සියලු රාජ්‍ය ආයතනවල AC පස්වරු 3ට වැසේ: ඉදිරි දිනවල සිදුවන වෙනස්කම් මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
පවතින බලශක්ති අර්බුදය හේතුවෙන් මෙරට විදුලි සහ බලශක්ති සංරක්ෂණය පිළිබඳ කරුණු 03ක් සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව පහත දැක්වෙන ක්‍රියාමාර්ග ගන්නා ලෙස රාජ්‍ය සහ පෞද්ගලික අංශය වෙත දැනුම් දී සිටියි.
බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ සවස 6 සිට රාත්‍රී 10 අතර කාලයේදී විදුලි ඉල්ලුම සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට හේතු වූ බවයි.
වායු සමීකරණ සම්බන්ධයෙන්
සියලුම රාජ්‍ය ආයතනවල සහ ව්‍යවස්ථාපිත ආයතනවල පස්වරු 3 ට සියලුම වායු සමන යන්ත්‍ර අක්‍රීය කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කර ඇති නව මාර්ගෝපදේශයේ සඳහන්ව තිබේ.
එමෙන්ම පෞද්ගලික අංශයේ කාර්යාලවලට ද මේ ආකාරයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වීදි ලාම්පු සහ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක පුවරු
වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා විවිධ ස්ථානවල සවිකර ඇති විදුලි ආලෝක පුවරු සහ ඩිජිටල් තිර ආදිය රාත්‍රී 8.00 න් පසුව නිවා දැමීමට කටයුතු කළ යුතුය.
එමෙන්ම පළාත්පාලන ආයතනවලින් පාලනය වන විදී ලාම්පු පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී නිවා දැමීමට සුදුසු විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවට උපදෙස් නිකුත්කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උත්සව සහ සංගීත සංදර්ශන
විශාල පරිමාණයෙන් (පුද්ගලයින් 100ට වැඩි සහභාගිත්වයෙන්) පවත්වන සියලු උත්සව, සංගීත සංදර්ශන ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමකින් තොරව පැවැත්වීමට කටයුතු කළ යුතු බවට නව මාර්ගොප්දේශ මාලාවේ සඳහන්ව තිබේ.
මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එළිමහන් ස්ථානවල පවත්වන විශාල උත්සව සහ සංගීත සංදර්ශන සඳහා විදුලි ජනන යන්ත්‍ර ආධාරයෙන් විදුලි සැපයුම ලබා ගැනීමට හැකි බවය.
''මහා පරිමාණයෙන් සිදුකරන ඒවාට මේක අදාළ වෙනවා. ඒ අයට ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබා ගන්නේ නැතිව ජෙනරේටර් ආධාරයෙන් විදුලිය සපයා ගන්න පුළුවන්.
මාර්ගෝපදේශවල යම් වෙනස්කමක් කරන එක ගැන දැනට පවතින තත්ත්වය නිරීක්ෂණය කරලා ලබන සතියේදී තීරණය කරනවා." ඔහු වැඩිදුරටත් පැවසුවේය.
































