මැද පෙරදිග යුද උණුසුම මැද පකිස්ථානය සහ ඇෆ්ඝනිස්ථානය අතර ගැටුම් වර්ධනය වී ඇත්තේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, EPA
- Author, සාරා හසන්
- Role, බීබීසී පුවත් උර්දු
- කියවීමේ කාලය: මිනිත්තු 6
ඇෆ්ඝනිස්ථානය සහ පකිස්ථානය අතර මාස කිහිපයක් තිස්සේ පවතින ගැටුමේ තීව්‍ර වීමක් සනිටුහන් කරමින් කාබුල්හි පිහිටි මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන්ට ප්‍රතිකාර සිදුකෙරෙන මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 400 දෙනෙකු මිය ගොස් ඇති බව තාලිබාන් රජයේ ප්‍රකාශකයෙක් පවසයි.
බීබීසී පුවත් සේවය මෙම මරණ සංඛ්‍යාව ස්වාධීන ලෙස තහවුරු කර නොමැත.
2,000 ක පමණ පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානය සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයින්ගෙන් ඇතැමෙකු තවමත් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව ඇෆ්ගන් අගනුවර අධිකරණ වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩල ආරංචි මාර්ග බීබීසී වෙත පැවසීය.
සෞඛ්‍ය මධ්‍යස්ථානවලට හිතාමතාම පහර දුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් පාකිස්ථානය කියා සිටියේ එය නිශ්චිතවම හමුදා ස්ථාපනයන් සහ ත්‍රස්තවාදී ආධාරක යටිතල පහසුකම් ඉලක්ක කරගත් ප්‍රහාරයක් බව ය.
මාර්තු 16 වන සඳුදා දේශීය වේලාවෙන් 20:50 ට පමණ විශාල පිපිරීම් හඬක් ඇසුණු බවත් අනතුරුව ගුවන් යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති ප්‍රතිචාර දක්වන ශබ්දය ඇසුණු බවත් පුනරුත්තාපන මධ්‍යස්ථානය ආසන්නයේ ජීවත් වන ජනතාව පැවසූහ.
එහි ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින්ගේ ඥාතීන් තම ආදරණීයයන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමට බලාපොරොත්තු සුන්වූ අයුරින් මධ්‍යස්ථානයෙන් පිටතට රැස්ව සිටියහ.
ඉකුත් ඔක්තෝබර් මාසයේදී දෙරට සටන් විරාමයකට එකඟ වී තිබියදීත්, පෙබරවාරි 26 වන දින ඇෆ්ගන් තලේබාන් සංවිධානය දේශසීමා අසල පිහිටි පකිස්ථාන හමුදා මුරපොලවල්වලට එරෙහිව ප්‍රධාන ප්‍රහාරයක් එල්ල කරන බව නිවේදනය කළේය. ඊට පසුදා පකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල්, පක්ටිකා සහ කන්දහාර් යන නගරවලට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ඇෆ්ගනිස්ථානය සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන මෙහෙයුමට අනුව එතැන් සිට දේශසීමා ඔස්සේ සිදුවන සටන් හේතුවෙන් ඇෆ්ගනිස්ථානය තුළ අවම වශයෙන් පුද්ගලයින් 75 දෙනෙකු මිය ගොස් 193 දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම ආතතියේ ඓතිහාසික මූලයන් සහ යළිත් ආරම්භ වූ සටන් පිටුපස ඇති ඇතැම් සාධක මොනවාද?
දුෂ්කර ඉතිහාසයක්
පකිස්ථානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මෑතකාලීන සබඳතා කැළඹිලි සහගත වී ඇත.
2021 වසරේදී එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමට පෙර, එවක පැවැති කාබුල්හි රජය නිරන්තරයෙන් චෝදනා කළේ පකිස්ථාන භූමියේ සිට සැලසුම් කෙරෙන තලේබාන් ප්‍රහාර සඳහා ඉස්ලාමාබාද් පාලනය පහසුකම් සපයන බවයි.
එම කාලය තුළ පකිස්ථානය තලේබාන් සංවිධානය සමග සබඳතා පවත්වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර පකිස්ථාන විදේශ අමාත්‍යාංශයේ එවක ප්‍රකාශකයා පැවසුවේ එවැනි චෝදනා "විහිළු සහගත" බවයි.
ඇමෙරිකානු හමුදාවන්ට ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වීමට සහ තලේබාන් සංවිධානයට නැවත බලයට පත්වීමට මග පෑදූ 'දෝහා ගිවිසුම' සඳහා පහසුකම් සැලසීමේදී සහ සාකච්ඡාවලදී පකිස්ථානය ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය.
එම කණ්ඩායම පළමුවරට ඇෆ්ඝනිස්ථානයේ පාලනය හෙබවූ 1996 සහ 2001 අතර කාලය තුළ පාකිස්තානය යනු තලේබාන් රජය නිල වශයෙන් පිළිගත් රටවල් අතලොස්සෙන් එකක් එය විය.
නමුත් නවතම නොසන්සුන්තා මගින් පෙන්නුම් කර ඇත්තේ වර්තමානයේ තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානය තුළ නැවතත් පාලනය ගෙන ගිය ද දෙරට අතර සබඳතා අස්ථාවරව පවතින බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Akhtar Gulfam/EPA/Shutterstock
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පාකිස්ථාන තලේබාන් ලෙස ද හැඳින්වෙන ටෙහ්රික්-ඉ-තලේබාන් පකිස්ථාන කණ්ඩායම ඇෆ්ඝනිස්ථානය තුළ පිහිටි ඔවුන්ගේ කඳවුරේ සිට රටට ප්‍රහාර එල්ල කරමින් සිටින බවත්, ඔවුන් නැවැත්වීම සඳහා ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් කිසිවක් සිදු නොකරන බවත් පාකිස්ථානය පවසා තිබේ.
"තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානය තුළ බලයට පැමිණීමෙන් අනතුරුව TTP වැනි කණ්ඩායම්වලට පෙර පරිදි සහයෝගය නොලැබෙනු ඇතැයි සහ දේශසීමා තත්ත්වය යහපත් අතට හැරෙනු ඇතැයි පකිස්ථානය බලාපොරොත්තු වුණා, ඒත් ඒක සිද්ධවුණේ නැහැ," පාකිස්ථානයේ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී මසූඩ් ඛාන් බීබීසී පුවත් සේවයට පැවසීය.
ඇතැම්විට මෙය පුදුමයක් නොවේ.
"අනෙක් රජයන් වගේ නෙමෙයි, ඇෆ්ගන් තලේබාන් කියන්නේ සාම්ප්‍රදායික රජයක් නෙමෙයි. ඔවුන් බලයට පත් වුණේ TTP සංවිධානය සමඟ ඓතිහාසිකව සම්බන්ධ වූ කණ්ඩායමක් ලෙසයි," ඇෆ්ගනිස්ථාන-පකිස්ථාන සබඳතා සමීපව නිරීක්ෂණය කරන විශ්ලේෂක සහ මාධ්‍යවේදී සාමි යූසාෆ්සායි බීබීසී පුවත් සේවයට පැවසීය.
"ඇෆ්ගන් තලේබාන්වරුන් TTP කණ්ඩායම ඇෆ්ගනිස්ථානයෙන් තුරන් කරයි කියලා හරි පිටුවහල් කරයි කියලා හරි පාකිස්ථානය විශ්වාස කරනවා නම්, එය යථාර්ථවාදී නොවන අපේක්ෂාවක්,'' ඔහු පවසයි.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඇෆ්ගන් විදේශ අමාත්‍ය අමීර් ඛාන් මුත්තකී ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානයේ ප්‍රතිවිරුද්ධ මතධාරියෙකු වන ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ස්ථාපිත කරමින් නවදිල්ලියේ සංචාරයක නිරත විය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ්, ජියෝ පුවත් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් "දිල්ලි සඳහා ප්‍රොක්සි යුද්ධයක් නිරත වී සිටින" බවට ඇෆ්ගනිස්ථානයට චෝදනා කළේය.
ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාත්මක කිසිදු පකිස්ථාන විරෝධී කණ්ඩායමකට සහය දෙමින් සිටින බවට එල්ල වන චෝදනා ඉන්දියාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ. නමුත් ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය, පකිස්ථානය ලැබූ "සංකේතාත්මක පරාජයක්" බව යූසුෆ්සායි වැනි නිරීක්ෂකයින් පවසයි.
කලාපය තුළ පවතින රටවල් සමග සබඳතා ප්‍රතිෂ්ඨාපනය කර ගනිමින් සිය හුදකලාභාවය අවසන් කිරීමට තලේබාන් සංවිධානය උත්සාහ කරන අතරතුර ඉන්දියාව කලාපය තුළ ආයෝජනය කිරීමට බලා සිටින බව නිරීක්ෂකයෝ පවසති.
නමුත් සූසෆ්සායි පැවසුවේ මෙය පහසු නොමැති බවයි :''කාබුල් දැඩි ජිහාඩ් මතවාදී පද්ධතියක් යටතේ ක්‍රියාත්මක වන බැවින්, තලේබාන් රජයට ප්‍රායෝගිකව සහය ලබා දීමට ඉන්දියාවේ හැකියාව සීමිතයි."
මෙය ඉස්ලාමාබාද් පාලනයට යම් සහනයක් විය හැකියි.

ඡායාරූප මූලාශ්‍රය, Hussain Ali/Anadolu Agency via Getty Images
අනෙකුත් රටවල් පවසා තිබෙන්නේ මොනවාද?
කාබුල් වෙත එල්ල වූ නවතම ගුවන් ප්‍රහාරයෙන් අනතුරුව චීනය 'පළමු අවස්ථාවේදීම'' සටන් විරාමයකට ඇරයුම් කළ අතර සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන ලෙස පකිස්තානයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ඉල්ලා සිටිමින් පැවසුවේ මුහුණට මුහුණ සාකච්ඡා සඳහා එළඹෙන ලෙසයි.
එමෙන්ම බීජිං පැවසුවේ චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යී පසුගිය සතියේදී ඇෆ්ගනිස්ථාන සහ පකිස්ථාන විදේශ අමාත්‍යවරුන් සමග දුරකතනය ඔස්සේ සාකච්ඡා කර තිබු බවයි.
ගුවන් ප්‍රහාර සහ සිවිල් වැසියන් මියයාම පිළිබඳ පළවන වාර්තා මගින් තමන් "කලකිරීමට" පත්ව ඇති බව ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු රිචඩ් බෙනට් X ගිණුම ඔස්සේ පළ කළේය.
"සිවිල් වැසියන් සහ රෝහල් වැනි සිවිල් දේපළ ආරක්ෂා කිරීම ඇතුළුව ගැටුම් අවම කිරීමට උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙස සහ ජාත්‍යන්තර නීතියට ගරු කරන ලෙස මම දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටිනවා" ඔහු පැවසීය.
මීට පෙර, අසල්වැසි ඉරානය ද දෙරට අතර සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට සූදානම් බව පවසා තිබූ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි X පණිවිඩයක් මගින් ඉල්ලා සිටියේ "යහපත් අසල්වැසි සබඳතා සහ සාකච්ඡා තුළින් ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ මතවාද විසඳා ගන්නා ලෙසයි.''
පකිස්ථානය ඇෆ්ගනිස්ථානය සමඟ කිලෝමීටර් 2,600 ක දේශ සීමාවක් බෙදා ගනී. 1893 දී බ්‍රිතාන්‍යයන් විසින් ඔවුන්ගේ අභිමතය පරිදි ඇඳි මෙය 'ඩුරන්ඩ් රේඛාව' ලෙස ද හඳුන්වන අතර ඇෆ්ගනිස්ථානය මෙන්ම එහි දෙපස ජීවත් වන මිලියන සංඛ්‍යාත වාර්ගික පෂ්තුන්වරුන් ඒ සඳහා අරගල කර ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් නිරීක්ෂකයින් එය දකින්නේ දැනට පවතින නොසන්සුන්තා භූමියේ නීත්‍යානුකූලභාවය තුළ මුල්බැසගෙන ඇති බවයි.
දහස් සංඛ්‍යාත පිරිසක් දිනපතා දේශසීමාව හරහා ගමන් කරති. රජයන් අතර පවතින සබඳතා කෙසේ වෙතත් පවුල් සහ සමාජීය සබඳතාවලින් බැඳුණු ගෝත්‍රික ප්‍රජාව දේශසීමාවේ දෙපසම ජීවත් වන බැවින් දෙරට අතර සබඳතා සාමාන්‍ය අතට පත් කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඉහළ යමින් පවතී.
අතිරේක වාර්තාකරණය බීබීසී ගෝලීය පුවත් සේවය සහ බීබීසී පුවත් හින්දි විසිනි.


































