තරුණිය දූෂණය කළේ කුලී රථ රියදුරා

තරුණිය තම නිවසට යෑම සඳහා ජංගම දුරකතනය භාවිතා කොට අන්තර්ජාලය මාර්ගයෙන් කුලී රථයක් වෙන් කරවා ගෙන තිබේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, තරුණිය තම නිවසට යෑම සඳහා ජංගම දුරකතනය භාවිතා කොට අන්තර්ජාලය මාර්ගයෙන් කුලී රථයක් වෙන් කරවා ගෙන තිබේ

ඉන්දීය තරුණියක් දූෂණය කළ බවට චෝදනා ලැබ සිටි කුලී රථ රියදුරෙකු ඊට වරදකරු බව අධිකරණය තීන්දු කරයි.

‘ඌබර්’ නමැති කුලී රථ සේවයේ රියදුරකු වශයෙන් සේවය කළ ශිව් කුමාර් යාදේව් නැමැත්තාට එරෙහිව එම චෝදනා එල්ල වූයේ පසුගිය වසරේදීයි.

දූෂණ චෝදනාවට අමතරව තර්ජනය කිරීම හා පැහැර ගෙන යෑමේ අපරාධවලටද ඔහු වරදකරු බව තීන්දු කොට තිබේ.

ශිව් කුමාර් යාදේව් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම චෝදනාවලට තමා වරදකරු නොවන බවයි.

‘ඌබර්’

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිය නිවස බලා යාමට ‘ඌබර්’ කුලී රථ සේවයේ රථයකට ගොඩ වූ 26 හැවිරිදි තරුණියක් පාළු ස්ථානයකට ගෙන ගොස් දූෂණයට ලක් කොට තිබිණි.

ජංගම දුරකථන හරහා කුලී රථ වෙන් කරවා ගත හැකි ‘ඌබර්’ සහ එවැනි අනෙකුත් කුලී රථ සේවා ආයතන කිහිපයක් තහනම් කිරීමට දිල්ලි බලධාරීන් පියවර ගත්තේ මෙම දූෂණ සිදුවීමෙන් අනතුරුවයි.

අන්තර්ජාලය ඔස්සේ වෙන් කර ගන්නා එවැනි කුලී රථ පදවන රියදුරන්ගේ අනන්‍යතාවය නිසි පරික්ෂාවට ලක් කිරීමට නොහැකි බවට බලධාරීහු චෝදනා කළහ.

‘ඌබර්’ කුලී රථ සේවය සඳහා ඉන්දියාව තුළ සාපේක්ෂව වැඩි ගාස්තුවක් අය කෙරෙන අතර එය තරුණ වෘත්තිකයන් අතර ජනප්‍රිය කුලී රථ සේවයක් ලෙස සැලකේ.

මෙම දූෂණ සිදුවීම සම්බන්ධයෙන් එවකට සමාව අයැඳ සිටි ‘ඌබර්’ ආයතනය නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කොට තිබේ.

ඉන්දියාවේ ලිංගික ප්‍රචණ්ඩත්වය


දූෂණයට ලක් වූ බවට ඉන්දීය පොලිසිය වෙත වාර්ෂිකව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව - ඉන්දීය ආණ්ඩුවේ මූලාශ්‍ර
ඡායාරූප ශීර්ෂ වැකිය, දූෂණයට ලක් වූ බවට ඉන්දීය පොලිසිය වෙත වාර්ෂිකව ලැබුණු පැමිණිලි සංඛ්‍යාව - ඉන්දීය ආණ්ඩුවේ මූලාශ්‍ර

දෙදහස් දොළහ වසරේදී දිල්ලි සිසුවියක් බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කිරීමත් සමග ස්ත්‍රී දූෂකයන්ට එරෙහිව පවතින නීති තර කොට ඔවුන්ට එරෙහිව

දැඩි දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස ඉන්දීය ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල විය.

පසුගිය සති කිහිපය තුළ දූෂණයට ලක් වූ බාලවයස්කාර දැරිවියන් කිහිප දෙනකු පිළිබඳ ඉන්දියාවෙන් අසන්ට ලැබිණ.