කාබුල් හී මරාගෙන මැරෙන ප්‍රහාරයකින් විශ්වවිද්‍යාල පුහුණුවීම් විභාගයකට පෙනී සිටිමින් සිටි තරුණ පිරිසක් මරුට

Relatives and medical staff shift a wounded girl from an ambulance outside a hospital in Kabul on September 30, 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඥාතීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය තුවාල ලැබූ දැරියක් ගිලන් රථයකින් කාබුල්හි රෝහලකට ගෙන යන අයුරු

ඇෆ්ගනිස්ථානයේ අගනුවර උපකාරක මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි කාබුල් පොලිසිය පවසයි.

ඒ නගරයට බටහිරින් පිහිටි ඩාශ්ට්-ඒ-බාර්චි ප්‍රදේශයේ කාජ් අධ්‍යාපන මධ්‍යස්ථානයේ මෙම පිපිරීම සිදුව තිබේ.

එහි සිටී සිසුන් විශ්වවිද්‍යාල පුහුණුවීම් විභාගයකට පෙනී සිට ඇති බව එම මධ්‍යස්ථානයේ නිලධාරීන් පවසයි. මියගිය අයගෙන් වැඩි දෙනෙක් ගැහැණු ළමුන් බව වාර්තා වේ.

එම ප්‍රදේශයේ වෙසෙන බොහෝ දෙනෙක් මීට පෙර ප්‍රහාරවලට ලක්වූ හසාරා වාර්ගික සුළුතරයට අයත් වෙති.

ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවල සහ සමාජ මාධ්‍යවල පැතිර යන දර්ශන වල අසල පිහිටි රෝහලක දර්ශන දිස්වන අතර එහිදී ආවරණය කරන ලද මළසිරුරු බිම තබා තිබෙනු දක්නට ලැබුණි. පෞද්ගලික විද්‍යාලය පිහිටි ස්ථානයෙන් වාර්තා වූ දර්ශන වලට අනුව හානියට පත් පන්ති කාමරවල සුන්බුන් සහ උඩු යටිකුරු කරන ලද මේසද දිස්වේ.

"ඇයව මෙහි සොයාගන්නට නැහැ," යනුවෙන් එක් රෝහලක තම වයස අවුරුදු 19ක සහෝදරිය සොයමින් සිටි කාන්තාවක් AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවාය.

ඇසින් දුටු සාක්ෂිකරුවන් බීබීසීයට පැවසුවේ මෙම ප්‍රහාරයට ගොදුරු වූවන්ගෙන් වැඩි දෙනෙක් ගැහැණු දරුවන් බවයි. ප්‍රහාරය සිදුවන විට අදාළ කාමරයේ පුද්ගලයින් 600ක් පමණ සිටි බව තුවාල ලැබූ සිසුවෙක් AFP වෙත පැවසීය.

Young man at hospital after the attack
ඡායාරූප ශීර්ෂ වැකිය, මිතුරන් සහ ඥාතීන් රෝහල්වල තම ආදරණීයයන් සොයමින් සිටිති

කාජ්‍ උපකාරක මධ්‍යස්ථානය යනු පිරිමි සහ ගැහැණු සිසුන් දෙපාර්ශවයටම උගන්වන පෞද්ගලික විද්‍යාලයකි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු රටේ බොහෝ බාලිකා පාසල් වසා දමා ඇති නමුත් තවමත් සමහර පෞද්ගලික පාසල් විවෘතව ඇත.

27 දෙනෙකුට තුවාල සිදුවී ඇති බව තලෙයිබාන් සංවිධානයේ කාබුල් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවත් තවමත් කිසිඳු සංවිධානයක් අදාළ පිපිරීමේ වගකීම භාරගෙන නැත.

නමුත් සුන්නි ඉස්ලාමයට අනුගත වන සටන්කාමී ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම (IS) සහ තලේබාන් යන දෙඅංශයෙන්ම බොහෝ කලක සිට හිංසා පීඩාවලට මුහුණ දුන් හසාරාවරුන්ගෙන් වැඩි දෙනෙක් ෂියා මුස්ලිම්වරු වෙති.

හසාරා යනු ඇෆ්ගනිස්ථානයේ තුන්වන විශාලතම ජනවාර්ගික කණ්ඩායමයි.

සිකුරාදා තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක පැවසුවේ ආරක්ෂක කණ්ඩායම් එම ස්ථානයේ සිටී බවත් ඔවුන් මෙම ප්‍රහාරය හෙළා දකින බවත්ය.

අබ්දුල් නෆී තකූර් පැවසුවේ සිවිල් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සතුරාගේ අමානුෂික කෲරත්වය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් නොමැතිකම ඔප්පු කරන බවයි.

මෙම ප්‍රහාරය ඇමරිකාව විසින් ද දැඩි ලෙස හෙළා දැක තිබේ.

"විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් පිරුණු කාමරයක් ඉලක්ක කර ගැනීම ලැජ්ජා සහගත ය; සියලුම සිසුන්ට සාමයෙන් සහ බියෙන් තොරව අධ්‍යාපනය හැදෑරීමට හැකි විය යුතුය," ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද දූත මණ්ඩලයේ කටයුතු භාර කැරන් ඩෙකර් ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

Kabul map

තලේබාන් අත්පත් කර ගැනීමෙන් අනතුරුව සටන් අවසන් වීමෙන් පසු වැඩිදියුණු වූ ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක තත්ත්වය පසුගිය මාස කිහිපය තුළ පිරිහෙමින් පවතින අතර තලේබාන් ආධාරකරුවන්, මුස්ලිම් පල්ලි සහ IS සංවිධානය විසින් ප්‍රකාශ කරන ලද අනෙකුත් ඉලක්ක වෙත ප්‍රහාර ගණනාවක් එල්ල විය. IS සංවිධානය තලේබාන් සංවිධානයේ දැඩි ප්‍රතිවාදියකු වේ.

ඩාශ්ට් ඒ බාර්චි ප්‍රදේශය ප්‍රහාර මාලාවකින් ඉලක්ක කර ඇත, සමහරක් අවස්ථාව වලදී පාසල් සහ රෝහල් වෙත ද ප්‍රහාර එල්ල වී ඇත.

පසුගිය වසරේ තලෙයිබාන් සංවිධානය නැවත බලයට පැමිණීමට පෙර ඩාශ්ට් ඒ බාර්චි හි බාලිකා පාසලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් සිසුන් 85 දෙනෙකු මිය ගිය අතර තවත් සිය ගණනක් තුවාල ලැබූහ.