හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට සහය නොදුන්නොත් Nato එකතුවේ අනාගතය 'ඉතා නරක වේවි': ට්‍රම්ප් අනතුරු අඟවයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

කියවීමේ කාලය: මිනිත්තු 4

හෝමූස් සමුද්‍ර සන්ධිය නිරීක්ෂණය කිරීමට උදව් කිරීම පිළිබඳව රටවල් හතක් සමග පමණ සාකච්ඡා කළ බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටනය බලා ආපසු යන අතරතුරදී පැවසීය.

ට්‍රම්ප් එම රටවල් අතරින් එකක් ලෙස චීනය සඳහන් කළේ, ජල තීරය හරහා යාත්‍රා කරන තෙල් නැව්ගත කිරීම් සඳහා ප්‍රබලව බලපාන රටක් බව පවසමිනි.

අනෙක් රටවල් නම් නොකළ ද, ඔහු නේටෝ සන්ධානය ගැන සඳහන් කළ අතර ඇතැම් රාජ්‍යයන් තමන්ගේ ම භූමිය ආරක්ෂා කර ගත යුතු බව පැවසීය.

මීට පෙර, ඔහු ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට පැවසුවේ, හෝමූස් සමුද්‍ර සන්ධියෙන් ප්‍රතිලාභ ලබන ජාතීන් එය නැවත විවෘත කිරීම සඳහා සහය වීම "සුදුසු" බව ය.

අනෙකුත් රටවලින් ප්‍රතිචාරයක් නොලැබුණහොත් එය "නේටෝවේ අනාගතයට ඉතා නරක" විය හැකි බවට ට්‍රම්ප් අනතුරු ඇඟවූ අතර, ඇමෙරිකා එක්සත් ජනපදය තම යුරෝපීය මිත්‍ර පාර්ශවවලට "ඉතා මිහිරි" ලෙස සැලකූ බව පැවසීය.

"යුක්රේනය සම්බන්ධයෙන් අපට ඔවුන්ට උදව් කරන්න අවශ්‍ය නැහැ. යුක්රේනය අපෙන් සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටා තියෙන්නේ. . . . . නමුත් අපි ඔවුන්ට උදව් කළා. දැන් අපි බලමු ඔවුන් අපට උදව් කරයි ද කියලා. මොක ද මම බොහෝ කාලයක ඉඳලා කියන දෙයක් තමයි, අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය බවත් ඒත් ඔවුන් අප වෙනුවෙන් නොසිටින බවත්. ඔවුන් එහෙම ඉඳීවී කියලා මම විශ්වාස කරන්නෙ නැහැ." ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා "සාමූහික ප්‍රයත්නයකට" එක්වන ලෙස චීනය, ප්‍රංශය, ජපානය, දකුණු කොරියාව සහ එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටීමෙන් දිනකට පසුව ජනාධිපති ට්‍රම්ප් විසින් මෙලෙස අදහස් පළ කර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමේ සැලැස්ම ගැන බ්‍රිතාන්‍ය අගමැති අදහස් දක්වයි

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, "වෙළෙඳපොළවල ස්ථාවරත්වය සහතික කිරීම සඳහා" හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කළ යුතු බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපද මෙහෙයුම් මගින් "ඉරානයේ පිළිකුල්සහගත පාලනයේ" හමුදා හැකියාව "දැවැන්ත ලෙස දුර්වල කර" ඇතැයි පැහැදිලිව පෙනෙන බව බ්‍රිතාන්‍ය අගමැති පවසයි.

නමුත් ගැටුමෙන් පසු කියර් ස්ටාර්මර් පවසන්නේ, ඉරානයට ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන නැවත ගොඩනැංවීමට සහ ජාත්‍යන්තර නැව්ගත කිරීම සුරක්ෂිත කිරීමට ඇති හැකියාව සීමා කරන යම් ආකාරයක "සාකච්ඡාමය ගිවිසුමක්" අවශ්‍ය වනු ඇති බව ය.

"වෙළෙඳපොළවල ස්ථාවරත්වය සහතික කිරීම සඳහා" හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කළ යුතු බව ඔහු පවසයි.

"ඒක පහසු කාර්යයක් නෙමෙයි, ඒ නිසා කලාපය තුළ ආරක්ෂිත සහ නිදහසේ නෞකා යාත්‍රා කිරීමේ හැකියාව නැවත ගෙන එන්න පුළුවන් ප්‍රායෝගික සැලැස්මක් නිර්මාණය කරන්න එක්සත් රාජධානිය තමන්ගේ මිත්‍ර පාක්ෂිකයින් සමග කටයුතු කරනවා," ඔහු පැවසීය.

මැද පෙරදිගට යුද නැව් යැවීම ගැන බ්‍රිතාන්‍යය අගමැති සලකා බැලිය යුතුයි - හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා පවසයි

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉරානයට එරෙහි යුද්ධයේදී ඇමෙරිකා එක්සත් ජනපදයට සහය වීම සඳහා මැද පෙරදිගට යුද නැව් මෙන් ම ඩ්‍රෝන යානා යැවීමට එක්සත් රාජධානියේ අගමැතිවරයා කටයුතු කළ යුතු බව එක්සත් රාජධානියේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පවසයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීම බ්‍රිතාන්‍යයේ "ජාතික අවශ්‍යතාවට" අයත් බවත්, එය ගෝලීය ආර්ථිකයට වැදගත් බවත් ජෙනරාල් ශ්‍රීමත් නික් කාටර් බීබීසී රේඩියෝ 4හි Today වැඩසටහනට පැවසීය.

ඉරානයේ හැකියාවන් ගැන විමසූ විට, ඔහු පවසන්නේ ඉරාන නාවික හමුදාව පෙරට වඩා දුර්වල විය හැකි නමුත් ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) නාවික හමුදාව "තවමත් ශක්තිමත්ව" සිටින බව ය.

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය මිසයිල, ඩ්‍රෝන යානා, වේග ප්‍රහාරක බෝට්ටු, මිනිසුන් රහිත බෝට්ටු සහ මුහුදු භාවිත කරන බවත්, "සමුද්‍ර සන්ධිය පාලනය කිරීමේදී ඔවුන් ඉතා දක්ෂ බවත්" ජෙනරාල් කාටර් පවසයි.

"ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන, බොහෝ රටවල් සහභාගි වන, හොඳින් සංවිධානය වූ මෙහෙයුමක් දැකීමට තමා කැමති" යැයි ජෙනරාල් කාටර් පැවසීය.

"කිසි ම රටකට මේක තනිව ම කරන්න බැහැ. හැම කෙනෙකු ම එකට වැඩ කළ යුතු යි. මෙහෙයුම දුෂ්කර හා ප්‍රවේශමෙන් සැලසුම් කළ එකක් විය යුතු යි," ඔහු පවසයි.