ඉන්ධන නැව් ප්‍රමාදය, නව ඉන්ධන ටෙන්ඩර් ඇතුළු අලුත් ම තත්ත්වය ගැන ජනාධිපතිවරයා හෙළි කළ කරුණු
ඡායාරූප මූලාශ්‍රය, PMD Sri Lanka
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
මෙරටට ඉන්ධන සපයනු ලබන නැව් තුනක් නියමිත කාලයේදී පැමිණීමට නොහැකි බව දන්වා ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ය.
අඟහරුවාදා (මාර්තු 17) විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා පැවසුවේ, විශ්වාසවන්ත සැපයුම්කරුවන් කිහිප දෙනෙකුට ඉන්ධන සැපයීමට නව ටෙන්ඩර් ලබා දුන් බව ය.
ඉන්ධන නැව් තුනක ප්‍රමාදය
"අපේ දිගු කාලීන ටෙන්ඩර් දෙකක්, විශේෂයෙන් ම අපිට බොර තෙල් මෙට්‍රික් ටොන් 90,000ක නැව් දෙකක් නියමිත කාලයට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් කාලයක් ප්‍රමාද වී නැව් ලැබෙන බව තමයි වාර්තා කරලා තිබෙන්නේ. පෞද්ගලික අංශයේ අපේ තෙල් අලෙවි කරන්නන් ඉන්නවා. ඔවුන්ගේ එක නැවක් නියමිත කාලයට ලැබෙන්නේ නැහැ කියලා දැනට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙන ඉන්ධන සැපයුමේ අඩුවක් තිබෙනවා."
ඉන්ධන සැපයීම සැලසුම් කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා, එක් නැවක් හෝ ප්‍රමාද වීමෙන් එම කළමනාකරණ ජාලය අවුල් වන බව කියා සිටියේ ය.
අලුතින් ලබා දුන් ඉන්ධන ටෙන්ඩර් මොනවා ද?
කෙසේ වෙතත්, ඉන්ධන නැව් ප්‍රමාදයට පිළියමක් ලෙස නව ඉන්ධන ටෙන්ඩර් පිරි නැමීමට කටයුතු කළ බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක විශේෂ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ය.
"අපි ඉක්මන් ටෙන්ඩර් කිහිපයක් දැම්ම, අද අපි ටෙන්ඩරයක් විවෘත කළා ඒ ටෙන්ඩරයේදී අපිට ඩීසල්, බොර තෙල්, ලිහිසි තෙල්, පෙට්‍රල් සඳහා අපිට ඉතාමත් විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් ඇවිල්ලා තියෙනවා. අපි ඔවුන්ට ඒ ටෙන්ඩරයන් ප්‍රදානය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවායින් අර ප්‍රමාද වන කාලය ආවරණය කර ගැනීම තමයි අපේ අපේක්ෂාව."
'ප්‍රිමියම් අගය ඩොලර් 3ට වඩා විශාලයි'
තවත් ඩීසල් ටෙන්ඩරයක් හෙට දිනයේදී විශ්වාසවන්ත සැපයුම්කරුවකුට ප්‍රදානය කරන බවත් එම ටෙන්ඩර්වල යම් මිල වැඩි වීමක් තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.
"සමාන්‍යයෙන් ප්‍රිමියම් අගය ඩොලර් 3ට වඩා අඩුවෙන් තමයි තිබුණේ, මේවාගේ ප්‍රිමියම් අගය ඩොලර් 3ට වඩා විශාලයි. ඒ නිසා යම් මිල වැඩි වීමක් තිබෙනවා. නමුත් අපේ අපේක්ෂාව තිබෙන්නේ බලශක්ති සැපයුම අඛණ්ඩව ලබා දීම."
එමෙන් ම ක්ෂණිකව තීන්දු තීරණ ගෙන ඉන්ධන මිල දී ගැනීම සඳහා ප්‍රශස්ත නිලධාරීන්ගෙන් යුතු කමිටුවක් පත් කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා පැවසුවේ, අපනයන සහ සංචාරක කර්මාන්තය වැනි ඩොලර්වලින් ආදායම් උපයන ක්ෂේත්‍ර කිහිපයක ඉල්ලීමට අනුව තාවකාලිකව ඉන්ධන ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා දුන් බව ය.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත ගෑස්, ගල් අඟුරු සහ ඉන්ධන ලබා ගැනීමේ උත්සහය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ වන විට ගෑස් මෙට්‍රික් ටොන් 38,000ක් මෙරටට ලැබී ඇති බවත්, ඉදිරි දින දෙක තුළ මෙට්‍රික් ටොන් 33,000ක නැවක් මෙරටට ළඟා වීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ගල් අඟුරු නැව් 13ක් මෙරටට පැමිණ ඇති බව පැවසූ ජනාධිපතිවරයා තවත් නැව් 12ක් මෙරටට පැමිණීමේ ගැටලුවක් මතුව ඇති බැවින් ක්ෂණික ටෙන්ඩරයක් ලබා දී නැව් 5ක් ගෙන්වීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවත් සඳහන් කළේ ය.
"ගෑස්, ගල් අඟුරු සහ ඉන්ධන විශේෂයෙන් ම අපේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා එම රාජ්‍යයන්ගෙන් ලබා ගැනීමට අපි කටයුතු කරමින් තිබෙනවා. දැන් ඊට අවශ්‍ය වන ලිපි හුවමාරු වෙමින් තිබෙනවා. සමහර ගිවිසුම් පිළිබඳව අපි සාකච්ඡා කරමින් තිබෙනවා. අපේ මිතුරු රාජ්‍යයන්ගෙන් ලබා ගත හැකි සහය පිළිබඳව අපි කල්පනා කරමින් සිටිනවා."
එමෙන් ම, කර්මාන්ත ඇතුළු අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දීර්ඝ ලෙස මාධ්‍යවේදීන් වෙත පැහැදිලි කළේ ය.
අර්බුදය මධ්‍යයේ ජන ජීවිතය පවත්වාගෙන යාමට දැනට ගෙන ඇති පියවර සහ ඉදිරියේදී ගැනීමට නියමිත ක්‍රියාමාර්ග මෙන් ම මෙම අවස්ථාවට සහභාගි වූ මාධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්නවලට ද ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිතුරු දුන්නේ ය.
ප්‍රධාන පුවත
විශේෂාංග
ජනප්‍රිය ලිපි
මෙහි අන්තර්ගතය නැත