ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් ‘අවම තරමින් 17 ක් මරුට’

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි උසස් පාසලක වෙඩි තැබීමකින් අවම වශයෙන් 17 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

නිකොලවුස් කෘස් ලෙස හඳුනාගෙන ඇති සැකකරු 19 වැනි වියේ පසුවන අතර ඔහු පාසලෙන් නෙරපන ලද ශිෂ්‍යයෙකු වේ.

2012 වසරේ කනෙටිකට් ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමකදී ළමුන් 20 දෙනෙකු මියයාමෙන් අනතුරුව මෙතෙක් වාර්තා වූ පාසලක වෙඩි තැබීමේ සිද්ධියක් ලෙස සැළකේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කුඩා කණ්ඩායම් ලෙස සිසුන් ඉවත් කිරීම

බ්‍රෝවඩ් හි ෂෙරිෆ් ස්කොට් ඊශ්‍රායෙල් පැවසුවේ රයිෆලයක් රැගෙන පැමිණි කෘස් පාසලින් පිටත කළ වෙඩි තැබීමෙන් තිදෙනෙකු මියගිය බවය. ඉන් පසු

වෙඩි තැබීම ආරම්භ වී පැයකට වැඩි කාලයකින් අනතුරුව බ්‍රොවර්ඩ් ෂෙරිෆ් කාර්යාලය පැවසුවේ, "වෙඩික්කරු දැන් අත්අඩංගුවේ" යනුවෙනි.ගොඩනැගිල්ල තුළට පිවිසි ඔහු 12 දෙනෙකු වෙඩිතබා මරා දමා තිබේ.

දෙදෙනෙකු මියගියේ රෝහල වෙත ගෙන යාමෙන් අනතුරුවය.

තුවාල ලත් කෘස් ප්‍රතිකාරවලින් අනතුරුව පොලිස් භාරයට පත්කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, EVN

ඡායාරූප ශීර්ෂ වැකිය, කණ්ඩායම් වශයෙන් ශිෂ්‍යයින් ඉවත් කරගන්නා ආකාරය වීඩියෝ දසුන් මගින් පෙනෙන්නට විය.

මේ තොරතුරු ද දැනගන්න:

පාර්ක්ලන්ඩ් හි මාජරී ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසලේ වෙඩි තැබීමෙන් "මරණ සිදුවී තිබෙනවා" යැයි පැවසූ පාසල් අධිකාරිවරයා, සැකකරු "ආදි සිසුවෙක් වෙන්නට පුළුවන්. අපි විශ්වාස කරන හැටියට ඒ පුදගලයා දැන් අත්අඩංගුවේ" යනුවෙන් සිද්ධිය හටගැනීමත් සමග සඳහන් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙමාපිය රැකවරණයට පත් සිසුවියන් පිරිසක්

මේ අතර පාසල් අධිකාරිවරයා මෙන්ම එෆ්බීඅයි ඇතුළු අදාළ අංශ උපුටා දක්වමින් ෆ්ලොරිඩා හි සෙනෙට් සභික බිල් නෙල්සන් ෆොක්ස් පුවත් වෙත කියා තිබුණේ "මරණ රැසක්" සිදුවී ඇති බවය.

පාසල් පරිශ්‍රය අවට සන්නද්ධ පොලිස් නිලධාරීන් ගැවසේද්දී, කණ්ඩායම් වශයෙන් ශිෂ්‍යයින් ඉවත් කරගන්නා ආකාරය වීඩියෝ දසුන් මගින් පෙනෙන්නට විය.

ප්‍රාදේශීය නීති ආරක්ෂක අංශ හට සහය දීම සඳහා තමන් ද යෙදී සිටින බව එෆ්බීඅයි හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සඳහන් කළේය.