කෝවිඩ්-19: ඉන්දීය ආණ්ඩුව ගැන විවේචනාත්මක අදහස් ඉවත් කරන ලෙස ට්විටර් වෙත නියෝග කරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්දියානුවෝ උදව් ඉල්ලා වැඳ වැටෙති

කොරෝනා වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් සිය ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබඳ විවේචනාත්මක අදහස් ඉවත් කරන ලෙස ඉන්දීය ආණ්ඩුව ට්විටර් සමාජ ජාලය වෙත නියෝග කර තිබේ.

ආණ්ඩුවේ එම පියවර සම්බන්ධයෙන් ඉන්දියාව පුරා කෝපය පළ වේ.

එවැනි ඇතැම් ප්‍රකාශන ඉන්දියාව තුළ අවහිර කරන ලද බව ට්විටර් හි ප්‍රකාශකයෙක් තහවුරු කළේය.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබේ. එරට රෝහල් බොහොමයක් ඔක්සිජන් හිඟයකට මුහුණ දී ඇත.

"ඔක්සිජන් සැපයුම සහතික කිරීමට වඩා ට්විටර් පණිවුඩ ගලවා දැමීම පහසුයි," යනුවෙන් එම සමාජ ජාල පරිශීලකයෙක් ආණ්ඩුවට චෝදනා කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දියාව කොරෝනා වෛරස් 'සුනාමියකට' මුහුණ දී සිටී

සඳුදා (අප්‍රේල් 26) ඉන්දියාවෙන් අලුතින් රෝගීන් 352,991 හඳුනා ගෙන ඇති අතර මරණ 2,812 ක් වාර්තා විය.

එය මේ දක්වා දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

දිල්ලිය සහ තවත් බොහෝ නගරයන්හි රෝහල්වල ඇඳන් සම්පූර්ණයෙන් පිරී පවතී. රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ගැනීමේ මාර්ග සොයා ගැනීමට සිදුවී ඇත. අත්‍යවශ්‍ය ඖෂධ, ඔක්සිජන් සිලින්ඩර සහ උපකරණවල මිල අහස උසට ඉහළ ගොස් ඇති කළු කඩ වෙත බොහෝ දෙනෙක් යොමු වී තිබේ. එමෙන්ම නිසි සහතික කිරීමකින් තොර මතභේදයට තුඩු දී ඇති ඖෂධ වලට ඇති ඉල්ලුම ද ඉහළ යමින් පවතී.

අන්ෂු ප්‍රියා දිල්ලි වාසියෙකි. සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින සිය මාමණ්ඩියට දිල්ලිය හෝ ඒ තදාසන්න රෝහලක ඇඳක් සොයා ගැනීමට ඇය අපොහොසත් විය. ඔක්සිජන් සිලින්ඩරයක් සොයා ගැනීමට ඇය ඉරිදා වැඩි කාලයක් ගත කළ ද එය නිරර්ථක කාර්යයක් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සඳුදා (අප්‍රේල් 26) ඉන්දියාවෙන් අලුතින් රෝගීන් 352,991 හඳුනා ගෙන ඇති අතර මරණ 2,812 ක් වාර්තා විය

අවසානයේ ඇය කළු කඩ වෙත තල්ලු විය. ඔක්සිජන් සිලින්ඩරයක් සපයා ගැනීමට ඇයට රුපියල් 50,000 ගෙවීමට සිදු විය. එය ශ්‍රී ලංකාවේ මුදලින් 130,000 ආසන්න මුදලකි. සාමාන්‍යයෙන් ඒ සඳහා වැය වන්නේ රුපියල් 6,000 ක මුදලක් පමණි (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 15,000 පමණ).

සිය නැන්දණිය ද හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙලෙන බැවින් කළු කඩ වෙතින් තවත් ඔක්සිජන් සිලින්ඩරයක් සොයා ගැනීමට හෝ ඒ සඳහා පිරිවැයක් දැරීමට තමන්ට නොහැකි බව අන්ෂු දැන සිටියාය.

මෙම තත්ත්වය සිය නිවාස තුළම ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු සූදානම් කර ගැනීමට සිදුව ඇති දිල්ලියේ පමණක් නොව නොයිඩා, ලක්නව්, අලහාබාද්, ඉන්ඩෝර් වැනි බොහෝ නගරවල දක්නට ලැබේ.

එහෙත් ඉන්දියාවේ බහුතරයකට මෙවැනි මුදලක් දැරීමේ හැකියාවක් නොමැත. කළු කඩ වෙතින් හෝ අත්‍යවශ්‍ය ඖෂධ සහ ඔක්සිජන් මිලට ගැනීමට හැකියාවක් නොමැතිකමින් රෝහල් ඉදිරිපිට මිනිසුන් මරණයට පත්ව ඇති බවට වාර්තා පළ වී තිබේ.

මේ ගැනත් කියවන්න: