ලොව බලපෑම් කළ හැකි කතුන් අතරට ගිය ශ්‍රී ලාංකික කාන්තාව ආශා ඩි වොස්ගේ කතාව

Meghan Callon/Asha De Vos

ඡායාරූප මූලාශ්‍රය, Meghan Callon/Asha De Vos

කියවීමේ කාලය: මිනිත්තු 3

"ශ්‍රී ලංකාවේ ජනතාව අප අවට තියෙන සාගරය දෙස නිසි අවධානයක් යොමු කරල නෑ. මගේ අරමුණ මේ සාගරයේ තියෙන ආකර්ෂණීයත්වය ශ්‍රී ලාංකිකයින්ට පෙන්වලා එය ආරක්ෂා කරගන්න ඔවුන් දායක කර ගන්න එකයි."

බීබීසී සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් මේ අදහස් පළ කළේ, බීබීසී පුවත් සේවය නම් කළ ලෝකයේ වඩාත් ම බලපෑම් කළ හැකි කාන්තාවන් 100 දෙනාට ඇතුළත්ව සිටින ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් ය.

මෙම කාන්තාවන් 100 දෙනා වයස අවුරුදු 15 සිට 94 දක්වා වයස් කාණ්ඩවලට අයත් වන අතර ලෝකයේ රටවල් 60 ක කාන්තාවන් ඊට ඇතුළත් කර තිබේ.

කවුද මේ ආශා ඩි වොස් ?

Asha De Vos/Steve De Neef

ඡායාරූප මූලාශ්‍රය, Asha De Vos/Steve De Neef

39 හැවිරිදි ආශා ඩි වොස් යනු සාගර ක්ෂීරපායින් පිළිබඳව ආචාර්ය උපාධියක් ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික පුරවැසියා වේ.

"මම ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරියක්. මම සාගර සම්පත් සංරක්ෂණය ගැන පර්යේෂණ කරන සාගරයට ආදරය කරන කාන්තාවක්."

තවත් පුවත්:

ඇය මොනවා ද කරන්නේ?

ඇයගේ පර්යේෂණ අතර විශේෂ අවධානය යොමු කර ඇත්තේ, "ශ්‍රී ලාංකික නිල් තල්මසුන්" පිළිබඳවය.

"මම අවුරුදු 10 ක ඉඳලා ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ නිල් තල්මසුන් ගැන පර්යේෂණ කළා. ඒ අනුව මට පෙනී ගියා ඔවුන් සංරක්ෂණය කරන්න ඕන කියලා," ඇය බීබීසී සිංහල සේවයට පැවසුවාය.

"මම ඒ නිල් තල්මසුන් ශ්‍රී ලාංකික නිල් තල්මසුන් ලෙස හඳුන්වන්න විශේෂ හේතුවක් තියෙනවා. මේ නිල් තල්මසුන් අවුරුද්ද පුරා ම ඉන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු කලාපයේ."

Asha De Vos/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Asha De Vos/Facebook

සාමාන්‍යයෙන් නිල් තල්මසුන් ශීත මුහුදු කලාපවල ආහාර වැඩි නිසා එවැනි ස්ථාන කරා පීනා යන නමුත්, මේ නිල් තල්මසුන් ශ්‍රී ලංකාවේ මුහුදු කලාපය අතහැර යන්නේ නැති බව ඇය පවසයි.

"ඔවුන් කතා කරන හඬ වෙනස්. හැසීරීමත් වෙනස්. ඒ නිසයි මම ඔවුන්ට ශ්‍රී ලාංකික නිල් තල්මසුන් කියන්නේ."

මෙම "ශ්‍රී ලාංකික නිල තල්මසුන්" නෞකාවල ගැටීමෙන් මිය යන හෙයින් ඔවුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවක් වගකිව යුතු ආයතන වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව ඇය පැවසීය.

"මේ නැව් නිසා සාගර දූෂණය සිදු වනවා. ඒ වගේ ම හෝටල්වලින් බැහැර කරන අපජලය මුහුදට යොමු කිරීමත් විශාල ප්‍රශ්නයක් මුහුදු ජීවීන්ට," පරිසර දුෂණය නිසා වන බලපෑම් පිළිබඳව ඇය කනස්සල්ල පළ කළාය.

"නැව් මාර්ගය කිලෝ මීටර් 20කින් පමණ ඈතට ගෙන ගියා නම් මේ ප්‍රශ්නයට යම් විසඳුමක් ගත හැකියි."

Asha De Vos/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Asha De Vos/Facebook

"සාගරය ගැන අවධානය මදි"

විශාල සම්පත් ප්‍රමාණයක් සහිත ශ්‍රී ලංකාව වටා පිහිටි සාගරය පිළිබඳව අප නිසි අවධානයක් යොමු කර නැතැයි ආචාර්ය ආශා ඩි වොස් පවසයි.

ඇය පෙන්වා දුන්නේ, සාගරයේ ඇති සම්පත් පිළිබඳව ජනතාව දැනුවත් කළහොත් ඔවුන් පුදුමයට පත්වනු ඇති බවය.

"අප වටා තියෙන මේ මහා සාගරය දැවැන්ත රාජධානියක්. ඒ ගැන ජනතාව දැන ගත්තොත් ඔවුන් පුදුමයට පත්වේවි."

තමන්ගේ අරමුණ ඒ වෙත අවධානය යොමු කරවා සාගරය ගැන සොයා බැලීමට සහ එයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට ජනතාව පෙළඹවීම බව ඇය ප්‍රකාශ කළාය.

"ඒ හරහා අපේ රටේ සම්පත් වගකීමක් ඇතිව ලෝකයට ගෙන යාම මගේ අරමුණයි."

මේ ගැනත් කියවන්න:

Asha De Vos/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Asha De Vos/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, තල්මසුන් නැරඹීම

ලොව වඩාත් බලපෑම් එල්ල කළ හැකි කාන්තාවක වීම දැනෙන්නේ කොහොම ද?

"ඒ ගැන මට ගොඩක් සතුටුයි. ඒකෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ගෞරවය ගැන මට සතුටුයි."

"ඒ වගේ ම ලෝක සිතියමේ ශ්‍රී ලංකාවට යම් අවධානයක් යොමු කරන්න එය ඉවහල් වේවි," ඇය ප්‍රකාශ කළාය.

Asha De Vos/Facebook

ඡායාරූප මූලාශ්‍රය, Asha De Vos/Facebook

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

කාන්තාවන්ට පණිවුඩයක්!

"ශ්‍රී ලාංකිකයෙකු විදිහට ලෝකය වෙනස් කළ හැකි කාන්තාවක වීම මට ආඩම්බරයක්. ඕනෑ ම කාන්තාවකට පුළුවන් රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් වෙනසක් කරන්න. ඉදිරියට ඇවිත් අභියෝග භාර ගන්න ශ්‍රී ලාංකික කාන්තාවන්ට දැන් කාලය පැමිණ තිබෙනවා."

බීබීසී සියයක් කාන්තාවෝ විශේෂාංගය සඳහා තෝරා ගන්නා ලද පළමු ශ්‍රී ලාංකික කාන්තාව වූයේ එවරස්ට් කන්ද තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වූ ජයන්ති කුරුඋතුම්පාලය.

ඒ පසුගිය වසරේ දීය.