මොහොමඩ් බාගර් ගලිබාෆ්: ඇමෙරිකා එක්සත් ජනපදය සමග සාම සාකච්ඡා මෙහෙයවනු ඇතැයි සිතිය හැකි ඉරාන කතානායක

Mohammad Bagher Ghalibaf wearing a white shirt and dark blue blazer, speaking into a microphone against a blue background.

ඡායාරූප මූලාශ්‍රය, NurPhoto via Getty Images

    • Author, පූරියා මරුයන්
    • Role, බීබීසී පර්සියානු සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් බගර් ගලීබාෆ් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතර, පවතින යුද්ධය මධ්‍යයේ ඔහුට එක්සත් ජනපදය සමග සාකච්ඡා කිරීමේ වගකීම පැවරී ඇති බව වාර්තා වේ.

විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමග ගලීබාෆ් ද ඊශ්‍රායලයේ ඝාතන ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව පාකිස්ථාන මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ය.

"ඊශ්‍රායලට ඔවුන් සිටින ස්ථාන පිළිබඳ දත්ත තිබුණා, ඔවුන්ව ඝාතනය කිරීමට ද අවශ්‍ය වෙලා තිබුණා. නමුත් අපි එක්සත් ජනපදයට කිව්වා ඔවුන් ඝාතනය කළහොත් සාකච්ඡා කිරීමට කිසි ම කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ කියලා. ඒ අනුව, ඔවුන්ගේ නම් ඉවත් කරන ලෙස එක්සත් ජනපදය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියා," යනුවෙන් එම මූලාශ්‍රය පැවසීය. පකිස්ථානය යනු ඉරානය සහ එක්සත් ජනපදය අතර සිටින මැදිහත්කරුවෙකි.

එසේ වුව ද, 64 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා සතුරන්ට "අපගේ දේශය ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානය" පරීක්ෂා නොකරන ලෙස අනතුරු අඟවා තිබෙන අතර "නිර්දය ප්‍රහාර" එල්ල කරන බවට සිය X ගිණුම ඔස්සේ තර්ජනය කර තිබේ. එක්සත් ජනපද ජනමාධ්‍ය ආයතනයක් වන Politico වාර්තා කරන පරිදි ඇතැම් එක්සත් ජනපද නිලධාරීන් විසින් ඔහු දකින්නේ වැඩ කළ හැකි සහකරුවෙකු ලෙස යි.

A photo of Mohammad Bagher Ghalibaf on a flag, hanging above congested roads of yellow and white cars.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊබ්‍රහීම් රයිසිගේ අභාවයෙන් පසු පැවති 2024 ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයින් හය දෙනාගෙන් එක් අයෙකු වූයේ ගලීබාෆ් ය

මීට පෙර අවස්ථා කිහිපයකදී ම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ ගලීබාෆ් ඉන් පරාජයට පත්ව තිබේ. නමුත් එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් මිය ගොස් තිබුණ ද ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය සමග පවතින ඔහුගේ සමීප සබඳතා, රජයේ විවිධ අංශ සම්බන්ධයෙන් ඔහු සතු පළපුරුද්ද සහ ප්‍රායෝගික මතධාරියෙකු ලෙස පවතින ඔහුගේ ප්‍රතිරූපය බලය සඳහා ඔහු නව මට්ටමකට රැගෙන ආ හැකි ය.

'යෂ්ටියක් අතදරා සිටීම ආඩම්බරයක්'

ඉරාන රාජ්‍ය විකාශක සේවය වන IRIB විසින් හිමිකාරීත්වය දරණ අරාබි භාෂාවෙන් විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී නාලිකාවක් වන අල්-අලාම් නාලිකාව වාර්තා කරන පරිදි ගලීබාෆ් ඊසානදිග නගරයක් වන ටෝර්ගාබේහි ආගමික, කම්කරු පාන්තික පවුලකට දාව උපත ලබා තිබේ. ඔහුගේ උපන් ගම ඉස්ලාමීය විප්ලවයේ ඇතැම් ප්‍රමුඛ පුද්ගලයින් ජීවත් වූ මෂාඩ් නගරයට ආසන්නව පිහිටා ඇත.

පසුකාලීනව, වයස අවුරුදු 16දී ඔහු ඉරානයේ උත්තරීතර නායකයා වූ අලි කමේනි ද සිටි මෂාඩ්හි ප්‍රධාන මුස්ලිම් පල්ලිවල විප්ලවවාදී පූජකවරුන්ගේ පන්තිවලට සහභාගී වීම ආරම්භ කළේ ය.

1979 වසරේදී ඉස්ලාමීය විප්ලවය අවසන් වූ සැනින් ගලීබාෆ් ඉරාකයට එරෙහි යුද්ධයේදී සටන් වැදි අතර, වයස අවුරුදු 20දී ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සමග එක්ව තිබිණි. වසර දෙකකින් අනතුරුව ඔහු එහි එක් සටන් අංශයක අණදෙන නිලධාරියා බවට පත් වූ අතර, 1988 වසරේදී යුද්ධය අවසන් වන තෙක් ම ඔහු එම තනතුර හෙබවීය.

Mohammad Bagher Ghalibaf wearing glasses and a khaki-coloured shirt, speaking into a microphone and gesticulating in the air.

ඡායාරූප මූලාශ්‍රය, Pacific Press/LightRocket via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මොහොමඩ් බගර් ගලීබාෆ් 2024 මැතිවරණය ඇතුළුව සිව් වතාවක් ජනාධිපති ධූරයට තරග කර ඇත
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අල්-අලාම් පුවත් සේවයට අනුව ගලීබාෆ් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරියෙකු වූ වසරේ ම විවාහ දිවියට ඇතුළත් වූ අතර එම උත්සවය මෙහෙයවනු ලැබුවේ උත්තරීතර නායක රුහොල්ලා කොමේනි විසින් ය. මෙම යුවළට දරුවන් තිදෙනෙකු සිටිති.

යුද්ධයෙන් පසුව හමුදා නිලයන් ඔස්සේ අඛණ්ඩව ඉහලට ගිය ගලීබාෆ් 1997 වසරේදී ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකායේ ගුවන් හමුදාවේ අණදෙන නිලධාරියා බවට පත්විය.

1999 වසරේ ජූලි මාසයේදී ප්‍රතිසංස්කරණවාදී පුවත්පතක් තහනම් කිරීමට එරෙහිව ඇති වූ ශිෂ්‍ය විරෝධතා හේතුවෙන් ඉස්ලාමීය ජනරජය සලිත විය. පුද්ගල මරණ කිහිපයකට හේතුවෙමින් එම ව්‍යාපාරය ප්‍රචණ්ඩ ලෙස මර්දනය කරන ලද අතර එම මර්දනයට ඔහු පෞද්ගලිකවම මැදිහත් වූ බව විශ්වාස කරයි.

"යෂ්ටියක් අතදරා 1,000cc යතුරුපැදියක් මත සිටින මගේ ඡායාරූපයක් දැන් මගේ ළඟ තියෙනවා... යෂ්ටියක් අරගෙන පාරට බහින්න වෙන ඕනෑ ම අවස්ථාවක ඒක කරන අය අතර අපි ඉන්නවා. අපි ඒ ගැන ආඩම්බර වෙනවා," ලීක් වූ හඬ පටයකින් ඇසෙන්නේ ඔහු එලෙස පවසන ආකාරයයි.

විරෝධතාවලින් අනතුරුව ඉරාන විපල්වීය ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරීන් 24 දෙනෙක් ඉරානයේ එවක ජනාධිපති හා ප්‍රතිසංස්කරණවාදියෙකු වූ මොහොමඩ් කටාමි වෙත තියුණු වචන සහිත ලිපියක් ලියමින්, ඉරාන විපල්වීය ආරක්ෂක බළකායේ මැදිහත්වීමට තර්ජනය කළහ. ගලීබාෆ් පැවසුවේ ලිපිය කෙටුම්පත් කර අත්සන් එකතු කළ අණදෙන නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු තමන් බව යි.

බොහෝදෙනෙකු මෙම ලිපිය දකින්නේ එතැන් සිට වර්ධනය වූ දේශපාලන කටයුතු සඳහා ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ බලපෑම පිළිබඳ පැහැදිලි ප්‍රකාශනයක් ලෙස ය.

පොලිස් ප්‍රධානියාගේ සිට ටෙහෙරාන් නගරාධිපති දක්වා

ශිෂ්‍ය විරෝධතාවලින් වසරකට පසු, වයස අවුරුදු 39 දී ගලීබාෆ් පොලිස් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබී ය.

ඔහුගේ පස් අවුරුදු සේවා කාලය තුළ, ඔහු ජාතික හදිසි පොලිස් ඇමතුම් අංකයක් ස්ථාපනය කළ අතර පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කළේ ය. පොලිස් බළකාය විදේශීය වාහනවලින් සන්නද්ධ කිරීම ඔහුගේ ආඩම්බර ජයග්‍රහණයක් ලෙස ඔහු සැලකූ නමුත්, විවේචකයින් පවසන්නේ එහි පිරිවැය ඉතා අධික වූ බව යි.

2005 වසරේදී ගලීබාෆ් පොලිස් ප්‍රධානියා ලෙස දැරූ තනතුරෙන් ඉල්ලා අස්වූ අතර ජනාධිපතිවරණයට තරග කළේ ය. ඔහුගේ පරාජයෙන් අනතුරුව නගර සභාව විසින් ඔහු ටෙහෙරානයේ නගරාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනු ලැබී ය. වසර 12 ක් පුරාවට එම තනතු‍රේ රැඳී සිටි ඔහු අගනුවර වැඩි ම කාලයක් පාලනය හෙබවූ නගරාධිපතිවරයා ලෙස තැබූ වාර්තාව අදටත් පවතී.

රථවාහන තදබදයෙන් පිරුණු අගනුවර මෙට්‍රෝ පද්ධතිය පුළුල් කිරීම සහ සදර් අධිවේගී මාර්ගය වැනි ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඔහුට ගෞරවය හිමි වේ.

Mohammad Bagher Ghalibaf and Mohammad Khatami talking to each other.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

නමුත් වෙළෙඳපළ මිලට වඩා 50%ක් තරම් අඩු මිල යටතේ දැවැන්ත වට්ටම් සහිතව නිලධාරීන්ට සහ ආරක්ෂක නිලධාරීන්ට දේපළ සිය ගණනක් විකුණා දැමූ බවට නගර සභාවට චෝදනා එල්ල වූ, 2016 වසරේදී සිදුවූ බව කියන දැවැන්ත දේපළ වෙළෙඳාම් සහ මූල්‍ය දූෂණ වංචාවෙන් පසු ගලීබාෆ්ගේ කීර්ති නාමයට පහරක් එල්ල විය.

ගලිබාෆ් ධූරයෙන් ඉවත් වීමට මාස කිහිපයකට පෙර, ඉරානයේ පැරණිතම උස් ගොඩනැගිල්ලක් වූ මහල් 17කින් යුත් ප්ලාස්කෝ ගොඩනැගිල්ල, එහි හටගත් ගින්නකින් අනතුරුව කඩා වැටුණු අතර ඉන් ගිනි නිවන භටයින් 20 දෙනෙක් පමණ මිය ගියහ. මෙම අනතුර ගලීබාෆ්ගේ නායකත්වය යටතේ නගර පරිපාලනය තුළ පැවති පද්ධතිමය නොසලකා හැරීම් ඉස්මතු කළේ ය.

මෙම අපකීර්තිමත් සිදුවීම් දෙකෙන් එකක් හෝ මේ දක්වා ගලීබාෆ්ගේ ධූරයෙන් පහ කිරීමකට හෝ දෝෂාභියෝගයකට පවා හේතු වී නොමැති අතර එම සිදුවීම් දෙකෙන් ම ඔහු ආරක්ෂා විය. 2020 වසරේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු ආසනයක් දිනා ගත් අතර කතානායකවරයා ලෙස තේරී පත්විය.

ජනාධිපතිවරණ පරාජයන් සහ කතානායක ධූරය

ගලීබාෆ් සැමවිට ම ජනාධිපති ධූරය කෙරෙහි දැඩි අවධානයකින් පසුවූ නමුත් 2005, 2013, 2017 සහ 2024 යන වසරවලදී ඔහු ඒ සඳහා දැරූ උත්සාහයන් හතර ම අසාර්ථක විය.

ජනාධිපතිවරණයක් සඳහා තරග වැදි ඔහුගේ පළමු අවස්ථාවේදී ඉරානයේ විප්ලවීය ආරක්ෂක බළකායේ පළපුරුදු සොල්දාදුවෙකු වශයෙන් ඔහුගේ හමුදා පසුබිම අවධාරණය කළ නමුත්, පසුව ඔහු දේශපාලන භූගෝල විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකු සහ පුහුණු ගුවන් නියමුවෙකු ලෙස ඔහුගේ සුදුසුකම් ඉස්මතු කරමින් උපාය වෙනස් කළේ ය. හමුදාවේ කාර්යක්ෂමතාව සහ කැපවීම ගැන පුරසාරම් දොඩමින් ඔහු "ජිහාඩ් කළමනාකරුවෙකු" ලෙස ද හඳුන්වා දුන්නේ ය.

ගලීබාෆ් දිගු කලක් පුරාවට ප්‍රතිසංස්කරණවාදීන්ගේ ප්‍රතිවිරුද්ධ මතධාරියෙකු ලෙස සලකනු ලැබූව ද, මෑත වසරවලදී ඔහු ගතානුගතික කඳවුරේ කොටස් සමග වෙනස්කම් වර්ධනය කර ඇති බවට සලකුණු පවතී.

2024 ජනාධිපතිවරණයේදී දැඩි මතධාරී ගතානුගතික මතධාරී විශාල පිරිසක් ඔහුගේ අපේක්ෂකත්වයට විරුද්ධ වූ අතර ඔහු තරගයෙන් ඉවත් කිරීමට උත්සහ කළහ.

Mohammad Bagher Ghalibaf wearing a white shirt and black suit, waving and standing against a black background.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මොහොමඩ් බගර් ගලීබාෆ් 2005 සිට 2017 දක්වා ටෙහෙරානයේ නගරාධිපතිවරයා විය

2022දී ගලීබාෆ් නැවතත් දූෂණ වංචාවකට පැටලුණේ ය. තුර්කියේ සංචාරයකින් අනතුරුව ගුවන් තොටුපළේදී ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්ට්‍රෝලර් එකක් ඇතුළුව ළදරු සැපයුම් විශාල ප්‍රමාණයක් රැගෙන එන ඡායාරූප හුවමාරු වූ අතර එය විශාල වශයෙන් මහජන කෝපයට හේතුවිය.

ඔහුගේ විවේචකයින් ඔහුට "කුහකකම, දෙබිඩි පිළිවෙත සහ ව්‍යාජ භක්තිය" සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ නමුත් ඔහු සිය ආධාරකරුවන්ට පැවසුවේ මෙම සිදුවීම දේශපාලනිකව මෙහෙයවූවක් බව සහ තමා ඉරාන දේශපාලනයෙන් ඉවත් කිරීමට ගත් උත්සාහයක් බවයි.

ගලීබාෆ්ට මෙම අපකීර්තියෙන් හානියක් සිදු නොවූ අතර 2024 වසරේදී යළිත් කතානායකවරයා ලෙස තේරී පත් විය. ඉරානය දැන් තීරණාත්මක අවස්ථාවක සිටින බැවින්, යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යාම අධීක්ෂණය කිරීමට සහ ජ්‍යෙෂ්ඨ හමුදා අණ දෙන නිලධාරීන් සහ බලයේ ශාඛා තුනේ ප්‍රධානීන් අතර සම්බන්ධීකරණය කිරීමට ඔහුට ඇති හැකියාව නිසා දේශපාලනමය වශයෙන් ඔහුගේ වාසනාව තවදුරටත් බොහෝ සෙයින් ඉහළ යනු ඇත.

සංස්කරණය: ග්‍රේස් සෝයි