හජ් වන්දනාකරුවන් ඇතුළු මුස්ලිම්වරුන් 167 දෙනෙකු ඝාතනය කොට වලදමා ඇති බවට සැකකෙරෙන සමූහ මිනීවළක් සොයා කැණීම් කටයුතු ඇරඹේ

මුස්ලිම් බැතිමතුන් 167 දෙනෙකු ඝාතනය කර වළදමා ඇති බවට සැකකෙරෙන සමූහ මිනීවළක් පිළිබඳව කැණීම් කටයුතු ආරම්භ කර තිබේ
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 3

මීට වසර 36 කට පෙර කල්මුණේ ප්‍රදේශය හරහා කාත්තන්කුඩි වෙත ආපසු යමින් සිටි මුස්ලිම් වැසියන් 167 දෙනෙකු ඝාතනය කර වළදමා ඇති බවට සැකකෙරෙන සමූහ මිනීවළක කැණීම් කටයුතු ආරම්භ කර තිබේ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් ප්‍රදේශයේ ඇති බවට සැක කරන ලද සමූහ මිනීවල සොයා සිදුකරන කැණීම් කටයුතුවල පළමු දිනය ඊයේ (මාර්තු 30) සවස අවසන් කර ඇති බව අප බීබීසී සිංහල වාර්තාකරු පැවසීය.

නැවත එම කැණීම් කටයුතු අද (මාර්තු 31) ආරම්භ කිරීමට නියමිත අතර පළමු දිනයේ කැණීම් කටයුතුවලදී මිනිස් අස්ථි හෝ ශේෂ කිසිවක් හමුවී නොමැති බව ද වාර්තා වේ.

LTTE සංවිධානය ඝාතන සිදු කළ බවට චෝදනා

1990 අගෝස්තු 12 වන දින හජ් වන්දනා කටයුතු අවසන් කර කල්මුනේ හරහා කාත්තන්කුඩි වෙත ආපසු යමින් සිටි බැතිමතුන් පිරිසක් ද ඇතුළුව මුස්ලිම් වැසියන් 167 දෙනෙකු එල්ටීටීඊ සංවිධානය විසින් මෙලෙස පැහැරගෙන ගොස් ඝාතනය කොට වළ දමා ඇති බවට සැක කෙරේ.

ඒ අනුව, කලවංචිකුඩි මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් අවසරය අනුව, එහි මහේස්ත්‍රාත් ටී. ප්‍රදීපන් ඉදිරියේ මෙම සැකසහිත සමූහ මිනීවල කැණීමේ කටයුතු ඊයේ (මාර්තු මස 30) ආරම්භ කෙරිණි.

මෙම විමර්ශන කටයුතු සඳහා සහාය වීමට අධිකරණ වෛද්‍යවරුන් සහ වෝහාරික වෛද්‍ය විශේෂඥයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහ මන්මුනේ දකුණ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් එක්ව සිටිති.

පුද්ගලයෙකු කැණීම් සිදුකෙරන ස්ථානයේ සිටගෙන සිටින අතර අනෙක් පසින් ඉවත් කරන ලද පස් අඩංගු පොලිතීන් උර කිහිපයක් දකින්නට ලැබේ.

වසර ගණනාවක් අත්හිටුවා තිබු නඩුව

මෙම සමූහ මිනීවළ සම්බන්ධයෙන් නඩු විභාගය 2012 දී ආරම්භ කෙරුණ අතර 2014 වසරේ දී එම නඩු කටයුතු අත්හිටුවන ලදී.

ඉන්පසුව 2017 වසරේදී යහපාලන රජය යටතේ නඩු විභාගය නැවත ආරම්භ කර තිබේ.

සමූහ මිනීවළ පවතින බවට සැලකෙන ප්‍රදේශය කැනීමට නියෝගයක් ඉල්ලා 2025 වසරේදී පෙත්සමක් ගොනු කරන ලද අතර, පසුගිය මාර්තු 9 වන දින පැවති ඊට අදාළ නඩුව විභාගයේදී එම ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදුකිරීමට අදාළ නියෝගය නිකුත් කරන ලදී.

කැණීම් කටයුතු සිදුකරන පළමු අදියර යටතේ, හඳුනාගත් ප්‍රදේශයක මීටර් 5 × 5 ප්‍රමාණයක භූමිභාගයක් අඩි 9ක් පමණ ගැඹුරට කැණීමට සැලසුම් කර ඇති අතර, එය එළඹෙන ඉරිදා (අප්‍රේල් මස 05) දක්වා සිදු කෙරේ.

කැණීම් කටයුතු පරික්ෂා කිරීම සඳහා කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ටී. ප්‍රදීපන්, නඩුවේ නීතිඥවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, කලවංචිකුඩි පොලිසිය, මඩකලපුව පොලිසියේ අපරාධ අධිකරණ වෛද්‍ය අංශය, අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ නිලධාරීන්, ආරක්ෂක අංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු නිලධාරීන් සහ අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඇතුළු බොහෝ පිරිසක් එම ප්‍රදේශයට පැමිණ සිටියහ.