වසරේ ගූගල් සෙවුම්: වර්ඩ්ල්, යුක්රේනය සහ ජොනී ඩෙප් ලැයිස්තුවේ ඉහළින්ම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, Web-based word game Wordle was the most searched term in 2022, according to Google

අප අන්තර්ජාලය තුළ නිතර අසන, සොයාබලන දේ පිළිබඳ වාර්ෂික සාරාංශයක් වන, ගූගල් සමාගමේ Year in Searchහි (වසරේ සෙවුම්) 2022 සංස්කරණය මේ වන විට නිකුත්වී තිබේ.

ගෝලීය වශයෙන් වැඩිපුරම සෙවූ පදයන් ලැයිස්තුවේ ඇතැම් විස්මයන් ඇතත් - අප තෝරාගත් විශේෂ ශීර්ෂයන් මෙන්න:

වර්ඩ්ල් සහ ක්‍රිකට්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩිපුරම සෙවූ ලැයිස්තුවට ලෝක කුසලාන තරගාවලියක් ඇතුළත් වූ නමුත්, ඒ කටාර්හි පාපන්දු කුසලානය නොවේ

වේල්ස්හි මෘදුකාංග ඉංජිනේරුවෙකු වන ජොෂ් වෝඩ්ල් විසින්, ඔහුගේ සහකරුට ලබාදෙන ත්‍යාගයක් ලෙස නිර්මාණය වූ වෙබ් පාදක වදන් ක්‍රීඩාව 2022 දී ගූගල්හි වැඩිපුරම සෙවූ යෙදුමබවට පත්විය.

වර්ඩ්ල් (Wordle) 2021 ඔක්තෝම්බර් මාසයේ දී නිකුත්වූ දා පටන් වෛරල්වෙමින් පැවති අතර, ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව ඉහළ ගියේ, 2022 ජනවාරි 31 දා නිව් යෝර්ක් ටයිම්ස් සමාගම විසින් හෙළි නොකළ "ඉලක්කම් හතක මුදලකට" වර්ඩ්ල් එහි නිර්මාතෘගෙන් මිලට ගැනීමෙන් පසුබව පෙනෙයි.

NYT විසින් ක්‍රීඩාව මිලදී ගැනීමෙන් පසු, ඊට ප්‍රවේශවන්නේ කෙසේදැ යි සොයන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළයෑම මෙම සෙවුම් ප්‍රවණතාවට හේතුවීයැ යි සිතිය හැකි ය.

වත්මන් කටයුතුවලට අයත්වන සිදුවීම්වලින් පිරුණු වසරක් තුළ, යුක්රේනය සහ දෙවැනි එලිසබෙත් රැජිනගේ මරණය පිළිබඳ සෙවුම් පසුකර මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පැමිණියේ ක්‍රීඩා ඉසව්වකි.

නොවැම්බර් 10 වැනි දා පැවැති, විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර අවසන් පූර්ව තරගය වසරේ දෙවැනි විශාලතම ගෝලීය සෙවුම විය.

එම තරගාවලියේ, දකුණු අප්‍රිකාවට එරෙහිව තවත් ඉන්දීය තරගයක් ද පළමු සෙවුම් පහ අතරට පැමිණියේ ය.

වැඩියෙන්ම සෙවූ පුවත්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුක්රේන යුද්ධය, පුවත් කාණ්ඩයේ වැඩිම සෙවුම් සංඛ්‍යාවක් ජනනය කළේ ය

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය, සහ බ්‍රසීලයේ, එක්සත් ජනපදයේ, සහ ෆිලිපීනයේ දැඩි ලෙස ධ්‍රැවීකරණය වූ මැතිවරණ විසින් මතු කෙරුණු පොදු උනන්දුව පසුකොට, රුසියාවේ යුක්රේන ආක්‍රමණය ප්‍රවෘත්ති කාණ්ඩයේ සෙවුම් අතර ආධිපත්‍යය දැරී ය.

ප්‍රවෘත්ති කාණ්ඩයේ වැඩිපුරම සෙවූ ශීර්ෂයන් 10 අතරට හෝ කොවිඩ්-19 පිළිබඳ සෙවුම් ඇතුළත් නොවුණත්, වඳුරු උණ (monkeypox) පිළිබඳ උත්සුකයන් කොතරම් පුළුල්ව පැතිරී තිබුණේ ද යත් ඉහළම ස්ථාන පහ අතර රැඳී සිටීමට එය සමත්විය.

තරු අතර ආරවුල්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්කාර් කම්මුල් පහර: පහරදෙන්නා සහ වින්දිතයා යන දෙදෙනාම ගූගල් සෙවුම්වල ට්‍රෙන්ඩ් විය

චිත්‍රපට තරු අතර සිදුවුණු නඩු විභාගයන් සහ පීඩාවන් 2022 වසරේ ගූගල් සෙවුම් අතරින් ඉහළටම පැමිණ තිබුණි.

වැඩිපුරම සෙවූ පුද්ගලයා වූයේ, නිළියක ද, සිය පෙර බිරිඳ ද වූ ඇම්බර් හර්ඩ් උසාවියට ගෙනගිය ජොනී ඩෙප් (ඇය ද ඔහුට එරෙහිව නඩු පැවරුවා) ය.

ලැයිස්තුවේ අනුශූරතාව දිනූයේ මතභේදයට තුඩුදුන් තවත් හොලිවුඩ් තරුවකි: සත්කාරක ක්‍රිස් රොක්ට පහරදීම සම්බන්ධයෙන්, විල් ස්මිත් මේ වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ කතාබහට ලක්විය. ඇම්බර් හර්ඩ් සහ ක්‍රිස් රොක් ද ඉහළම සෙවුම් පහ අතරට ඇතුළත් විය.

සුපිරි වීරයින් පිළිබඳ චිත්‍රපට තවමත් ඉහළින්ම

ඡායාරූප මූලාශ්‍රය, Marvel Studios

ඡායාරූප ශීර්ෂ වැකිය, නව තෝර් චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබුවේ නැතත්, 2022 වසරේ ගූගල්හි චිත්‍රපට සෙවුම් ලැයිස්තුවේ ඉහළින්ම සිටියි

සුපිරි වීරයින් පිළිබඳ චිත්‍රපට 2022 දී තරමක් පසුබෑමකට ලක්ව තිබුණි - මෙවසරේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට ලැයිස්තුවේ ඉහළින්ම සිටීමට ඒවා අපොහොසත්ව ඇති අතර, මාටින් ස්කොසේසි සහ ක්වෙන්ටින් ටැරන්ටිනෝ වැනි සුප්‍රසිද්ධ අධ්‍යක්ෂවරුන්ගේ විවේචනයට ලක්විය.

නමුත් ඒවා සෙවුම් අතර ප්‍රමුඛයා විය: Thor: Love and Thunder සහ Black Adam ගූගල්හි වැඩිපුරම සෙවූ චිත්‍රපට ද්විත්වය යි.

Top Gun: Maverick ගැන ගෞරවනීය සඳහනක් ද විය. 2022 දී සිනමා ශාලාවල තිරගත කෙරුණු සියලුම සුපිරි වීර චිත්‍රපටයන්ට වඩා වැඩියෙන් නරඹන ලද, ටොම් කෲස් රඟපානා බ්ලොක්බස්ටර් ක්‍රියාදාම චිත්‍රපටය තෙවැනි ස්ථානයට පත්විය.

පසූරි සංසිද්ධිය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අලී සේති (ඡායාරූපයේ සිටින) සහ ෂේ ගිල්ගේ 'පසූරි' නම් ගීය, පාකිස්ථාන පොප් සංගීතයට 2022 යහපත් වසරක්බවට පත්කළේ ය

BTS පසුපසට තල්ලු කරමින්, 2022 වසරේ දී ගූගල්හි "hum to search" පහසුකම (සංගීතය හඳුනාගැනීමට කෘත්‍රිම බුද්ධිය භාවිතා කරයි) හරහා වැඩිපුරම සෙවූ ගීතය වූයේ, පාකිස්ථාන ගායකයින් වන ෂේ ගිල් සහ අලී සේති විසින් ලියැවුණු පසූරි ය.

මෙම ගීතය ඩිස්නි ප්ලස් සමාගමේ මිස් මාර්වල් වැඩසටහනේ කථාංගයක ඇතුළත්වූ පසු එහි ජනප්‍රියත්වයට විශාල තල්ලුවක් ලැබුණු අතර, කොරියානු සංගීත කණ්ඩායමක් වන BTSහි Butter නම් ගීය පරදා ඉදිරියට පැමිණියේ ය.

වැඩියෙන්ම සෙවූ සාම්ප්‍රදායික ගීත ලැයිස්තුවේ ද දෙවන ස්ථානය දිනාගැනීමට පසූරි සමත්විය. එම ලැයිස්තුවේ විස්මිත ජයග්‍රාහකයා වූයේ ඉන්දුනීසියානු පොප් ගායිකාවක් වන කේස්‍යා ලෙව්රොන්කා ගැයූ තා ඉඟින් උසායි ය.

යොවුන් කතාමාලා ඉදිරියෙන්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවසරේ එහි දෙවන සීසන් එක විකාශයවීමත් සමග, Euphoria රූපවාහිනී සෙවුම් ලැයිස්තුවේ ඉහළින්ම සිටියේ ය

බ්ලොක්බස්ටර් ෆැන්ටසි රූපවාහිනී කතාමාලා දෙකක් දියත්කිරීම මඟින් සනිටුහන් වූ වසරක් තුළ, සිතට දැනෙන අන්දමේ යොවුන් නාට්‍ය මාලාවක් වන Euphoria ලෝක අවධානය දිනාගත් අතර, කාණ්ඩයේ සෙවුම් අතර ප්‍රමුඛයා විය.

මෙමඟින්, Game of Thrones හා බැඳි HBO කතාමාලාවක් වන හවුස් ඔෆ් ද ඩ්‍රැගන් දෙවන ස්ථානයට පහත හෙළනු ලැබුණි.

කෙසේ වෙතත්, Amazonහි වීර කාව්‍යය (හා මිල අධික) වූ Lord of the Rings: The Rings of Power මාලාව මුල් ස්ථාන 10 අතරට හෝ පැමිණියේ නැත.