ජැක්පොට්: ලොතරැයිය 'හැක්' කර ඩොලර් මිලියන 26ක් දිනා ගැනීමට සරල ගණිතය භාවිතා කළ යුවලක්

Jerry and Marge Selbee

ඡායාරූප මූලාශ්‍රය, Jerry Selbee

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙරී සහ මාජ් සෙල්බී එක්සත් ජනපදයේ ප්‍රාන්ත දෙකක ලොතරැයිය "ක්‍රීඩා" කර ඩොලර් මිලියන 26 ක ත්‍යාග උපයා ගත්හ

ලොතරැයියක් දිනා ගැනීම අතිමහත් බහුතරයකට ඉටුකරගත නොහැකි සිහිනයකි. නමුත් එක්සත් ජනපදයේ යුවලක් එය සැබෑ කරගැනීමට සමත් විය. ඒ, මූලික අංක ගණිතයේ ආධාරයෙන් සහ ලොතරැයි නියමයන් සහ කොන්දේසි වල තිබූ හිඩැසක් යොදාගනිමිනි.

ජෙරී සහ මාර්ජ් සෙල්බී දශකයක කාලයක් තුළ එක්සත් ජනපද රජයේ ලොතරැයි දෙකකින් ජයග්‍රාහී ටිකට් දුසිම් ගණනක් මිලදී ගෙන ඇත. 2003 සහ 2012 අතර කාලයේදී ඔවුන් ඩොලර් මිලියන 26ක් උපයාගෙන තිබේ.

ඔවුන්ගේ රහස කුමක්ද? ඉතා සරල ගණිත ක්‍රමයකින් "විනාඩි තුනකින්" එය විසඳූ බව ජෙරී සෙල්බී කියයි.

ඔවුන්ගේ මෙම අසාමාන්‍ය කතාව හොලිවුඩයට ද ගොස් ඇති අතර Jerry & Marge Go Large නමින් චිත්‍රපටයක් ද නිපදවා ඇත. Breaking Bad හි ප්‍රධාන චරිතය රඟපෑ බ්‍රයන් ක්‍රෑන්ස්ටන්, සහ ඇනට් බෙනිං මීට රංගන දායකත්වය සපයා තිබේ.

The Devil Wears Prada වැනි චිත්‍රපට නිපැයූ ඩේවිඩ් ෆ්‍රැන්කල් මෙය අධ්‍යක්ෂණය කර ඇති අතර, ඔහුගේ නිර්මාණාත්මක සන්දර්භයන් ද මෙම කතාවට එක් කර තිබේ. එහි ඔවුන් ‍ජයග්‍රහණයෙන් මත් නොවූ කෙතරම් සරල යුවළක් ද යන්න පෙන්නුම් කරයි.

අවවාදයයි: මෙම ලිපියේ ඉදිරි තොරතුරු චිත්‍රපටයේ ආස්වාදයට ඔබට බාධාවක් විය හැක.

'සරල ගණිතය'

සෙල්බීලාගේ කතාව The Wolf of Wall Street චිත්‍රපටයේ නිරූපණය කරන ලද හිටපු නිව් යෝර්ක් කොටස් තැරැව්කරු ජෝර්ඩන් බෙල්ෆෝර්ට්ගේ කතාවෙහි සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ කතාව වේ.

Bryan Cranston and Annette Bening in a scene of Jerry & Marge Go Large

ඡායාරූප මූලාශ්‍රය, Paramount+

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම යුවළගේ කතාව Jerry & Marge Go Large චිත්‍රපටයේ කතා වස්තුව බවට පත් විය

මෙම යුවළ ඔවුන්ගේ මුළු ජීවිත කාලයම මිචිගන් ප්‍රාන්තයේ එවරට් නම් කුඩා නගරයේ ගත කර ඇති අතර, 2003 වනතුරුම ඒ ජීවිතයේ උද්වේගී යමක් නොවීය. වසර ගණනාවක් ඔවුන් නගරයේ ප්‍රධාන වීදියේ කුඩා වෙළඳසැලක් පවත්වාගෙන ගියහ.

දරුවන් හය දෙනෙකු සිටින ජෙරී සහ මාර්ජ් ව්‍යාපාරය විකුණා තම ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටියදී දිනක් ජෙරී; වින්ඩ්ෆෝල් ප්‍රාන්ත ලොතරැයිය සඳහා වූ දැන්වීමක් දුටුවේය.

කුඩා අකුරින් වූ ක්‍රීඩාවේ නීති කියවූ ඔහු ඉතා ඉක්මන් මනසින් ගණනය කිරීමක් කර එහි විශාල අවස්ථාවක් තමන්ට ඇති බව වටහා ගත්තේය.

"මට රිංගන්න තැනක් හම්බ වුණා," ජෙරී 2019 එක්සත් ජනපද රූපවාහිනී ජාලයක් වන CBS හි පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැහැදිලි කළේය.

වින්ඩ්ෆෝල් ලොතරැයි දිනුම් ඇදීම ජයග්‍රහණය කිරීම සඳහා ක්‍රීඩකයෙකුට දිනුම් ඇදීමේ අංක හයම ගැලපීමට සිදු විය. කිසිවෙකුට හයම ගැලපීමට නොලැබුණේ නම්, ත්‍යාගය අංක පහක්, හතරක් සහ තුනක් අනුමාන කළ අය අතර බෙදී යයි.

එම නීතිරීති යටතේ, මෙසේ වැඩි දෙනෙකුට ජයග්‍රහණයේ සම්භාවිතාව එක් අයෙකුගේ අංක සංයෝජනයකට පමණක් දිනුම් ලබාදෙන දෙන ජැක්පොට් වලට වඩා බෙහෙවින් වැඩි විය.

ලොතරැයි විශාල ප්‍රමාණයක් මිලදී ගැනීමෙන් ඔහුට ජයග්‍රහණය කිරීමේ ප්‍රබල සම්භාවිතාවයක් ඇති බව ජෙරී නිගමනය කළේය.

ඔහු ලොතරැයි ටිකට් සඳහා ඩොලර් 1,100ක් වියදම් කළහොත්, ඔහුට අවම වශයෙන් අංක හතරේ ජයග්‍රාහී එක් ටිකට් පතක් හෝ තිබෙනු ඇතැයි ඔහු ගණන් බැලුවේය.

Annette Bening by a ticket machine in a scene of Jerry & Marge Go Large

ඡායාරූප මූලාශ්‍රය, Paramount+

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම යුවළ ලොතරැයිපත් මිලදී ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කළහ

"මට අංක හතරේ ජයග්‍රාහකයෙකුට දෙන ඩොලර් 1,000 ක් සහ අංක තුනේ ජයග්‍රාහකයින්ට දෙන ඩොලර් 50 බැගින් වන ත්‍යාග 18 කින් ඩොලර් 900 ක් විතර ලැබුණා," ඔහු පැහැදිලි කළේය.

"ඉතින් ඩොලර් 1,100 ක් වියදම් කළාම මට ඩොලර් 1,900 ක් පමණ ආපසු ලැබුණා."

"ඒක සරල ගණිතය පමණි" කවුරුත් දන්නා දෙයක් කියන්නාක් මෙන් මෙම විශ්‍රාමිකයා පැවසීය.

ලොතරැයි මිලදී ගන්නා සමාගමක්

එක්සත් ජනපද සංගණන කාර්යාංශයට අනුව ඇමරිකානුවන් රාජ්‍ය ලොතරැයි සඳහා වසරකට ඩොලර් බිලියන 70 ක් පමණ වියදම් කරයි. එය සාමාන්‍යයෙන් එක් පුද්ගලයෙකුට ඩොලර් 230 ඉක්මවූ මුදලකි.

සෙල්බීස් ඊට වඩා ටිකක් වැඩියෙන් වියදම් කළ නමුත් ඉන් වැඩි අවාසියක් නොවීය.

තවද ජෙරී ජයග්‍රහණ ප්‍රමාණය ඉහළ නැංවීමට ද පසුබට වූයේ නැත. පසුව ඔහුට ඩොලර් 3,600 ක වියදමක් සඳහා ඩොලර් 6,300 ක් ත්‍යාග වශයෙන් ලැබුණි. තවත් දිනුම් ඇදීමකදී ඔහු ඩොලර් 8,000ක ලොතරැයි මිල දී ගත් අතර එහි ජයග්‍රහණවලින් එවන් දෙගුණයක් ඔහු දිනා ගත්තේය.

ජෙරී තම බිරිඳට තමා කරන්නේ කුමක්දැයි පැවසීමට තීරණය කළේ එම අවස්ථාවේ දී ය.

මෙම යුවළ තවත් ඩොලර් දහස් ගණනක් ආයෝජනය කිරීමට පටන් ගත් අතර ආදායම් කළමනාකරණය කිරීම සඳහා GS Investment Strategies LLC නමින් සමාගමක් ද පිහිටුවාගැනිනි.

A lottery ticket from the Georgia state lottery

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ එක්සත් ජනපද ලොතරැයි වලට ප්‍රතිවිරුද්ධව, මිචිගන් සහ මැසචුසෙට්ස් හි ක්‍රීඩා අඩු නිවැරදි සංඛ්‍යා සහිත ජයග්‍රාහකයින් අතර ජැක්පොට් බෙදී යයි.

එක් අවස්ථාවක ඔවුන් සමාගමෙහි කොටස් ඩොලර් 500 කට විකුණමින් ඔවුන්ගේ අසල්වාසීන්ට ද ආරාධනා කිරීමට තීරණය කළහ.

ආයෝජකයින් අතර එවරෙට්හි ගොවීන් සහ නීතිඥයින් ද ඇතුළත් විය. ලොතරැයි ත්‍යාග නොකඩවා ලැබුණු අතර යුවළගේ බැංකු පොත්වලට අනුව ඉහළම දිනුම ඩොලර් 853,000 ක් විය.

සෙල්බීලාට මුළු ව්‍යාපාරයම ඉතා ලාභදායී වුවද, ලොතරැයි විශාල වශයෙන් මිලදී ගැනීම සඳහා විශාල කාලයක් හා වෙහෙසක් වැය විය.

මිචිගන්හි වින්ඩ්ෆෝල් ලොතරැයිය වසා දැමීමත් සමඟ ආදායම් නතර විය. කෙසේ වෙතත්, මෙම යුවළගේ මිතුරෙකු ඔවුන්ට උපදෙස් දුන්නේ එවරට් හි සිට කිලෝමීටර් දහස් ගණනක් දුරින් පිහිටි මැසචුසෙට්ස් ප්‍රාන්තය කෑෂ් වින්ඩ්ෆෝල් නමින් එවැනිම ලොතරැයියක් පවත්වාගෙන යන බවයි.

මිනිත්තු කිහිපයක ගණනය කිරීම් වලින් පසුව, ජයග්‍රහණ දිගටම ලැබිය හැකි බව ජෙරීට වැටහුණි. මෙම යුවළ වසර හයක් තිස්සේ මැසචුසෙට්ස් වෙළඳසැල් දෙකක ලොතරැයි ටිකට් යන්ත්‍ර භාවිතා කිරීමට සහ කෑෂ් වින්ඩ්ෆෝල් ක්‍රීඩා කිරීමට එක්සත් ජනපද ප්‍රාන්ත හයක් පුරා එහා මෙහා ගියහ.

සාමාන්‍යයෙන් ඔවුන් එක් ක්‍රීඩා වාරයකදී ඩොලර් 600,000ක් පමණ බැගින් වසරකට හත් වතාවක් වැය කළ බව ජෙරී පවසයි.

මෙහෙයුමේ කොටසක් ලෙස, සෙල්බී යුවළ දින 10 ක් හෝටලයක ගත කරන අතර, පැය 10 ක් මාරුවෙන් මාරුවට ටිකට්පත් වර්ග කරයි. දැන් 80 හැවිරිදි ජෙරීට එය 'විනෝදකාමී' මතකයකි.

"අපි විතරක් නෙවෙයි අපගේ මිතුරන් සහ ඒ පවුල්වල අයවත් ගොඩ ගන්න එකෙන් තෘප්තියක් ලැබෙනවා," ඔහු පැවසීය.

සෙල්බි යුවළ නීති විරෝධී යමක් කළේද?

බොස්ටන් ග්ලෝබ් පුවත්පත විසින් කරන ලද පරීක්ෂණයකින් මැසචුසෙට්ස් හි වෙළඳසැල් කිහිපයක ජයග්‍රාහී ප්‍රවේශපත්‍ර සැකසහිත ලෙස ඉහළ ප්‍රමාණයක් අලෙවි කර ඇති බව අනාවරණය වීමෙන් පසුව 2012 දී එම වික්‍රමය අවසන් විය.

එහි දී පෙනී ගොස් ඇත්තේ මෙම සූදුවෙන් මුදල් ඉපයූයේ සෙල්බී යුවළ පමණක් නොවන බවයි. මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) සිසුන් පිරිසක් ද කෑෂ් වින්ඩ්ෆෝල් ලොතරැයියෙන් මෙලෙස ජයග්‍රහණය කර ඇති බවයි.

Bryan Cranston and Annette Bening look at lottery tickets in a scene of Jerry & Marge Go Large

ඡායාරූප මූලාශ්‍රය, Paramount+

ඡායාරූප ශීර්ෂ වැකිය, චිත්‍රපටියෙන් දැක්වෙන්නේ ජයග්‍රාහී ප්‍රවේශපත්‍ර සෙවීමේ ජෙරී සහ මාජ්ගේ වෙහෙසකර දින චර්යාවයි

මින් ලොතරැයියේ කිසියම් වංචාකාරී ක්‍රමයක් හෝ දූෂණයක් සිදුවී ඇත්දැයි සොයා බැලීමට රාජ්‍ය බලධාරීන් පෙළඹුණි. ඔවුන් පුදුමයට වූයේ, මෙහිදී නීති විරෝධී කිසිවක් සිදු වී නොමැති බව දැකීමෙනි.

"විමර්ශනය කරද්දි මහජන මතය වුණේ කිසියම් ආකාරයක සංවිධානාත්මක අපරාධයක් හෝ රාජ්‍ය දූෂණයක් ඇති කියලායි," විමර්ශනයට නායකත්වය දුන් පරීක්ෂක ග්‍රෙග් සුලිවන් CBS වෙත පැවසීය.

"මෙම ගණිත සූරයෝ රාජ්‍ය ලොතරැයියකින් මිලියන ගණනක් උපයා ගන්න නීත්‍යානුකූල ක්‍රමයක් සොයාගෙන තිබුණු එක ගැන මම පුදුම වුණා."

ඇත්තෙන්ම සෙල්බී යුවළගේ සහ MIT සිසුන්ගේ වාසනාව තිබුණේ අංක 6ම ඇති අයෙක් ජයග්‍රහණය නොකරනතාක් පමණි. ඇතැම්විට ඉන් ඔවුන්ගේ ආයෝජන අපතේ යන්නට ද ඉඩ තිබුණි.

ත්‍යාගවල සංඛ්‍යානමය සම්භාවිතා ගණනය කළ ඕනෑම කෙනෙකුට ජයග්‍රහණය කළ හැකිය. එසේම, සුලිවන් පෙන්වා දුන් පරිදි, ලොතරැයි ආදායමෙන් ඩොලර් මිලියන 120ක් උපයාගත් මැසචුසෙට්ස් ප්‍රාන්තයටද කෑෂ් වින්ඩ්ෆෝල් හොඳ ව්‍යාපාරයක් විය.

නිවාස අලුත්වැඩියාව සහ පවුල් අධ්‍යාපනය

අවසානයේ කෑෂ් වින්ඩ්ෆෝල් ලොතරැයිය අවලංගු කරන ලද අතර එක්සත් ජනපදයේ එවැනි ඉහළ ප්‍රතිලාභ ලබා දෙන වින්ඩ්ෆෝල් වර්ගයේ ලොතරැයි මේ වන විට නොමැත.

Bryan Cranston, Jerry Selbee, Marge Selbee and Annette Bening pose for a promotional picture

ඡායාරූප මූලාශ්‍රය, Paramount+

ඡායාරූප ශීර්ෂ වැකිය, සෙල්බීවරුන් බ්‍රයන් ක්‍රැන්ස්ටන් සහ ඇනට් බෙනින් සමඟ ගැවසෙන්නට විය

නමුත් ඒ වන විටත් සෙල්බීලා සතුව ඩොලර් මිලියන ගණනක් තිබුණි. බදු හැරුණු කොට ඔවුන් ඩොලර් මිලියන 8ක ආදායමක් උපයා ඇති බව ජෙරී කියයි. සුඛෝපභෝගි හා අධික වියදම් කිරීම වෙනුවට, මෙම යුවළ ඔවුන්ගේ පවුලේ නිවස අලුත්වැඩියා කිරීමට සහ ඔවුන්ගේ දරුවන් හය දෙනාගේ, මුණුබුරන් 14 දෙනෙකුගේ සහ මී මුණුබුරන් 10 දෙනෙකුගේ අධ්‍යාපනය සඳහා මුදල් යොදවා තිබේ.

ඒ සියල්ලටම වඩා, සෙල්බී යුවළ මෙම වික්‍රමය බොහෝ සෙයින් භුක්ති විඳි බව පෙනෙන්නට තිබුණි.

"ඒක මාර විනෝදජනකයි. පුදුම උද්‍යෝගයක් දැනෙනවා" මාර්ජ් CBS වෙත කියයි.

හොලිවුඩය නිසා ඔවුන්ගේ කීර්තිය ද ඉහළ ගියේය. ඔවුන්ට Jerry and Marge Go Large හි මංගල දර්ශනයේදී බ්‍රයන් ක්‍රැන්ස්ටන් සහ ඇනට් බෙනින් සමඟ රතු පලස මත ඇවිද යාමට ද අවස්ථාව හිමි විය.