එංගලන්තයේ කන්ටේනරයකින් හමු වූ මළ සිරුරු 'චීන ජාතිකයන්ගේ' යැයි හඳුනා ගැනේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එංගලන්තයේ එසෙක්ස් හි ලොරි කන්ටේනරයක තිබී බදාදා (ඔක්තෝබර් 23) සොයා ගන්නා ලද මළ සිරුරු 39 චීන ජාතිකයන්ගේ යැයි දැන ගැනීමට ලැබී ඇත.
ඉහත කී කන්ටේනරය අධිශීත ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා යොදා ගන්නා කන්ටේනරයකි.
මිනී මැරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් විසි පස් හැවිරිදි රියදුරාගෙන් පොලිසිය තවදුරටත් ප්‍රශ්න කරමින් සිටී.
උතුරු අයර්ලන්ත බලධාරීන් විසින් නිවාස දකක් වටලනු ලැබ ඇති අතර ජාතික අපරාධ ඒජන්සිය කියා සිටියේ "ඊට සම්බන්ධ යැයි සිතිය හැකි සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්" හඳුනා ගැනීමට සිය නිලධාරීන් විමර්ශන ක්‍රියාත්මක කරන බවය.
ග්‍රේස් ප්‍රදේශයේ පිහිටි වෝටර්-ග්ලේඩ් නමැති කර්මාන්ත කලාපයේ තිබී මළ සිරුරු සොයා ගත් ගිලන් රථ සේවා නිලධාරීන් ඒ බව පොලිසියට දැනුම් දී තිබිණි.
ලොරි රථය බල්ගේරියාවේ සිට පැමිණ ඇතැයි සැක කෙරිණි.
වැඩිහිටියන් 38 දෙනෙකු සහ එක් නව යෞවනයෙකු මරණයට පත් පිරිස අතර සිටින බව ආරක්ෂක අංශ කියා සිටී. දිවි බේරාගත් වෙනත් කිසිවකු නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලොරි රථය පැමිණි ගමන් මග හෝ එය දුටු පුද්ගලයකු හෝ එම ගමන පිළිබඳ දන්නා කෙනෙකු ඇත්නම් ඒ පිළිබඳ පොලිසියට තොරතුරු ලබා දෙන ලෙස නියෝජ්‍ය පොලිස් ප්‍රධානී පිපා මිල්ස් බදාදා ඉල්ලා සිටියාය.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කණගාටුව ප්‍රකාශ කළේය.
ඉහත කී මරණ "මානව ශෝකාන්තයක්" ලෙස හඳුන්වන අයර්ලන්ත අගමැති ලියෝ වරාද්කර් ලොරි රථය අයර්ලන්තය හරහා පැමිණ ඇත්දැයි යන්න සනාථ කර ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙනු ඇතැයි සඳහන් කළේය.
සංක්‍රමණිකයන් කොපමණ පිරිසක් අතරමගදී මිය ගොස් ඇතිද?

අතරමැදි අවස්ථාවලදී මරණයට පත් සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යා ලේඛණ එක්සත් ජාතීන් විසින් 2014 වසරේ සිට වාර්තා කරනු ලැබ ඇත.
එතැන් පටන් සංක්‍රමණිකයන් යැයි සැක කෙරෙන පුද්ගලයන් පස් දෙනෙකුගේ මළ සිරුරු එක්සත් රාජධානියේ ලොරි රථ හෝ කන්ටේනර තුළ තිබී සොයා ගෙන තිබේ.
2014 දී සංක්‍රමණිකයන්ගේ පැමිණීම අර්බුදකාරී මට්ටමකට ළඟා වීමට පෙර මේ ආකාරයෙන් දත්ත එක්රැස් නොකෙරුණි. නමුත් එවැනි මරණ අලුත් දෙයක් ද නොවිණි.
2000 වසරේදී ඩෝවර් හි ලොරි රථයකින් චීන සංක්‍රමණිකයන් 58 දෙනෙකුගේ මළ සිරුරු හමු විය.




























