ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි යනු කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Tasnim News Agency
- Author, බීබීසී පර්සියානු සේවය
- කියවීමේ කාලය: මිනිත්තු 6
අභාවප්‍රාප්ත අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි, පියාගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාගෙන ඇති අතර ඔහු ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා වනු ඇත.
ඉරානයේ අනුප්‍රාප්තිය භාරව සිටින පූජක සභාව වන විද්වත් සභාව විසින් ඔහුගේ නම ප්‍රකාශයට පත් කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ඉරිදා වාර්තා කළේය.
ඇමෙරිකානු-ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අලි කමේනි මිය ගියේය.
ඉරානයේ බලවත් ම තනි බලවේගය ලෙස ඉස්මතු වී ඇති ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය සමග මොජ්තාබා කමේනි සමීප සබඳතා පවත්වන බව කියනු ලැබේ.
නව නායකයා සම්බන්ධයෙන් ටෙහෙරානය පළමුව සිය අනුමැතිය ලබා නොගන්නේ නම් නව නායකයා වැඩි කල් නොසිටිනු ඇති බවට ජනාධිපති ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
නිල නිවේදනය නිකුත් කිරීමට පෙර නිවේදනයට පුජක සභාවේ සාමාජිකයෙකු පැවසුවේ නව නායකයා "සතුරාගේ වෛරයට පාත්‍ර විය යුතු" බවයි.
මීට පෙර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ මොජ්තාබා කමේනි ඉරාන නායකත්වය සඳහා පිළිගත නොහැකි තේරීමක් වනු ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Tasnim News Agency
මොජ්තාබා කමේනි යනු කවුරුන් ද?
තම පියා මෙන් නොව, මොජ්තාබා බොහෝවිට ප්‍රසිද්ධ චරිතයක් ලෙස පෙනී සිටීමට උත්සහ දරා නොමැත. ඔහු කිසි විටෙකත් කිසිදු රජයේ තනතුරක් දරා නැත. ඔහු ප්‍රසිද්ධ කථා පවත්වා හෝ සම්මුඛ සාකච්ඡාවලට සහභාගී වී නොමැති අතර, ඔහුගේ ඡායාරූප සහ වීඩියෝ සීමිත සංඛ්‍යාවක් පමණක් ප්‍රකාශයට පත් කර ඇත.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කෙසේ වෙතත්, තම පියාට ළඟා විය හැක්කේ කාට ද යන්න පාලනය කිරීමට ඔහුට තිබුණු බලය ගැන දීර්ඝ කාලයක සිට කටකතා පැවතිණි. 2000 දශකයේ අගභාගයේදී විකිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික රහස් ලේඛනවල ඔහු පිළිබඳ විස්තර කර තිබුණේ "පූජක ලෝගුවලට පිටුපසින් සිටින බලවතා" ලෙස වන අතර ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට අනුව රජය තුළ ඔහු "දක්ෂ හා බලගතු නායකයෙකු" ලෙස පුළුල් ලෙස පිළිගැනීමට ලක්ව සිටියේ ය.
නමුත් මොජ්තාබා කමේනිගේ අනාගත තෝරා පත් කර ගැනීමේදී මතභේදාත්මක තත්ත්වයක් ඇති විය හැකි ය. එරට පැවති රාජාණ්ඩුව පෙරළා දැමීමෙන් අනතුරුව 1979 වසරේදී ඉරාන ඉස්ලාමීය ජනරජය පිහිටුවනු ලැබූ අතර, එහි මතවාදය පදනම් වී ඇති මූලධර්මය වන්නේ උත්තරීතර නායකයා තෝරා ගත යුත්තේ ඔහුගේ ආගමික තත්ත්වය සහ ඔප්පු කරන ලද නායකත්ව හැකියාව මත මිස, පාරම්පරා උරුමය මත නොවන බවටයි.
අලි කමේනි ඉස්ලාමීය ජනරජයේ අනාගත නායකත්වය පිළිබඳව කතා කළේ, පොදු කරුණු මත පදනම්ව පමණි.
1969 වසරේ සැප්තැම්බර් මස 8 වන දා ඉරානයේ ඊසානදිගින් පිහිටි මෂාඩ් නගරයේ උපත ලැබූ මොජ්තාබා, අලි කමේනිගේ දරුවන් 6 දෙනාගෙන් දෙවන දරුවා ය.
ඉරාන මාධ්‍ය වාර්තා අනුව 17 වන වියේ පසුවූ මොජ්තාබා එවකට පැවැති ඉරාන-ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් සඳහා හමුදාවට අනුයුක්තව සේවය කළේ ය. වසර අටක් පුරා පැවති එම ලේ වැගිරීම් ඉරාකය සඳහා සහය දුන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර රටවල් පිළිබඳ ඉරාන පාලන තන්ත්‍රයේ සැකය තවත් තීව්‍ර කළේ ය.
ඔහුගේ ආගමික අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට 1999 වසරේදී මොජ්තාබා ෂියා ඉස්ලාමයේ කේන්ද්‍ර ස්ථානයක් ලෙස සැලකෙන, ශුද්ධ නගරයක් වන කොම් වෙත පැමිණියේ ය. මෙම කාලවකවානුව වන තුරු ඔහු පූජක ඇඳුමින් සැරසී නොසිටීම කැපී පෙනෙන අතර, කෙනෙකුගේ තරුණ වියේදී සාමාන්‍ය දෙයක් ලෙස සැලකුණ ද ඔහු වයස අවුරුදු 30දී මද්‍රසාවකට ඇතුළු වීමට තීරණය කළේ මන්දැයි පැහැදිලි නොවිණි.
මොජ්තාබා තවමත් මධ්‍යම මට්ටමේ පූජකයෙකු ලෙස කටයුතු කරන අතර, එය ඔහු උත්තරීතර නායකයා ලෙස පත්වීමට බාධාවක් විය හැකිව තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, West Asia News Agency Via Reuters
පසුගිය දිනවලදී ඉරානයේ ඇතැම් මාධ්‍ය ආයතන සහ බල කේන්ද්‍රයට සමීප නිලධාරීන් මොජ්තාබා කමේනි ජ්‍යෙෂ්ඨ පූජක පදවියක් වන "අයතුල්ලා" යන නමින් හැඳින්වීම ආරම්භ කර තිබේ. ඇතැම් නිරීක්ෂකයින් මෙම වෙනස දකින්නේ, ඔහුගේ ආගමික තත්ත්වය ඉහළ නැංවීමට සහ රටේ ඉහළ ම නායකත්වය සඳහා සුදුසු අපේක්ෂකයෙකු ලෙස ඔහුව ඉදිරිපත් කිරීමට දරන උත්සහයක් ලෙස ය.
මද්‍රසා ක්‍රමය තුළ, "අයතුල්ලා" පදවිය දැරීම සහ උසස් පන්ති සඳහා ඉගැන්වීම් කටයුතුවල නිරත වීම පුද්ගලයෙකුගේ විද්වත් මට්ටම සහ දැනුම පිළිබඳ දර්ශක ලෙස සැලකෙන අතර අනාගත නායකයෙකු තෝරා ගැනීමේදී මෙය අත්‍යවශ්‍ය මූලික සුදුසුකමක් ලෙස සලකනු ලබයි.
ඒ සඳහා දැනටමත් පූර්වාදර්ශයක් පවතී. 1989 වසරේදී අලි කමේනි දෙවන උත්තරීතර නායකයා ලෙස පත්වීමෙන් අනතුරුව ඉක්මනින් "අයතුල්ලා" ලෙස උසස් කර තිබිණි.
දේශපාලන මැදිහත්වීම් පිළිබඳව එල්ල වන චෝදනා
මොජ්තාබාගේ නම මුලින් ම මහජන අවධානයට ලක් වූයේ දැඩි මතධාරියෙකු වූ මහමුද් අහමඩිනෙජාඩ් ජයග්‍රහණ කළ 2005 ජනාධිපතිවරණයේදී ය.
කමේනි වෙත විවෘත ලිපියක් යවමින්, ප්‍රතිසංස්කරණවාදී අපේක්ෂක මෙහ්ඩි කරෝබි, මොජ්ටාබා, අහමඩිනෙජාඩ් ජයග්‍රහණය කරවීම සඳහා ආගමික කණ්ඩායම්වලට මුදල් බෙදා දුන් IRGC සහ Basij මිලීෂියාවේ සාමාජිකයින් හරහා ඡන්දයට මැදිහත් වූ බවට චෝදනා කළේ ය.
ඉන් වසර හතරකට පසු ද, මොජ්ටාබාට එම චෝදනාව ම එල්ල විණි.
අහමඩිනෙජාඩ් නැවත තේරී පත්වීමත් සමග රට පුරා හරිත ව්‍යාපාරය නමින් මහජන විරෝධතා ඇති විණි. එහිදී මොජ්ටාබාට ඔහුගේ පියාගෙන් පසු ඉරානයේ උත්තරීතර නායකයා ලෙස පත්විය හැකි බවට වූ අදහසට එරෙහිව ඇතැම් විරෝධතාකරුවන් සටන් පාඨ පවා කියැවිණි.
එවකට නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වූ මොස්තාෆා ටජ්සාදේ මෙම මැතිවරණ ප්‍රතිඵලය විස්තර කළේ "මැතිවරණ කුමන්ත්‍රණයක්" ලෙසයි. පසුව ඔහු වසර හතක සිර දඬුවම් නියම වූ අතර එය "මොජ්තාබා කමේනිගේ ඍජු කැමැත්ත" මත සිදුවූවක් ලෙස ඔහු පැවසීය.
බොහෝ දෙනෙකු අපේක්ෂා කරන්නේ, මොජ්තාබා තම පියාගේ දැඩි මතධාරී ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති බව ය. එමෙන් ම, තවත් පිරිසක් විශ්වාස කරන්නේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පියා, මව සහ බිරිඳ අහිමි වූ පුද්ගලයෙකු බටහිර බලපෑම් හමුවේ යටත් නොවනු ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත් ඉස්ලාමීය ජනරජයේ පැවැත්ම තහවුරු කිරීම සහ දේශපාලන හා ආර්ථික පරිහානියෙන් රට මුදා ගැනීමට සුදුසු ම පුද්ගලයා තමන් බව ජනතාවට ඒත්තු ගැන්වීමට ඔහුට සිදු වනු ඇත.
නායකත්වය හෙබවීම සඳහා ඔහු සතු හැකියාව මෙතෙක් පරීක්ෂාවට ලක්වී නොමැති පසුබිමක ඉරාන ජනරජය පවුල් උරුමයෙන් පාලනය වන ක්‍රමයකට හැරෙමින් පවතින බවට වන මතය, මහජන අතෘප්තිය තවදුරටත් වැඩි කළ හැකි වෙයි.
ඕනෑ ම අනුප්‍රාප්තිකයෙකු "තුරන් කිරීම සඳහා නිසැක ඉලක්කයක්" වනු ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇති හෙයින් දැන් මොජ්තාබා ඉලක්කගත පුද්ගලයෙකු වනු ඇත.


































