකටම පස්සේ තනි ලකුණක් ලබා ගන්න කියලා ජයිස්වාල් මගෙන් ඉල්ලා හිටියේ නැහැ. පිත්තට එන පන්දුවට පහර දෙන්න කියලා ඔහු මට කිව්වා," වයිභව් පැවසීය.

සූර්යවංශිගේ ක්‍රීඩා විලාසයට ගෞරවය හිමිවිය යුත්තේ කණ්ඩායමේ උපාය මාර්ගයට සහ නායක රයන් පරාග් ඔහු කෙරෙහි තැබූ පූර්ණ විශ්වාසයටයි.

"මම ඔහුට (වයිභව්) කිව්වා තරගයේ කුමක් වුණත් කමක් නැහැ, ඔයා IPL තරගාවලියේ සම්පුර්ණ තරග 14ම ක්‍රීඩා කරනවා කියලා. ඒ වගේම මාධ්‍ය ඔස්සේ පළවන දේවල් ගැන කරදර වෙන්න එපා කියලත් කිව්වා" රයන් පැවසුවේය.

ඉලක්කය හඹා යාමේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පවර්ප්ලේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට සැලසුම් කර තිබූ බවත්, එබැවින් ඔවුන් ඉතා ආක්‍රමණශීලී ප්‍රවේශයක් අනුගමනය කළ බවත් සූර්යවංශි පැවසීය.

"පවර්ප්ලේ එකේ හොඳින් ක්‍රීඩා කිරීම තමයි සැලැස්ම වුණේ. මුලදී කඩුල්ල ටිකක් මන්දගාමී බවක් පෙනුනා. නමුත් පසුව පන්දුව පරණ වුණාම පිත්තට හොඳින් එන්න පටන් ගත්තා" ඔහු පැවසීය.

පළමු පන්දුවෙන්ම ලැබුණ අවස්ථාව

යෂස්වි ජයිස්වාල් සහ  වෛභව් සූර්යවංශි ලකුණක් කරා දිව යමින්

ඡායාරූප මූලාශ්‍රය, ANI

ඡායාරූප ශීර්ෂ වැකිය, අනෙක් අන්තයේ සිටි යෂස්වි ජයිස්වාල්ගෙන් තමාට සම්පූර්ණ සහයෝගය ලැබුණු බව වෛභව් සූර්යවංශි කියා සිටියේය

සූර්යවංශි තමන් මුහුණ දුන් පළමු පන්දුවටම ඩීප් මිඩ්විකට් කලාපයට ඉහලින් එල්ල කළ පුල් පහර උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් සිය පළමු තරගය ක්‍රීඩා කළ කාර්තික් ෂර්මාට නොහැකි විය.

සූර්යවංශි පන්දු 17 කදී ලකුණු 52 ක් ලබා ගැනීමෙන් පසු දැවී ගියේය.

සූර්යවංශි වයස අවුරුදු 14 දී IPL තරගාවලියට පිවිසියේ 2025 වසරේදීය.

ඔහු රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් තරග හතක් ක්‍රීඩා කළේය.

ඔහු IPL ඉතිහාසයේ දෙවන වේගවත්ම ශතකය (පන්දු 35) රැස් කළ අතර සමස්ත තරගාවලියේ දී ලකුණු 252 ක් ලබා ගත් ඔහුගේ පිතිකරණ ප්‍රහාරාත්මක ප්‍රතිශතය 206.55ක් විය.

"ක්‍රිකට් පිටියෙන් පිටත වෙන දේවල් ගැන අපි වයිභව්ට පීඩනයක් එල්ල කරන්නේ නැහැ. ඔහුට කැමති දේවල් කරන්න ඉඩ දෙන්න ඕන. උදාහරණයක් විදිහට ඔහු පිතිකරණයට කැමතියි, ඒ නිසා ඔහුට පුහුණුවීම් අවස්ථාවලදී ප්‍රමාණවත් අයුරින් පිතිකරණයේ යෙදෙන්න අවස්ථාව අපි සලසලා දෙන්න කටයුතු කරනවා." රාජස්ථාන් රෝයල්ස් නායක රියාන් පරාග් පැවසුවේය.

"ඔහු මොකක් හරි කෑමකට කැමති නම්, අපි ඒ දේ ඔහුට ලබා දෙන්න කටයුතු කරනවා. අනෙක් අය වගේම අපි ඔහුවත් හොදින් බලාගන්නවා. ඔහු මොනවාද කරන්නේ කියලා අපි බලාගෙන ඉන්නේ. ඔහු දක්ෂයි, ඔහු වෙන කණ්ඩායමක නැතිව අපේ කණ්ඩායමේ ඉන්න එක ගැන මම සතුටු වෙනවා."

විශේෂඥයෙකු මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩක කයිෆ් පැවසුවේ කුමක්ද?

"මේ තරුණ ක්‍රීඩකයා බොහෝ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගන්න දක්ෂයි. ඔහු ක්‍රීඩා කරන ආකාරය දැක ගන්න බොහෝ ප්‍රේක්ෂකයින් සවස් වරුවේ විවේකයෙන් සිටිනවා ඇති. වයිභව් සූර්යවංශි... නූර්ට එරෙහිව එල්ල කරපු හයේ පහරවල් දෙක නරඹන්න වටිනවා." ප්‍රවීණ ක්‍රිකට් විස්තර විශේෂඥයෙකු වන හර්ෂ බෝග්ලේ සිය X ගිණුම ඔස්සේ එලෙස සඳහන් කර තිබිණි.

"වයිභව් සූර්යවංශි විශේෂ දක්ෂතා ඇති දරුවෙක්. මේවගේ කුඩා වයසේදී මම ඔහු වගේ කෙනෙක්ව දැකලා නැහැ." හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් පළකර තිබිණි.

"පසුගිය IPL තරග වාරයේදී වෛභව් සූර්යවංශි ගැන හැමෝම ප්‍රශංසා කරන එක කල් වැඩියි කියලා මට දැනුණා. තරුණ ක්‍රීඩකයින් ඉක්මනින්ම ඉහළ තලයේ තැබීම නොකළ යුතුයි කියලයි මම වගේ පැරණි අදහස් තියෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක් විශ්වාස කළේ." හිටපු ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් කයිෆ් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේය.

"ඒත් අවුරුද්දකට පස්සේ මම හිතන්නේ ඔහු (වෛභව් සූර්යවංශි) ඊළඟ මට්ටමට සූදානම් කියලා මම විශ්වාස කරනවා. මේ 15 හැවිරිදි දරුවාට ප්‍රේක්ෂකයින්ට විනෝදාස්වාදය ලබා දෙන ගමන් තරග දිනවන ඉනිම් ක්‍රීඩා කරන්න පුළුවන්."

"වෛභව් සූර්යවංශි විශ්මිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහුට තියෙන්නේ සරල පෙනුමක්. ඒත් ඕනෑම පන්දු යවන්නෙක්ට ඔහු දරුණුයි. ඔහු බොහෝ දෙනෙකුගේ වාර්තා බිඳ දමයි කියලා මට හිතෙනවා." BCCI උප සභාපති රජීව් ශුක්ලා පැවසුවේය.

"ඔහු වයස අවුරුදු 15ක යොවුන් ක්‍රීඩකයෙක්. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කරන්න පුළුවන් වයස් කාණ්ඩයට ඇතුල් වුණේ මීට දවස් දෙකකට පෙරයි. ඔහු හැම පන්දුවකටම හයේ පහරක් එල්ල කරන්න උත්සාහ කරනවා. ඕනෑම අවස්ථාවක සන්සුන්ව සිටිනවා වගේම මේ ලබන සාර්ථකත්වය ඔහුට බලපෑම් එල්ල කරන්න ඉඩ නොදිය යුතුයි." එක් පරිශිලිකයෙක් සටහනක් තබා තිබිණි.

'ඔහු පන්දු 35 කින් ශතකයක් රැස් කළා'

වෛභව් සූර්යවංශි තම ක්‍රිකට් පිත්ත අතේ තබාගෙන සිටින අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, ANI

ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 IPL තරගාවලියේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව වෛභව් සූර්යවංශි පන්දු 35 කින් ශතකයක් රැස් කිරීමට සමත්විය

2025 අප්‍රේල් 28 වන දින T20 ක්‍රිකට් ඉතිහාසයේ දීප්තිමත් දිනයක් ලෙස සටහන් විය.

එදින, රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් ක්‍රීඩා කරමින්, වෛභව් සූර්යවංශි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 35 කින් ශතකයක් රැස් කළේය.

ඔහු හයේ පහර 11ක් සහ හතරේ පහර 7ක් එල්ල කළ අතර, එම ඉනිම ඔහුව ජනප්‍රියත්වයට ගෙන ආවේය.

සෑම කෙනෙකුටම ඔහුගේ විශ්මිත දක්ෂතාව දැකගත හැකි විය. ක්‍රිකට් ලෝකයම එවැනි ඇදහිය නොහැකි කුසලතාවය පිළිබඳ මවිතයට පත් වී විස්මයෙන් බලා සිටියේය.

රෂීඩ් ඛාන්, මොහොමඩ් සිරාජ්, ඉෂාන්ත් ෂර්මා සහ ප්‍රසිද් ක්‍රිෂ්ණා වැනි පන්දු යවන්නන්ට එරෙහිව වටකුරු මුහුණකින් හෙබි වෛභව් සූර්යවංශි ගේ පෙර නොවූ විරූ ආක්‍රමණශීලී පිතිකරණය නැරඹු ක්‍රිකට් ලෝලීහු මවිතයට පත් වූහ.

ඉන්පසු ඔහු පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 40ක් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 57ක් ලබා ගනිමින් තම දක්ෂතාව තහවුරු කර ගත්තේය.

"මම වයිභව්ගේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති යොවුන් ටෙස්ට් තරගයේ සහ තවත් ඉනිම කිහිපයක විශේෂ අවස්ථා වීඩියෝ නැරඹුවා. ඔස්ට්‍රේලියාවට එරෙහි එම තරගයේදී ඔහු පන්දු 58 කින් ලකුණු 100 ක් ලබා ගත්තා. එය නැරඹීමෙන් පසුව තමයි මට තේරුණේ මේ දරුවාට විශේෂ දක්ෂතාවක් තියෙනවා කියලා." වයිභව්ගේ ඉනිම නැරඹීමෙන් පසු, හිටපු ඉන්දීය කඩුලු රකින්නා-පිතිකරු සාබා කරීම් මෙසේ පැවසීය.

"මම ඔහුගෙන් වේගවත් ශතකයක් බලාපොරොත්තු වුනේ නැහැ. නමුත් මේ 14 හැවිරිදි පිතිකරුවා පැයට කිලෝමීටර් 145 කට වඩා වේගයෙන් යවපු ඉතා හොඳ පන්දු කිහිපයකට එරෙහිව ක්‍රීඩා කරන ආකාරය නැරඹීම ම අපූරු අත්දැකීමක් වුණා." වෛභව්ගේ දක්ෂතාව ගැන කතා කරමින් ඔහු එලෙස පැවසුවේය.