මැරඩෝනා: සෝ සුසුම් මැද ආජන්ටිනා ජනයා සිය පාපන්දු ශූරයාට අවසන් ගෞරව දක්වති

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, මැරඩෝනා මිය යන විට 60 වෙනි වියේ පසු විය

ආජන්ටිනා පාපන්දු තරුව ඩියේගෝ මැරඩෝනා වෙත දහස් සංඛ්‍යාත රසිකයෝ අවසන් ගෞරව දක්වමින් සිටිති.

කලක් පාපන්දු ලෝකය වසඟයට පත් කළ මැරඩෝනාගේ දේහය බුවනොස් අයරෙස්හි ජනාධිපති මන්දිරයේ තැන්පත් කරනු ලැබ ඇත.

ජාතික වීරයෙකු වන මැරඩෝනාගේ මරණය හමුවේ ආජන්ටිනාව තුළ තෙදිනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

බදාදා (නොවැම්බර් 25) හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් ඔහු 60 වෙනි වියේ පසු විය.

මැරඩෝනාගේ දේහය අසලින් ගමන් ගත් ඇතැම් රසිකයන් හඬා වැළපුණු අතර තවත් පිරිසක් එකිනෙකා සිප වැළඳ ගනිමින් යාඥා කළහ.

දස ලක්ෂ ගණනක් අවසන් ගෞරව දැක්වීමට පැමිණෙනු ඇති බව විශ්වාස කරේ.

ඡායාරූප මූලාශ්‍රය, Casa Rosada

ඡායාරූප ශීර්ෂ වැකිය, මැරඩෝනාගේ දේහය අසලින් ගමන් ගත් ඇතැම් රසිකයන් හඬා වැළපුණහ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය පාපන්දු ශූරයාට අවසන් ගෞරව දැක්වීමට පෙළ ගැසෙන රසිකයෝ

අගනුවරට විශාල ජනකායක් එක් රැස්ව ඇති බැවින් කොරෝනා වෛරසය පැතිර යාම සීමා කිරීමට බලධාරීහු කටයුතු කළහ.

රාත්‍රිය වන විට ආජන්ටිනා කමිස ඇඟලා ගත් මහා ජන ගංගා රට පුරා වීදිවලට එක්රැස්ව මැරඩෝනා වෙනුවෙන් ශෝකය පළ කරමින් ඔහුගේ දිවිය සමරනු ලැබූහ.

පාපන්දු ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයකු වන ඔහු බාර්සිලොනා සහ නාපොලි ඇතුළු පාපන්දු සමාජ වෙනුවෙන් ක්‍රීඩා කළ අතර ආජන්ටිනාව 1986 ලෝක පාපන්දු කිරුල දිනා ගන්නා විට ඔහු එහි නායකත්වය දැරීය. එංගලන්තයට එරෙහි අර්ධ අවසන් පූර්ව වටයේදී ඔහු "Hand of God" ලෙස පසුව ප්‍රසිද්ධියට පත් ගෝලය වාර්තා කළේය.

1982 ලෝක කුසලානයේ මැරඩෝනා සමග ක්‍රීඩා කළ, ටොටිනම් ක්‍රීඩා සමාජයේ හිටපු ක්‍රීඩක ඔසී ආදිලිස් කියා සිටියේ, ආජන්ටිනාව, නේප්ල්ස් සහ ලොව පුරා ඔහු "දෙවියෙකු" වශයෙන් සැලකුණු බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නාපොලි හි ගෞරවයට පාත්‍ර වූ සිය පාපන්දු තරුව වෙනුවෙන් ශෝක සැමරුම්

ආජන්ටිනා කණ්ඩායමේ හිටපු මැදපෙළ ප්‍රහාරක ක්‍රීඩකයා මෙන්ම කළමනාකරු මැරඩෝනා බුවනොස් අයරෙස් ආසන්නයේ ටිග්‍රේහි පිහිටි සිය නිවසේදී අවසන් හුස්ම හෙලීය.

එරට මාධ්‍ය වාර්තා කළේ මරණ පරීක්ෂණයේ මූලික ප්‍රතිඵල අනුව ඔහු දරුණු හෘදයාබාධයකට ගොදුරු වී ඇති බවය.

මොලයේ හටගත් රුධිර කැටියක් හේතුවෙන් ඔහු නොවැම්බර් මස ආරම්භයේදී සාර්ථක ශල්‍යකර්මයකට ලක් කෙරිණි. එමෙන්ම තදින් මත්පැන් පානයට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට නියමිතව තිබිණි.

බලධාරීන් විසින් ලබා ගන්නා ලද ප්‍රකාශ අනුව මැරඩෝනා ජීවත්ව සිටියදී, ඔහු අවසන් වරට දැක ඇත්තේ සිය ඥාති පුතු ජොනී එස්පොසිතෝය.