කොරියානු මිහිරි අවුළුපත ජපානයට තිත්ත වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අයිතිය සම්බන්ධයෙන් ජපානය සමඟ ආරාවුලක් පවතින දූපත් ඇතුළත් සිතියම සහිත අවුළුපතක දර්ශනයක්

කොරියානු රාජ්‍යයන් දෙකේ නායකයන් දෙදෙනා ඔවුන්ගේ ඓතිහාසික හමුවේදී භුක්ති විඳීමට නියමිත අවුළුපතකට ඇතුළත් සිතියමක් මුල්කර ගනිමින්, එම හමුවට දින කීපයක් තිබියදී ජපානයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

එම විරෝධය මතුකර තිබෙන්නේ අප්‍රියෙල් 27, සිකුරාදා දිනයේ කොරියානු නායකයන් දෙදෙනාගේ හමුව සඳහා පිළියෙළ කරනු ලැබ ඇති භෝජන සංග්‍රහයේ ආහාර වට්ටෝරුවට(Menu) ඇතුළත් ප්‍රධාන ආහාරයෙන් අනතුරුව භුක්ති විඳිනු ලබන මිහිරි අවුළුපතක් මුල්කර ගෙනය.

'Mango mousse' යනුවෙන් හැඳින්වෙන එම අවුළුපතෙහි කොරියානු අර්ධද්වීපයේ සිතියමක් දැක්වෙන අතර ජපානය අයිතිවාසිකම් කියන දූපත් කීපයක් එම සිතියමට ඇතුළත් වෙයි.

එම දූපත් දැනට පාලනය කරනු ලබන්නේ දකුණු කොරියාව විසිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නායකයන් දෙදෙනා සඳහා පිළියෙළ කර ඇති ආසනවලත් එම සිතියම දැක්වෙයි

අයිතිය සම්බන්ධයෙන් ගැටුමක් සහිත එකී දූපත් සහිත සිතියම ඇතුළත් අවුළුපත් පිරිනැමීමේ සැලසුම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කෙරෙන නිවේදනයක් ජපන් විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.

ජපානය සහ දකුණු කොරියාව අතර ගැටුම පවතින්නේ ඩොක්ඩෝ (Dokdo) යනුවෙන් හඳුන්වනු ලබන තිහක් පමණ වූ කුඩා ගල්පර සහ ප්‍රධාන දූපත් දෙකක් සම්බන්ධයෙනි.

ඡායාරූප මූලාශ්‍රය, The Blue House

ඡායාරූප ශීර්ෂ වැකිය, සමුළු සාදයේ දී මූන් ජේ ඉන් වෙනුවෙන් පිළියෙළ කෙරෙන විශේෂ ආහාරයක්

කොරියානු බලවතුන් දෙදෙනාගේ හමුව සඳහා පිළියෙළ කෙරෙන ආසනවලත් එකී දූපත් සහිත සමස්ත කොරියානු අර්ධද්වීපය දැක්වෙන මතභේදයට තුඩු දී ඇති සිතියම දැක්වෙයි.

කොරියානු නායකයන් දෙදෙනා වෙනුවෙන් කෙරෙන සංග්‍රහයට ඇතුළත් ඉහත කී 'mango mousse' අවුළුපතේ පිංතූරයක් අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද අතර ජපානයේ විරෝධය පළ කෙරුණේ ඉන් අනතුරුවය.

ඡායාරූප මූලාශ්‍රය, The Blue house

ඡායාරූප ශීර්ෂ වැකිය, සාදය අතර කිම් ජොන් අන් වෙනුවෙන් දකුණු කොරියාවෙන් පිරිනැමෙන රස බොජුනක්

පසුගිය පෙබරවාරි මාසයේ පැවති ඔලිම්පික් හිම ක්‍රීඩා තරඟාවලියේ දී කොරියානු රාජ්‍යයන් දෙක නියෝජනය කළ කාන්තා හොකි කණ්ඩායම ඉහත කී දූපත් ඇතුළත් කොරියානු අර්ධද්වීපය දැක්වෙන ධජයක් යටතේ ක්‍රීඩා කළ අතර එම අවස්ථාවේත් ජපානය එම ධජය භාවිත කරනු ලැබීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය පළ කර තිබුණි.

දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී පරාජයට පත් කෙරෙන තෙක්ම කොරියානු අර්ධද්වීපය පාලනය කරන ලද්දේ ජපානය විසිනි.

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් දෙරට අතර දේශසීමාවේ යුද විරහිත කලාපයේ පිහිටි 'පන්මුන්ජොම්' (Panmunjom) ගම්මානයේ දී සිකුරාදා මුණ ගැසීමට නියමිතව ඇත.

කොරියානු රාජ්‍යයන් දෙකේ නායකයන් දෙදෙනෙක් දශකයකට අධික කාලයකට පසු මුණ ගැසෙන පළමු අවස්ථාව මෙයයි.

මෙම හමුවෙන් පසු උතුරු කොරියානු නායකයා ලබන මැයි හෝ ජුනි මාසයේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණ ගැසෙනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සාදය අතරවාරයේ දෙරටේ ජනප්‍රිය ආහාරපාන ආදියෙන් නායකයන් දෙදෙනාට සංග්‍රහ කෙරෙනු ඇත

සබැඳි පුවත්;