කොරෝනාවෛරසයට ගොදුරු වී මාස හයක් ගෙවී ඇතත් තවමත් අසනීපෙන්

A drawing of Monique getting sick in the toilet

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

    • Author, ස්ටෙෆනි හෙගාර්ටි
    • Role, BBC ජනගහණ වාර්තාකාරිය

කොරෝනාවෛරස් වසංගතය ආරම්භයේදී ම මොනික් ජැක්සන් කොවිඩ් - 19 රෝගයට ගොදුරු වූවාය. මේ වන විට මාස හයකට ආසන්න කාලයක් ගත වී හමාර නමුත් තවමත් ඇය පසුවන්නේ අසනීප තත්වයෙනි.

මෙවැනි තත්වයකට මුහුණ දී සිටින දහස් ගණනක් පිරිස අතරින් ඇය තවත් එක් පුද්ගලයෙක් පමණි.

ඇය සියල්ල දිනපොතක සටහන් කර තැබුවාය. තමන් මුහුණ දෙමින් සිටින රෝග ලක්‍ෂණ සහ ප්‍රතිකාර සඳහා ගත් නිෂ්ඵල උත්සාහයන් සවිස්තරාත්මකව සඳහන් වී තිබේ.

Monique crying on the phone

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

මොනික් රෝගාතුර වූයේ පසුගිය මාර්තු මාසයේදී ය. මුලදී සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කරන තත්වයක් තිබුන ද අද වන තුරු ඒවා පහව ගොස් නැත.

පස්මසක් ඇවෑමෙන් පවා, තම සිරුරට සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි ඇයට තේරුම් ගැනීමට අපහසු වී තිබේ.

මොනික්, සමාජශීලී සහ ඉතා ක්‍රියාශීලී කාන්තාවක් වූවාය. රෝගී වීමට පෙර ඇයගේ සාමාන්‍ය දින චර්යාවට තායි බොක්සිං සහ ජියු ජිට්සු සටන් කලාව පුහුණුවීම ද ඇතුළත්ව තිබිණි. ඊට අමතරව දිනකට සැතපුම් 12ක පමණ දුරක් පාපැදියෙන් සම්පූර්ණ වන්නේ රැකියා ස්ථානය සඳහා යාම ඒම සඳහා ය. ඇය සේවය කරන්නේ ලන්ඩන් නුවර කලාගාරයක ය.

නමුත් පසුගිය මාස කීපය තුළ මොනික් ගේ ජීවිතය විශාල වෙනසකට භාජනය විය. දැන් ඇයට දත කට මැද ගැනීමට පවා ශරීර ශක්තිය ඉතිරි කර ගැනීමට සිදු වී තිබේ.

"මම අලස ගැහැනියක් නොවෙයි." මොනික් පවසන්නීය. එසේ පැවසුවත්, ඇතැම් දිනවල ඇයට කළ හැකි වන්නේ නිවසේ බිම් මහලට තරප්පුවෙන් බැසීම පමණි.

තමන්ට සහය දීම තමන්ගේ ම සිරුර විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් අනතුරුව තම දින චර්යාවේ තොරතුරු ලියා තැබීමට ඇය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යය තෝරා ගත්තාය.

එමගින් තම රෝගී තත්වය පිළිබඳව තොරතුරු අන් අය හා බෙදා ගැනීමටත් එවැනිම තත්වයට පත්වී ඇති තවත් අය සමඟ අදහස් හුවමාරු කරගැනීමටත් ඇයට හැකියාව ලැබී තිබේ.

කොරෝනාවෛරසය පිළිබඳව බොහෝ දේ හෙළිදරව් කර ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වී ඇති නමුත් ඇතැමුන්ට ඉන් දීර්ඝකාලීන බලපෑමක් ඇති කිරීම තවමත් ප්‍රහේලිකාවක්ව පවතී.

මුලදී සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පෙන්නුම් කළ ද ඇතැම් පුද්ගලයන්ගෙන් එය පහව නොයන්නේ මන්ද?

A drawing of Monique sweating

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

මොනික් සහ සිය මිතුරිය කෝවිඩ් 19ට ගොදුරු වූයේ එකවර ය. ඊට පෙර දෙදෙනා එක්ව දුම්රිය ගමනක යෙදී තිබුණි. මුලදී දෙදෙනා එකිනෙකා පිළිබඳව සොයා බලමින් තොරතුරු හුවමාරු කර ගෙන තිබුණි. දෙදෙනාගේ ම රෝග ලක්ෂණ එක හා සමාන විය. පසුව එම තොරතුරු හුවමාරුව නැවතුණි.

"මට ඒක නවත්වන්න සිද්ධ වුණා. ඒක ඔලුව විකාර කරවන දෙයක් වගේ දැනෙන්න පටන් ගත්තා." මොනික් පැවසුවාය.

පළමු දෙසතිය තුළ ඇයට දැනුණේ සාමාන්‍ය උණ හෙම්බිරිස්සා ගතියකි. ඇයට අධික තෙහෙට්ටුවක් දැනුණි. ඇඳෙන් බැස්සේ ඉඳහිට ය. ඒ වන විට ලන්ඩන් නුවර පැවතියේ ශීතල කාලගුණයකි. නමුත් ශරීර උෂ්ණත්වය පහළ දැමීමට අවැසි වූ හෙයින් ඇය උණුසුම් ඇඳුම් ඇඟ ලා නොගත්තාය. අයිස් සහිත කුඩා බෑගයක් හිස මත තැබුවාය.

දෙවන සතිය වන විට හුස්ම ගැනීමේ අපසසුතා මතු විය. ගිලන් රථයක් ගෙන්වා ගත නමුත් ඇයගේ සිරුරේ ඔක්සිජන් ප්‍රමාණය නිසියාකාරව පවතින බව ඔවුන් පවසා ඇත.

"ඒ අය කිව්වේ මම බියට පත්වෙලා කියල." මොනික් පැවසුවාය. තමන්ට කෝවිඩ් 19 වැළඳී ඇත්දැයි සනාථ කර ගැනීම සඳහා පරීක්ෂණයක් සිදු නොකෙරිණි. ඊට හේතුව මාර්තු මාසය වන විට එක්සත් රාජධානිය තුළ එවැනි පරීක්ෂණ මහා පරිමාණයෙන් දියත් කර නොතිබීම ය. එවැන්නක් සිදු වූයේ අසාධ්‍ය තත්වයේ පසුවන්නන් සඳහා පමණි.

A drawing of an ambulance

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

සිය තත්වය සමනය කර තබා ගැනීම සඳහා ඇය ස්වභාවික ප්‍රතිකර්ම කිහිපයක් භාවිතා කළාය. අමුවෙන් සුදුලූනු කෑමට පටන් ගත්තාය. තමන්ට රසය දැනීමේ වෙනසක් ඇති බව වැටහුණේ එවිටය. ඇයට තෙහෙට්ටුව වැඩියෙන් දැනෙන්නට වූවාය.

"ජංගම දුරකතනයෙන් දෙදෙනෙකුට කෙටි පණිවිඩ යැව්වත් මට ලොකු මහන්සියක් දැනෙනවා."

දෙවන සතිය ගෙවී යත්ම ඇතැම් රෝග ලක්ෂණ යටපත් වුව ද ඒ වෙනුවට වෙනත් රෝග ලක්ෂණ මතු වන්නට විය.

"මගේ පපුව මැද්දෙන් රිදිල්ලක් දැනෙන්න ගත්තා. ඒක ටිකෙන් ටික දැවිල්ලක් බවට පත් වුනා. දත් මිටි කැවෙන තරමට වම් පැත්තෙන් වේදනාව දැනෙන්න ගත්තා. මම හිතුවා මට හෘදයාබාධයක් එනවා කියල."

A drawing of the feeling of heartburn

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මොනික් 111 හදිසි අංකය ඇමතුවාය. ඔවුන්ගේ උපදෙස වූයේ පැරසිටමෝල් වේදනා නාශකය ලබා ගත යුතු බවය. පවතින වේදනාවට හේතුව කුමක්ද යන්න ඔවුනට පැහැදිලි නැතත් පැරසිටමෝල් මගින් ඇතැමුන්ට සහනයක් ලැබෙන බව ඔවුන් පවසා තිබේ.

පැරසිටමෝල් මගින් වේදනාව සමනය විය. නමුත් යමක් ආහාරයට ගත් වහාම ඇයගේ උදරය සහ උගුරේ "ගින්නක් වැනි" දැවිල්ලක් ඇති විය.

මුලදී වෛද්‍යවරු සිතුවේ ඇයගේ ආමාශයේ සහ උගුරේ තුවාල ඇති බවය. නමුත් එය මෙම වෛරසය නිසා ඇතිවන රෝග ලක්ෂණයක් බව පසු කාලීනව සනාථ වී තිබේ.

සති හයක් පමණ ඇවෑමෙන් තවත් රෝග ලක්ෂණයක් මතු විය. මුත්‍රා පහකරන විට මොනික්ට දැවිල්ලක් දැනෙන්නට විය. කොන්දේ වේදනාවක් ද හට ගත්තේය. එය බැක්ටීරියා ආසාදනයක් නොවන බව සනාථ වීමට පෙර වෛද්‍යවරු විසින් ප්‍රතිජීවක ඖෂධ (antibiotic) වාර තුනක් ම ඇයට නියම කරනු ලැබ තිබුණි.

"ඒක දරාගන්න අසීරු වේදනාවක්. ටික දවසකට පස්සේ ඒ වේදනාව නැතිවෙලා ගියා." මොනික් පැවසුවාය.

Monique in hospital on an IV

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

මොනික් සමාජ මාධ්‍ය භාවිතය අතහැර දැමුවාය. කෝවිඩ් 19 රෝගය පිළිබඳව යමක් ඇසෙන විට පවා ඇයට භීතියක් ගෙන දුන්නාය; එය හුස්ම ගැනීමට පවා බලපෑවේය. අනෙකුත් රෝගීන්ගේ තත්වය පාපොච්ඡාරණය කෙරෙන පුවත් ඇයට බිය ගෙන දෙන තත්වයකි.

තමන් තවදුරටත් සමාජ මාධ්‍ය භාවිතා කළහොත් මල සිරුරු සහිත පුවත් දිගින් දිගටම දැකීමට සිදුවනු ඇතැයි ඇය බිය වූවාය.

ටික දිනකට පසුව ඇය මිතුරියකගේ ආධාරයෙන් රටේ සිදුවෙමින් පවතින දෑ පිළිබඳව තොරතුරු දැන ගත්තාය. කෝවිඩ් 19 වැළඳී මිය යන්නන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කළු ජාතිකයන් සහ මිශ්‍ර ජාතිකයන් බව ඇයට සැල විය. මොනික් මිශ්‍ර ජාතික කාන්තාවකි. ඇය බියට පත්වූවාය.

"කළු ජාතිකයන් ඔක්කොම මැරිලා යන හැටි පෙන්වන බියකරු චිත්‍රපටයක් වගේ ඒක මට දැනුනේ."

Monique in the bath listening to podcasts

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

දිනක් ඇය නාන තටාකයේ ඇලවී සිටින අතරතුර හඬ පටයකට සවන් දුන්නාය. කළු ජාතික ඇමරිකානුවන් බොහෝ පිරිසක් කෝවිඩ් 19ට ගොදුරු වී මරණයට පත් වෙමින් සිටින බව එහි කියැවුනි.

එකිනෙහිම ඇය ජංගම දුරකථනය අතට ගත්තේ සිය කළු ජාතික ඥාතීන්ට ඊමේල් පණිවුඩ යැවීමට ය.

මෑතක දී තමන්ට නිතර දෙවේලේ හමුවූ සියලු දෙනා සුළුජාතික ප්‍රජාව නියෝජනය කරන්නන් බව ඇයට සිහිපත් විය.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා තමන් එහා මෙහා ගෙන ගිය ඌබර් රියදුරන්, තමන්ට සේවය සැපයූ රෝහල් සේවකයන්, තමන්ට අවශ්‍ය ආහාර පාන මිල දී ගන්නා වෙළඳසැලේ සිටින පිරිස ...

"මගේ කෝවිඩ් චාරිකාව තුළදී මේ හැම දෙනාම මට හමු වුනා."

A drawing of a hospital visit

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

සතියෙන් සතිය ගෙවී යමින් පැවතිනි. ඇතැම් රෝග ලක්ෂණ වෙනුවට වෙනත් රෝග ලක්ෂණ මතු වෙමින් පැවතුනි. එන්න එන්න ම තත්වය අමුතු විය.

බෙල්ලේ පසෙක වේදනාවක් සමඟ දෙසවන් තුළ අමුතු සංවේදනාවක් දැනෙන්නට විය.

මොනික් ගේ දෑත නිල් පැහැ ගැන්විණි. වහා ඇය ජල කරාමයක් අසලට දිව ගියේ උණුසුම් ජලය වත් කොට නැවත දෑතට රුධිරය ගලා ඒම සැලැස්වීමට ය. වෛද්‍යවරයාට දැනුම් දුන් විට ඔහු විමසා ඇත්තේ ඒ මොහොතේ තම දෑතේ තිබූ තත්වය පෙන්වීම සඳහා ඡායාරුපයක් ගත්තේ ද යන්නය.

"මට මතු වන අලුත් රෝග ලක්ෂණ එකින් එක දැනුම් දීමට මම ඔවුන්ට කතා කළා. ඒ අය මගෙන් අහන්නේ මගේ මානසික සෞඛ්‍යය කොහොමද කියල. මේවා දරුණු දේවල් හෝ සැබෑ වේදනාවන් නොවන බව තමයි අඟවන්නේ." මොනික් පැවසුවාය.

අයගේ සිරුර පුරා පලු සහ කුෂ්ඨ මතු විය. විටෙක ඇයගේ දෙපා ඇඟිලි තුඩු රත් පැහැ විය. ඇතැම් විට ඇය නින්දෙන් අවදි වන්නේ සිරුරේ යම් යම් ස්ථාන මත ඇනුම් දෙන වේදනාවක් සහිතවය.

දිනක් රාත්‍රියේ සිය මිතුරියකට දුරකතනයෙන් කතා කරමින් සිටියදී තම මුහුණේ දකුණු පස පහළට ඇදී යන බව මොනික්ට දනුනාය. ඇය කන්නාඩියක් වෙත දිව ගියේ මුහුණ බැලීමටය. මුහුණේ කිසිදු වෙනසක් නොමැති බව ඇය දුටුවාය. තමන්ට ආඝාතයක් (stroke) ඇතිවීමට යන්නේදැයි බිය වූ නමුත් ඒ බවක් සනාථ කර ගැනීම සඳහා වෛද්‍යවරුන්ට සාධක නොවීය.

Monique looking at her face in the mirror

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

ඇයගේ සිරුර පුරා පුදුමාකාර සංවේදනා දැනෙන්නට විය. ඇතැම් විට කිසිවෙකුගේ දෑතින් තම දෙපා අදින්නාක් මෙන් දැනේ. තවත් විටෙක තම කෙහෙරැලි මුහුණ මත හෝ මුව තුළ දැවටෙන බවක් දැනෙන්නට විය.

මේ සියල්ල වෛද්‍යවරයාට පැහැදිලි කර දීමට ඇයට මහත් වෙහෙසක් දරන්නට සිදු විය. ඇතැම් විට වෛද්‍යවරයාගෙන් ලැබෙන්නේ විනාඩි පහකට හෝ දහයකට පමණක් සීමා වූ දුරකථන ඇමතුමකි. එම කාල සීමාව තුළ තම සිරුර පුරා සිදුවන වෙනස් කම් කොහෙත්ම පැහැදිලි ලෙස විස්තර කළ නොහේ.

"අඩු තරමින් ඔවුන් මට කිව්වනම්, ඔබට වැළඳිලා තියෙන්නේ කෝවිඩ් රෝගය; අපි එකට බෙහෙත් කරන්න තවම දන්නේ නැහැ කියල, ඒ හොඳටම ඇති." මොනික් පැවසුවාය.

තමන්ට ප්‍රතිකාර ලැබුණු ආකාරය සාරාංශගත කිරීමට ඇයට අසීරුය. ජාතික සෞඛ්‍ය සේවයේ බොහෝ දෙනා ඇයට විශිෂ්ඨ සේවයක් සපයා ඇති බව ඇය පවසන්නීය. නමුත් තමන් මුහුණ දී සිටි තත්වයට පත් වන කිසිවෙකුට මෙම ක්‍රමය වැඩදායක නොවන බව ද ඇය පැවසීය.

තම සිරුර තුළ තවමත් කොරෝනාවෛරසය පවතීදැයි පරීක්ෂා කර බැලීමට අවස්ථාව උදා වන විට ඇයට රෝගය වැළඳී සති නවයක් ගතවී හමාරය. ඒ කාලය ඇතුළත තමන්ගෙන් තවත් කෙනෙකුට වෛරසය ආසාදනය වේදැයි දැඩි බියකින් ඇය පසු වූවාය.

රජයේ උපදේශය වන්නේ සත් දිනක් හුදෙකලා වී සිටිය යුතු බවය. නමුත් දින හතකින් රෝග ලක්ෂණ පහව නොයන්නේ නම් කළ යුත්තේ කුමක්දැයි ඇය සිතන්නට වූවාය.

A drawing of the fridge

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

තම මහල් නිවාසය තුළ එකට ජීවත් වන සිය මිතුරියෝ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම විධි අනුගමනය කරන්නට පටන් ගත්හ. ශීතකරණයේ දොර විවර කරන්නට අවශ්‍ය විට තම තමන්ට වෙන් වූ ස්ථාන සලකුණු කොට තිබුණි. ආහාර පාන රැගෙන කාමරයට ගොස් අනුභව කරති.

දිනක් මොනික් නැවුම් වාතාශ්‍රය ලබා ගැනීම සඳහා නිවස අද්දර වූ උද්‍යානය වෙත ගියාය. එහිදී කුඩා දරුවෙකු තමා අසලට දිව එන්නට විය. මොනික් ලහිලහියේ ඒ දරුවාගෙන් ඉවතට වූ අයුරු එම දරුවාගේ මව දුටුවාය. මව ඒ දෙස බැලුවේ අමනාපයෙනි.

"මගේ ළමය ඔයාට අහලකටවත් ආවෙ නැහැනේ?" මව නොරිස්සුම් ස්වරයෙන් කීවාය.

හේතුව පැහැදිලි කිරීමට මොනික් උත්සාහ කළාය. තමන්ට එසේ කරන්නට සිදු වූයේ ළමයාට ඇති අකමැත්ත නිසා නොව, වෛරසයක් වේනම් දරුවාට එය බෝවීම වැලැක්වීම තමන්ගේ අරමුණ වූ බව පැහැදිලි කළාය.

"අසනීප මිනිස්සු ගේ ඇතුළට වෙලා සිටිය යුතුයි." දරුවාගේ මව මොනික්ට අවධාරණය කළාය.

මෙය එතරම් පහසු දෙයක් නොවන බව තේරුම් ගැනීම සඳහා, තමන්ගේ දිනපොතේ සටහන් සමාජයට වැඩදායක වනු ඇතැයි මොනික් විශ්වාස කරන්නීය.

Monique shouts at a child as it runs towards her in the park

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

සිය මිතුරු මිතුරියන් තමන්ට උදව් උපකාර කිරීම සඳහා හැකි සෑම පියවරක් ම ගත් බව මොනික් පවසන්නීය. නමුත් එය දිගටම කරගෙන යාම ඇතැමුන්ට එපා වෙමින් පවතින බව මොනික්ට දැනෙන්නට විය.

තමන්ට සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි කිසිවෙකුට වටහා ගත නොහැකි තත්වයකට පත් වී තිබේ. "එක්කෙනෙක් මට කිව්වා, මම උවමනාවට වඩා කෝවිඩ් රෝගය ගැන හිතනවා කියල" මොනික් පැවසුවාය.

මේ මොහොත වන විට, රෝග ලක්ෂණ පෙන්නුම් කරන උදවිය වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම බ්‍රිතාන්‍ය රජය ආරම්භ කළේය. එම පුවතින් මොනික් ඉතා සතුටට පත් වුවාය.

නමුත් ඒ වනවිට විවෘත වී තිබුනේ තමන්ගේ මෝටර් රථය තුළ සිටියදී ම පරීක්ෂණය සිදු කෙරෙන (drive-in) මධ්‍යස්ථාන පමණි. මොනික් මෝටර් රථයක් භාවිතා නොකරන හෙයින් තවත් පුද්ගලයෙකු අවදානමකට ලක් කරන්නේ කෙසේදැයි ඇය සිතන්නට විය.

කෙසේ හෝ තම මිතුරෙකු කැමැත්තෙන් ම ඉදිරිපත් වීම නිසා ඇය වෛද්‍ය පරීක්ෂණය සඳහා අදාළ ස්ථානය වෙත ගියාය.

Monique getting a covid test in the car with her friend

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

පරීක්ෂණය සිදු කෙරෙන ස්ථානයේ වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් සිටිනු ඇතැයි අපේක්ෂා කළ නමුත් මොනික්ට දැක ගත හැකි වූයේ හමුදා සොල්දාදුවන් ය. ඔවුන් හැඳ සිටි කාකි නිල ඇඳුම් දහඩියෙන් පෙඟී තිබුණි. ඔවුන් තරුණ වියේ පසු වන්නන් බව තම පරීක්ෂණය සිදු කෙරෙන අවස්ථාවේදී මොනික්ට වැටහුණි.

එම පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණි. ඉන් කියවුණේ තම සිරුරෙන් කොරෝනාවෛරසය පහව ගොස් ඇති බවය. එය මොනික්ට මහත් අස්වැසිල්ලක් විය. ඊට හේතුව සිය මිතුරන්ට සහ ඥාතීන්ට තමන්ගෙන් අවදානමක් නොමැති බව සනාථ වීමය.

නමුත් තවමත් ඇය යථා තත්වයට පැමිණ නැත. "තමන් ආසදිතයෙක්ය යන හැඟීමෙන් මානසිකව මිදීම එතරම් පහසු දෙයක් නොවෙයි" මොනික් සිය දිනපොතේ පසුව සඳහන් කර තිබුණි.

තමන් රෝගී වී සිව් මසක් ගතවීමෙන් අනතුරුව පදිංචිය සඳහා වෙනත් නිවසකට යාමට මොනික් තීරණය කළාය. තමන්ට තනිවම සිය නිවසේ සුළු පිරිසිදු කිරීමක් පවා කර ගැනීමට තරම් ශරීර ශක්තියක් නොමැති වීම හේතුවෙන් ඇය සිය පවුලේ සාමාජිකයන් සමඟ ජීවත් වීමට පියවර ගත්තාය.

Monique shivering in her bed late at night

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

මොනික්ට තිබූ ශවසන අපහසුතා කෙමෙන් පහව යමින් තිබුණි. මීට පෙර ඇය ඉහළ මහලට යාම සඳහා තරප්පුව නගිද්දී හති ඇරීමට අතරමග නතර වීමට සිදු විය.

ජුලි මාසය වන විට එක ගැම්මට තරප්පු පෙළ නැගීමට ඇය සමත් වුවාය. නමුත් තම කාමරය පිරිසිදු කරමින් සිටියදී ඇය ක්ලාන්තය වී අද වැටුනාය. එතැන් පටන් ඇය සති තුනක් ම ඇඳ මතට වී කාලය ගත කළාය.

Monique calling her friend who is outside her window

ඡායාරූප මූලාශ්‍රය, Monique Jackson

තම සෞඛ්‍යය යථා තත්වයට පත් කර ගන්නේ කෙසේදැයි මොනික්ට සිතා ගන්නට බැරි විය.

"බොහෝ දෙනා මට කිව්වා 'මොනික්, ඔයාට ආයෙත් බයිසිකල් පදින්න පුළුවන් වෙයි, ආයෙත් බොක්සිං සෙල්ලම් කරන්න හැකි වෙයි, සනීප ගතියක් දැනුනම අපේ ගෙවල් පැත්තෙත් ඇවිත් යන්න' කියල. ඒත් ඒ කිසි දෙයකින් මට සහනයක් ලැබුනේ නැහැ."

රෝග ලක්ෂණ පහව නොයන පුද්ගලයන්ට කළයුතු ප්‍රතිකාරය කුමක්දැයි තවමත් වෛද්‍යවරුන්ට පැහැදිලි නැත.

"කරන්න පුළුවන් මොනවද, බැරි මොනවද කියල තේරුම් අරගෙන ජීවත් වෙන එක විතරයි කරන්න තියෙන එකම දේ. මොන දේ සැලසුම් කළත් තමන්ගේ ශරීරයෙන් ඇතැම් දේ කරන්න කිසිම සහයක් ලැබෙන්නේ නැහැ." මොනික් පවසන්නීය.

ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ මොනික් ගේ කොරෝනා දිනසටහන් කියවන්න: @_coronadiary