ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු සහ දකුණු කොරියානු නායකයන් අතර හමුවේ සේයා රූ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් අද දින (ජුනි 30) උතුරු සහ දකුණු කොරියානු දේශසීමා අතර පිහිටි යුද මුක්ත කලාපයේදී හමු විණි.

ජනාධිපති ධුරය දරමින් සිටින අතරතුර උතුරු කොරියාවට පය තැබූ ප්‍රථම ඇමෙරිකානු ජනාධිපතිවරයා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මෙම හදිසි හමුව ගැන අදහස් පළ කරමින් උතුරු කොරියානු නායකයා පැවසුවේ එය ඔවුන් දෙදෙනා අතර පවතින "විශිෂ්ට" මිත්‍රත්වයේ සංකේතයක් බවය. ඒ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ "අද ලෝකයට ඉතා සුවිශේෂී දවසක්" යනුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ජනාධිපති ට්‍රම්ප්, සෙනසුරාදා (ජුනි 29) ට්විටර් පණිවුඩයක් ඔස්සේ උතුරු කොරියානු ජනාධිපතිවරයාට කළ ආරාධනයකින් අනතුරුව ඔවුන් දෙදෙනා අතර මෙම හමුව සුදානම් කළ බව කියවේ.

උතුරු කොරියානු නායකයා ආරාධනාව පිළිනොගත්තේ නම් "මාධ්‍ය මාව බොහොම නරක විදියට දකින්න තිබුණා" යැයි ඇමරිකානු ජනාධිපතිවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-ඉන් ද සුළු මොහොතකට ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායක දෙපළ සමග එක් වී තිබේ. මෙම හමුව නිසා කොරියානු අර්ධද්වීපයේ දිවිගෙවන පුද්ගලයන් මිලියන 80කට න්‍යෂ්ටිකහරණය සහ සාමය පිළිබඳ බලාපොරොත්තු ඇති වූ බව මුන් ජේ-ඉන් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

නායකයන් දෙදෙනා අතර හමුව කෙටි වෙලාවකට සැලසුම් කර තිබුණත්, පැයකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත්විණි. තමන් උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ආරාධනා කළ බව ඇමරිකානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවක දී පැවසුවේය. නමුත් නිල වශයෙන් එයට සූදානමක් නොමැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නායක හමුව දකුණු කොරියානු රූපවාහිනී නාලිකාවල විකාශය කෙරිණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ධවල මන්දිර උපදේශකයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් සහ බෑනා ජෙයාඩ් කුෂ්නර් ද මෙම සංචාරයට සහභාගී වී සිටියහ. ඉවන්කා ට්‍රම්ප් මෙය හැඳින්වූයේ "විශ්මයජනක" හමුවීමක් ලෙසය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

නායක හමුවට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මුන් ජේ-ඉන් යුද මුක්ත කලාපයේ පිහිටි නැරඹුම් කුටියකට පිවිසියහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මීට පෙර එම ස්ථානයට ගිය ඇමෙරිකානු ජනාධිපතිවරු දැඩි ආරක්ෂක ක්‍රමවේද භාවිත කළ ද ජනාධිපති ට්‍රම්ප් තමාට හුරුපුරුදු ඇඳුමින් සැරසී එම හමුවට ගොස් ඇත්තේ යම් පණිවිඩයක් දීමට දැයි මත පළ වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP

උතුරු කොරියානු නායකයා හමුවීමෙන් පසු ඇමරිකානු ජනාධිපතිවරයා රැගත් හෙළිකොප්ටර් යානය දකුණු කොරියාවේ සෝල් නගරයේ පිහිටි හමුදා කඳවුරක් වෙත පියාසර කළේය. එහි රැස්ව සිටි හමුදා සාමාජිකයන් අමතමින් ඔහු පැවසුවේ නායක හමුව "ඓතිහාසික මොහොතක් වගේම ඉතා හොඳ මොහොතක්" වූ බවය.

මේ තොරතුරු ද කියවන්න: