සිව් දිනක් තුළ තල්මසුන් 200කට අධික ප්‍රමාණයක් නවසීලන්ත වෙරළේදී මිය ගිහින්

ඡායාරූප මූලාශ්‍රය, LIZ CARLSON

ඡායාරූප ශීර්ෂ වැකිය, දින කීපයක් ඇතුළත එම කලාපය තුළ තල්මසුන් 200කට අධික ප්‍රමාණයක් මියගොස් තිබේ

නවසීලන්තයට අයත් චැතම් දිවයිනේ වෙරළට නැවතත් තල්මසුන් 51 දෙනෙකු ගොඩ ගසා තිබේ. මොවුන් සියලුදෙනා මියගොස් ඇත්තේ වෙරළට ගොඩ ගැසීමෙන් පසු බව වාර්තා වේ.

මින් දින හතරකට පෙර නවසීලන්තයේ ස්ටුවර්ට් වෙරළට තල්මසුන් 147 දෙනෙකු ගොඩ ගසා තිබිණි. ඉන් බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ ගොඩබිමට පැමිණීමෙන් පසු නැවත දියඹට පිහිනා යෑමට උත්සහ දැරීමේ දී සිදු වූ තුවාලවලිනි.

මේ අනුව, දින කීපයක් ඇතුළත එම කලාපය තුළ තල්මසුන් 200කට අධික ප්‍රමාණයක් මියගොස් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, DOC

පසුගිය අඟහරුවාදා නවසීලන්තයේ හැන්සන් කලපුවේ තවත් තල්මසුන් 80ක් 90ක් ප්‍රමාණයක් සිරවී සිටිය බව එරට සාගර සංරක්ෂණ බලධාරියෝ පැවසූහ.

ඉන් කොටසක් නැවතත් ගැඹුරු දියඹට පිහිනා යෑමට සමත් වුවත්, තවත් පනස්දෙනෙක් පමණ වෙරළේදී මිය ගියහ. ආශ්වාස කිරීමට නොහැකිව දඟලමින් සිටි තවත් එක් තල්මසෙකුට එන්නත් ලබා දී මියයාමට සලස්වා ඇත.

"ඉතුරු වුණ තල්මසා ජීවත් කරවීමට හැකි සාර්ථක ක්‍රමයක් සොයා ගන්න බැරි වුණා. හරිම දුකයි, නමුත් අපි තීරණය කළා එන්නත් ලබා දී මියයාමට සලස්වන්න. ඒ අවස්ථාවේ කරන්න පුළුවන් වඩාත්ම මානුෂීය දෙය එයයි," චැතම් දිවයිනේ සාගර සංරක්ෂණ ආයතනයේ කළමනාකරු ඩේව් කාල්ටන් පැවසීය.

මේ තොරතුරුද කියවන්න:

ඡායාරූප මූලාශ්‍රය, DOC

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ ගොඩබිමට පැමිණීමෙන් පසු නැවත දියඹට පිහිනා යෑමට උත්සහ දැරීමේ දී සිදු වූ තුවාලවලිනි

මෙම තල්මසුන්ගේ සිරුරු වැළලීමට බලධාරීන් ප්‍රදේශවාසීන්ගේ ද සහය ලබා ගත්හ.

වෙරළෙන් පිටත ස්ථානයක මෙම තල්මසුන් වල දමා තිබේ.

වැඩිදුර පරීක්ෂණ සඳහා තල්මසුන්ගේ සමේ කොටස් ලබා ගැනීමට කටයුතු කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, DOC

ඡායාරූප ශීර්ෂ වැකිය, වෙරළෙන් පිටත ස්ථානයක මෙම තල්මසුන් වල දැමීමට කටයුතු කර තිබේ

ඉතා සුළු පිරිසක් පමණක් ජීවත් වන චැතම් දිවයින් පිහිටා ඇත්තේ නවසීලන්තයේ නැගෙනහිර වෙරළේ සිට කිලෝමීටර 800ක දුරකිනි.

වෙරළට ගොඩ ගසන තල්මසුන් පිළිබඳ නවසීලන්තයෙන් නිතර වාර්තා වුවත්, විශාල ප්‍රමාණයක් එකවිට පැමිණි අවස්ථා අතිශය දුර්ලභය.

ඡායාරූප මූලාශ්‍රය, DOC

ඡායාරූප ශීර්ෂ වැකිය, චැතම් දිවයිනේ වෙරළට නැවතත් තල මසුන් 51 දෙනෙකු ගොඩ ගසා තිබේ

තල්මසුන්ට සිය මග වැරදීම, දරුණු කාලගුණික තත්වයන්, වෙනත් සතුන්ගේ ප්‍රහාරවලින් බේරීමට හෝ රෝගයකින් මිදීම සඳහා වෙරළ තිබෙන දිශාවට පිහිනීම නිසා මෙම තත්වය ඇති විය හැකි බව බලධාරීහු පවසති.

තවත් තොරතුරු: